දූපත් මානසිකත්වය සහ සමාජ පුරවැසිභාවය

 ඡායාරූපය:

දූපත් මානසිකත්වය සහ සමාජ පුරවැසිභාවය

ශ්‍රී ලංකාව දූපතකි. එහෙත් එය දේශපාලන වශයෙන් දූපතක් නොවේ. මෙය අද ලෝකයේ පවතින සෑම රාජ්‍යයකටම අදාළය. කිසිම රාජ්‍යයක් දේශපාලන වශයෙන් දිවයිනක් වන්නේ නැත. සෑම රටක්ම අන්තර්ජාතික සම්බන්ධතා යනුවෙන් හඳුන්වන ජාලගත සම්බන්ධතා පද්ධතියකින් බැඳී කටයුතු කරයි. අද අන්තර් රාජ්‍ය (International) සම්බන්ධතා පමණක් නොව රාජ්‍යයන්වල සාමාජිකයන් එකිනෙකා සමඟ සිදුකරන දේශව්‍යාප්ත (Transnational) ක්‍රියාකාරකම්ද පවතී. මේවායින් ඈත්ව හුදෙකලා වී දූපත් මානසිකත්වයට වැටී ජීවත්වන්නට කිසිම රාජ්‍යයකට හෝ එහි පුරවැසියන්ට නොහැකිය.

පාස්කු ඉරිදා ප්‍රහාරය සමඟ අප අත් දකිනු ලැබූ දේශ ව්‍යාප්ත ආගමික ත්‍රස්තවාදය (Transnational Religious Terrorism) පෙන්වා දී තිබෙන්නේ අප සිටින්නේ දේශපාලන වශයෙන් දිවයිනක බව පමණක් නොව හොඳ මෙන් නරකද ඒ හරහා පැතිරෙන ආකාරයයි.

මෙම ත්‍රස්තවාදයට ඈඳුණු ලෝක බල දේශපාලනයක්ද තිබේ. මුස්ලිම් ලෝකය මෙම ත්‍රස්තවාදය විසින් බටහිර කඳවුරට වාසිවන අන්දමින් අර්බුදවලින් භේදභින්න කර ඇත. එමඟින් ආයුධ වෙළෙන්දන්ට ඔවුන්ගේ වෙළෙඳපොළ පවත්වා ගැනීමට පසුබිමක්ද සකසා ඇත. සේද මාවත ව්‍යාපෘතිය හරහා චීනය අපේ කලාපයද ඇතුළු කරගෙන ගෙන යන්නට අපේක්ෂා කරන ආයෝජන ක්‍රියාවලියට බාධා කිරීමද මෙය සමඟ බැඳී තිබේ.

මෙබඳු ජාත්‍යන්තර බල දේශපාලනයක් සමඟ සම්බන්ධ දේශ ව්‍යාප්ත ත්‍රස්තවාදයකට මුහුණ දිය හැක්කේ දේශපාලන නායකත්වයන් පමණක් නොව සමාජයේ පුරවැසියන්ද මතවාදී තලය හසුරුවන ජනමාධ්‍යද වගකිව යුතු ලෙස හැසීරීමෙනි. මේ රට ඇතුළේ සතුරන් සොයන මානසිකත්වයෙන් ඈත්ව රට තුළ සිටින සියලු ජනවර්ග සහ ආගමික කණ්ඩායම් අතර ශ්‍රී ලාංකික බව ගොඩනැඟීම මඟින් මෙයට මුහුණ දිය යුතුය. නමුත් පෙනෙන හැටියට නම් සමහරු මේ ප්‍රශ්ණය දෙස බලන්නේ දූපත් මානසිකත්වයෙනි. ඔවුන්ට මේ රට සම්බන්ධයෙන් තමන් මවා ගෙන තිබෙන බලය පිළිබඳ ෆැන්ටසිවලින් එළියට පැමිණීමට නොහැකිය. මේ අර්බුදයේදී ඔවුන්ට අවශ්‍යව තිබෙන්නේ තමන්ගේ බල ව්‍යාපෘති පුළුල් කිරීමට මෙය යොදා ගෙන එය අලෙවි කරමින් ජීවත්වීමටය.

මෙසේ ලියන්නට සිදුවී තිබෙන්නේ මෙම සිදුවීම සමඟ සමස්ත මුස්ලිම් ජනතාව ඉලක්ක කරගෙන ඇති කරමින් තිබෙන අතිභීතිකාව (Xenophobia) පිළිබඳ ප්‍රචාරක ව්‍යාපාරය දෙස බැලීමෙනි. තිස් අවුරුදු යුද්ධය අවසන් වූ වහාම අලුත් සතුරකු සොයා ගැනීම සඳහා මුස්ලිම් ප්‍රජාව ඉලක්ක කර ගෙන ඇති කළ ප්‍රචාරක ව්‍යාපාරට පාස්කු ඉරිදා ප්‍රහාරය විසින් අලුත් ජවයක් ලබා දී තිබේ. මුස්ලිම්වරුන්ගේ වෙළෙඳ ව්‍යාපාර වර්ජනය කිරීමට ඉල්ලීමක් ඉදිරිපත් වී ඇත. මුස්ලිම් ප්‍රජාව ආක්‍රමණශීලී ලෙස ක්‍රියාකරන පිරිසක් ලෙස හැඳින්වීමට මේ මඟින් උත්සාහ දරමින් සිටී. ආරක්ෂක හමුදාවන්ට ලබා දිය යුතු රහස්‍ය තොරතුරු සමහර ජනමාධ්‍ය සහ සමාජ මාධ්‍යකරුවෝ මුළු රටටම බෙදා හරිති. වෛරී ප්‍රකාශන, සාවද්‍ය ලේඛණ සහ සාවද්‍ය තොරතුරුද ඒ අතර තිබේ.

මෙම අර්බුදයේදී මධ්‍යස්ථ මුස්ලිම් ප්‍රජාව ක්‍රියාකරමින් සිටින ආකාරය මෙම ප්‍රචාරකයෝ සිතාමතාම අමතක කරති. මෙම ත්‍රස්තවාදී කණ්ඩායම් ගැන මුස්ලිම් ප්‍රජාව පළමුවෙන් අනතුරු ඇඟවූයේ 2008 තරම් ඈතකදීය. මෙම අන්තවාදී ආගමිකයන් සහ දේශීය මුස්ලිම් ආගමික නායකයන් ගැටුණු අතර ඒ තුළින් ආගමික අන්තවාදීන්ගේ පහරකෑම්වලට ඔවුන් ලක් විය. ජාතික මුස්ලිම් ආගමික කවුන්සිලය මෙම අන්තවාදීන්ගේ කටයුතු ගැන මාසයකට පෙර ආරක්ෂක අමාත්‍යාංශය දැනුවත් කළ බවත් වාර්තා කර තිබේ. අන්තවාදී නොවන මුස්ලිම් උගතුන් සහ කලාකරුවන් ඉදිරියට පැමිණ තමන්ව පසුගිය කාලයේ මෙම අන්තවාදය පිටුපස පැවති විදේශීය බලවේග සහ ඔවුන්ගේ මූල්‍ය බලය විසින් මර්දනයට ලක් කරන ලද ආකාරය ගැන දැන් හෙළිදරව් කරමින් සිටී.

මෙරට වාසය කරන මුස්ලිම් ජනතාව මෙම දිවයින තුළ සහස් වර්ෂයකට අධික කාලයක් වාසය කර තිබෙන බව සඳහන් කරන මුස්ලිම්වරුන්ගේ ඉතිහාසය ලියූ ආචාර්ය ලෝනා දේවරාජා සඳහන් කරන්නේ සිංහල සමාජය අතීතයේදී ඔවුන්ව තමන්ට තර්ජනයක් ලෙස සැලකුවේ නැති බවය. එහෙත් දැන් සහශ්‍ර වර්ෂයකට පසුව ඔවුන්ව සතුරකු ලෙස දකින්නේ ඇයි?

මෙයට හේතු සාධක මුස්ලිම් සමාජයේ සමහර ආත්මාර්ථකාමී භාවිතාවන්ද හේතුවී තිබෙන බව සඳහන් කළ යුතුය. අරාබිකරයෙන් පැමිණි සංස්කෘතියට ඇතුළුවී තම සමාජයේ වාසය කරන අනිත් ජනවාර්ගිකයන් සහ ආගමිකයන්ගේ වෙන්වී සිටීම, අන්‍ය වාර්ගික සහ ආගමික ප්‍රජාවේ අසල්වැසියන් සමග සම්බන්ධතා දුරස්තර කර ගැනීම සහ දේශපාලන සහ ව්‍යාපාරික කටයුතුවලදී වාර්ගික ප්‍රමුඛතාවයන් ඇති කර ගැනීම වැනි ලාංකික අනන්‍යතාවයට බාධා කරන ක්‍රියා මාර්ගවල ඔවුන් නිරතවූ බව මුස්ලිම් ප්‍රජාවේම සමහර විද්වත්හු පිළිගනිති. මේ නිසා මුස්ලිම් ප්‍රජාව තුළ සංස්කෘතික පරිවර්තනයක් ඇති කර ගැනීමට සංවාදයක් අරඹණ බව ද ඔවුන් විසින් සඳහන් කර ඇත. වසර තිහකට අධික කාලයක් ත්‍රස්තවාදී ආගමික න්‍යායවාදයට ගොදුරුවූවන් එයින් මුදාගත හැක්කේ එමගිනි.

අප කළ යුත්තේ ඇතිවී තිබෙන එම ප්‍රයත්නයට ආධාර කරන්නට පුලුල් සාකච්ඡාවක් ඇති කිරීමය. වාර්ගික වශයෙන් ප්‍රහාර එල්ල කිරීම නොවේ. එම ජනතාව සතුරන් ලෙස සලකා කොන් කිරීමට ක්‍රියා නොකළ යුතුය. මේ වගකීම සමාජ පුරවැසිභාවයට පැවරෙන්නකි. දූපත් මානසිකත්වයෙන් ක්‍රියාකරමින් අතිභීතිකාව (Xenophobia) ඇති කරමින් වෛරය සහ බිය සමාජගත කරන ප්‍රචාරක ව්‍යාපාර නතර කිරීමට බලපෑම් කිරීමේ සමාජ ව්‍යාපාරයක් ඇරඹීම සමාජ පුරවැසිභාවයේ වගකීමකි.

මාතෘකා