වචන මිය ගිය මොහොත!

 ඡායාරූපය:

වචන මිය ගිය මොහොත!

ලියන්නේ මොනවාදැයි නොදන්නා, නොහැඟෙන සමහර කාල ජීවිතයේ පසු කර ඇත්තෙමි. දැන් එළැඹ ඇත්තේ එවැන්නකි. මේ ලියන අකුරුවලට වැදගත්කමක් හිමි වේදැයි නොදනිමි. මේ තීරුව හිස්ම හිස් ව තැබිය යුතු යැයි සිතෙන විටෙක, මිය යමින් සිටින වචනවලින් තවත් මොනවා හෝ ලියමි.

අවුරුදු දහයක දැරියකව සිටි අවධියේ දැනුණු දරුණු කම්පනයක්, ඊට අවුරුදු තිස් හයකට පසුවත් ඒ ආකාරයටම දැනෙන්නට පටන් ගැනීම අවාසනාවකි.

එක්දහස් නවසිය අසූ තුන අවුරුද්දේ ජූලි මාසයේ ඒ දවස මට හොඳටම මතකය.

"අද ඉස්කෝලෙ යන්න ඕන නෑ. නිවාඩු දීල. ටවුන් එකේ කලබලයක්ලු"

එදා උදෑසන අම්මා මට කීවාය. ඇගේ මුහුණේ තිබුණේ භීතියකි.

"රටේ හැම තැනම කලබල. දෙමළ කඩ ගිනිතියල..දෙමළ මිනිස්සුන්ට ගහනවලු"

මගේ මිත්තනියගේ කඳුළු පිරි දෑස මා දකින්නේ ඊට පසුවය. ඇය තදින් සුසුම් හෙළුවාය. අත කම්මුලෙහි තබාගෙන විස්සෝප වූවාය.

මට ප්‍රශ්න රාශියක් තිබිණි. ඒවාට වැඩිහිටියන්ගෙන් හරිහමන් උත්තරයක් ලැබිණිදැයි මට මතකයක් නැත. කුඩා මගේ කැලඹුණු සිත එකලස් කරන්නට මගේ මිත්තනිය ගෙතුමක් ඉගැන්වූ බව මතකය. මම ඒ බියකරු සිද්ධීන් වැඩිහිටියන් කතා කරනු අසා සිටිමින්, නිහඬව ගෙතුම් කටුව නූල් අතරින් යැව්වෙමි. දිගින් දිගටම ගෙතුම් කටුව යාන්ත්‍රිකව නූල් අතරින් යවමින් ඒ භයානක ආරංචිවල ගිලී සිටියෙමි.

කිසිදු වරදක් නොකළ අහිංසක දෙමළ මිනිසුන්ට ඔවුන් දෙමළ වීම නිසා පහර දෙන්නේ, ඔවුන්ගේ කඩසාප්පු ගිනි තියන්නේ ඇයි දැයි මට කිසිසේත් තේරුම් ගත නොහැකි විය. ඒ සා විශාල වෛරයක්?

මට වෙනදා නගරයේ කඩසාප්පුවලට ගොඩ වැදුණු විට මුණ ගැසුණු සුන්දර සිනාවෙන් මුව සරසා ගත්, මිත්‍රශීලී මුහුණු කිහිපයක් සිහි විය. ඔවුන්ට ඒ ඉරණම අත්වන්නේ ඇයි දැයි මට සිතා ගත නොහැකි විය.

මගේ හදවත වේදනාවෙන් බර විය.

කිසිවක් තේරුම් ගත නොහැකි ආකූල ව්‍යාකූල හිස් අවකාශයක මම ඉහළටත් පහළටත් කිමිදෙමින් සිටියෙමි.

ඊට අවුරුදු තිස් හයකට පසු මේ ලියන මොහොතේදීත් මා සිටින්නේ එවැනි ව්‍යාකූල හිස් අවකාශයකය. අද ගෙතුම් කටුව වෙනුවට මා අත ජංගම දුරකථනයක් තිබේ.

මගේ මුස්ලිම් මිතුරු මිතුරියෝ භීතිය පළ කරන පණිවුඩ එවමින් සිටිති.

සිංහල මිතුරෝද වේදනාවෙන් දෙකඩ වී ගිය හදවතින් පණිවුඩ එවති.

මේ සිදු වන්නේ කුමක්ද? අප යමින් සිටින්නේ කොතැනටද?

"ඔයාල වගේ අය සිංහල සමාජයේ ඉන්නව කියල දන්න එක විතරයි අපට තියන සැනසීම"

මුස්ලිම් සහෝදරයකුගේ වේදනාත්මක සටහනක් මගේ නෙත ගැටේ.

පසුගිය සති තුනේදීම ඔවුන් සිදු වූ දේ ගැන බලවත් වේදනාවට පත් වෙමින්, තම සමාජය තුළ සැඟව සිටි ඒ ම්ලේච්ඡ මිනිසුන්ට ශාප කරමින් සිටිය බව දනිමි.

දැන් සෑහෙන කලක සිට ඔවුන්ගේ සමාජය ඇතුළත පැළවෙන්නට තැත් කරන ඒ අන්තවාදයට එරෙහිව නැඟී සිටින්නට උත්සාහ කළ බව දනිමි. එහෙත් දිය යට එබූ රබර් බෝලයක් මෙන් යක්ෂයා අන්තිමට අවදි විය.

නින්ද නැති රාත්‍රීන් පුරා සිත තුළ සයුරු රළ මෙන් නැඟී පෙණ බිඳී විසිරුණු බියකරු සිහිනය අවදි විය. ඉතිහාසය නැවත වතාවක් ජීවමාන වෙමින් තිබේ.

මනුෂ්‍යත්වය ගැන එදා සිට ලියූ අකුරු සහ වචන සුළඟේ ගසාගෙන ගිය බවක් දැනේ. එහෙත් තවමත් මනුෂ්‍යත්වය ගැන විශ්වාසය අතහැරී නැත.! හෙටත් එය එසේමය.!

එහෙත් ආත්මය තද විඩාවකින් පෙළෙනු දැනේ. අවට හිස්ම හිස් ය.!

ඒ හිස් බව අතරින් නිල්මිණි සිරිවර්ධන නම් කිවිඳියක විසින්, සිහිනයක් තරම් දුර ඈත කාලයක ලක්දිව පුවත්පතට ලියූ කවියක පද පෙළක් යළිත් මගේ සිතට කඩා වදියි..

"රැගෙන හත්පෙති මලක් සුරතට

කඩා රතු පෙත්ත

වීසි කරමින් නීල අහසට

කෑගසා ඉල්ලන්න සිත්වේ...

මියෙන

මගේ සුන්දර

මවුබිමට

ජීවිතය...! "

ඒ හිස් ඉඩ තුළ තවත් ලියන්නට මට වචන නැත.! මේ වචන පවා මිය යන මොහොතකි !

මාතෘකා