මැල්ලුම් විත්ති

 ඡායාරූපය:

මැල්ලුම් විත්ති

ඕං ඉතිං හදිස්සියෙම පලාවලින් පිළිහුඩුවලට මාරුවෙන්ඩ සිද්ධ වුණාට මොකද, කොහොමට කියලා අමතක කරන්ඩද මැල්ලුම් විත්ති. ඒ හින්දා එව්වා ගැන තව ඉස්සරහට අහන්ඩ ඉඩ තිබාගන්ඩ කියලා මතක් කරන්නෙ කැටේපොල ජයසේන මාමා කියාපු කතා වගේකුත් තියෙන හින්දා. මේ ඊයෙ පෙරේදා සුදු හඳුන් කොළ මිටක් පොල් එක්ක ළාවට මලවලා කද්දී මට මේ ඇත්තො මතක් වුණා. මං ගැවසෙන වැලිමඩ සානුවෙයි ඔය බලන්ගොඩ පඹහින්න පැත්තෙයි සුදු හඳුන් ඇති පදම් තියෙනවා. ළදල්ලට බිඳලා ගත්තම මැල්ලුමට වගේම සම්බෝලෙටත් ගුණයි. ඒකත් එක්ක මට මතක් වෙන්නෙ කිරි අඟුණ කොළ සම්බෝලෙ. මේ කොයිකත් කන්ඩ කියන්නේ ඇ‍ඟ තියෙන ලේ ධාතුවේ විෂ අකාමකා දාලා පිරිසුදු වෙන්ඩ. ආං ඒකයි මේ වායෙ දොහක සුදු හඳුන් දලු මිටක්වත් කනවනම් හොඳයි කියලා හිතෙන්නෙ. අහන්ඩ දකින්ඩ ඇති පදම් තියෙනවානෙ ලේ අපත්තියං කරන්ඩ හේතු කාරණා.

කාලෙකට පස්සෙ නිවාඩුවක් හම්බවෙලා ඇඹුලකට ගැට පොළහක් හොයන්ඩ කොස්ගොල්ල කැලේ පැත්තට කුරගාද්දි මේං තියෙනවා කර ගහක්. මා එක්ක ගිය කොලු පුංචට කිව්වා මං කර වරුණේ. ඒකත් ඒ ගමන කියාපි මටත් ආසයි මාමෙ කර කොළ සම්බෝලයක් කන්ඩ කියාලා. මහ තෙරුණ්නාන්සේලා බැමිණිතියා මහා සාය වෙලාවේ කර කොළ වලඳමින් සාසනේ රැක්කා කියන්නේ. එහෙව් කර කොළ කෑවට මක් වෙනවද මයෙ පුතේ අපිට නම් එව්වයෙ ඵලත් මිහිරයි කියාපු මං උන්දැට කිව්වා හැබැයි උඹ ඉස්සරවෙලා ගොටුකොළ, මුකුණුවැන්න වගේ ජාති කාල හිටපං කියලා. දැන් ඉන්න ටික්කිරි එවුං එව්වා කන්නෙත් නැතුං මොන කර කොළද?

හැබැයි ඉතිං මේ ලිවිල්ල කියවන අම්මලා මිදුලට බැහැලා අඹරැල්ල ගහේ දලු මිටක් හරි බිඳගෙන හීනිවට ලියලා අමු මිරිස්, රතු ලූනු, දෙහි ඇඹුල් එක්ක අනලා වෙනසක් කරන්ඩ හැදුවොත් හැමදාම කන කාඩි පරිප්පු හොද්දෙන් ගැලවෙන්ඩ විධියක් පෙනෙයි. අපි වෙනස් වෙන්ඩ ඕන අපේ හිත්වලින් පටන් ඇරගෙන. වුවමනා කරන අඩුවැඩිය හොයන එක කජ්ජක් කියලා මං කියන්නෙ නෑ. මොකද අද කාලෙ වෙනස් ලොකු වතු මිදුල් නෑ. ඒ වුණාට අර අපේ ආනන්ද අයියා එයාගෙ කුලී ගෙදර උඩ තට්ටුවේ තියාන ඉන්නවා වාගෙ මහ පෝච්චි දෙක තුනක ගොටුකොළ, මුකුණුවැන්න වගේ දෙයක් බෝ කර ගන්ඩ හිතුවොත් බැරි වෙන්නෙත් නෑ නෙව. එහෙම වෙලාවක මැල්ලුමක් කන්ඩ තරම් පලා නැත්නම් බැරුවයෑ හොද්දක් උයා ගන්ඩ.

කරලා බලන්ඩ මේං මෙහෙම වැඩක්. ගන්ඩ රතු ලූනු අහුරු තුන හතරක්. ඒක සුද්ද බුද්ද කරලා ඇතිලියකට දාලා උලුහාල් මිටක්, කුරුඳු පොත්තක්, කරපිංචා ඉත්තක්, කහ ඩිංගක්, අමුමිරිස් කරල් දෙක තුනක්, පහේ යාන්තම් විතර දාලා කැමති නම් උම්බලකඩ කුඩු ඩිංගකුත් දාලා දිය කිරි මිටි කිරි එක්කාසු කරලා ළිප තියන්ඩ. ඩිංග වෙලාවක් තැම්බුණාම ගොටු කොළ හරි මුකුණුවැන්න හරි නැත්නම් දෙකම හරි හොයා ගන්ඩ පුළුවන් ඩිංග දාලා කොළ පාට හේදෙන්නෙ නැති වෙන්ඩ යන්තම් තැම්බුණාම බා ගන්ඩ. බාලා දෙහි බෑයක් මිරික ගන්ඩ. දැන් බැරියෑ ඉස්මුරුත්තා එනකල් කන්ඩ. මෙව්වා පොඩි වැඩ ආයුබොවන්ඩ. ඔය මැල්ලුම් කන්නෙම නැති බුඩාලා රවට්ටන්ඩ ඕනනම් උන්දැලාට දෙන ඔම්ලට් එකටත් කොළ ටිකක් ලියාලා මුහු කරන්ඩ බැරියෑ. මෙව්වා අම්මලායෙ උප්පරවැට්ටි තුන් හිතකවත් අහිතක් නැතුං කරන වැඩ.

පුළුවන් වෙලාවට හොද්දක් බතක් ඒදද්දි දරු පැට්ටො අඬගහ ගන්නවා නම් උන්දැලා ඒවයෙ සාරෙ උරාගෙන වෙනස් වෙන්ඩ බලයි. ඕං දවසක් අපේ අම්මා අසනීප වෙලා දෙතුන් වේලක් උයන්ඩ ඕනි කරන පහේ මිරිස් අඹරා ගන්ඩ බැරුවා. ඒ කාලෙ කොහෙන්ද කඩෙන් ගන්න කුඩු පැකට්. තිබ්බත් උන්දැලා එව්වා පැත්තක වැද්ද ගත්තායැ කන්ඩ බෑ බොල මෙව්වා කියන්න මිසක්කා. ඉතිං මට අඬ ගහලා මල්ලක් අතට දීලා කිව්වා, "මේං මේ ටික ආතලා ගෙදෙට්ට ගෙනිහිං උන් කාට හරි කියාලා ගලේ අඹරාන වරෙං මගේ තුනටිය බැරුවා කියාපං කියලා." මං එව්වා ඇන්න ගෙහුං උන්දැ කිව්ව විදිහට කිව්වම අරුන්දැලා අඹරලා දුන්නා පොල්කට්ටකට දාගෙන යන්ඩ ගුළි තුනක් අග්ගලා වගේ. මිරිස් ගුළියයි, පහේ ගුළියයි, කහ ගුළියයි. ඒකට ලුණු කැට ටිකකුත් ඉහලා ඇඹලයන්ට වහන්ඩ බැරි වෙන්ඩ වහලා තිබ්බනම් දවස් තුන හතරක් කන්ඩ පුළුවන්. අපේ අම්මලා දුරු තුනපහ හදාගන්ඩ කුලු වට්ටිවල දාලා දුරු කොත්තමල්ලි, කරපිංචා ඔක්කොමත් වේළා ගත්තා. බලන්ඩ සිරියාවයි. ඒත් දැන් කොහේ කරන්ඩද එච්චර හරියක් ඕසෙට වැඩ තියෙද්දි. එහෙම හිතුණට බැරිත් නෑ. අඩුම කුඩුම කඩෙන් ගෙනත් බ්ලෙන්ඩරෙන් අඹර ගත්තත් මොකද ඩිංග වෙලාවනේ යන්නෙ. රජ ගෙදරත් එහෙමනේ කෙරුවය කියන්නේ.

මිරිස් සැලූනු ය

දුරු සමඟ මේ ඇඹරු ය

මේ සුවඳ වයිති ය

තෙලින් අඹරවු මෙතෙල් වයිති ය

මිරිස්, සුදු ලූනු, දුරු අඹරලා තමයි රජ ගෙදරත් සුවඳ වයිති හදා ගත්තෙ. ඒවා තෙල් මුහු කරලා ඇඹරුවා නම් තෙල් වයිති. හැම වෑංජනයක්ම රහ වෙන්ඩ මේ වයිති දැම්මා. අන්න අපේ රස රහස්. හැබැයි රජෝ මිරිස් දුන්නෙ ප්‍රතිකාල්ලු.

 

මාතෘකා