ජනමාධ්‍ය, විශ්වාසය බිඳගත් පසු

 ඡායාරූපය:

ජනමාධ්‍ය, විශ්වාසය බිඳගත් පසු

විශ්වාසය යනු වරක් බිඳීගිය පසු යළිත් පිළිසකර කළ නොහැකි දෙයක්. පුද්ගලාන්තර විශ්වාසය සේම සමාජයක පොදු ආකෘතීන් පිළිබඳ ජන මනසේ පැවති විශ්වාසය බිඳීයාම එක් අතකට සමාජය තල්ලු කරන්නේ ඉතාම නරක ඉමක් දක්වා. විශේෂයෙන්ම කිසියම් රටක ප්‍රධාන සිව් බලකණු පිළිබඳ විශ්වාසය බිඳ වැටෙන්නේ නම් ඒ රට පිළිබඳව පොදු අවකාශීය කැන්වසය අඳුරු බියකරු චිත්‍රයක් බවට පත්වන්නේ නොදැනුවත්වමයි. සාමාන්‍යයෙන් රටක සිව්වන ආණ්ඩුව ලෙස සැලකෙන ජනමාධ්‍යයන් ගැන ග්‍රාහක විශ්වාසය බිඳවැටීම සිදුවන්නේ කාරණා කිහිපයක් පදනම් කරගෙන. විශේෂයෙන් තොරතුරු ලබා ගැනීමේදී විශ්වසනීය තොරතුරු මූලාශ්‍ර භාවිතයට නොගැනීම හා දෙවරක් පරීක්ෂාවට බඳුන් නොකිරීම මෙහිදී වැදගත්ම කාරණය වෙනවා. විශේෂයෙන් ග්‍රාහකයාගේ පැත්තේ නොසිට තොරතුරු වාර්තා කිරීම නිසා බොහෝ විට තොරතුර විශ්ලේෂණය කිරීමේ දෘෂ්ටිකෝණය වෙනත් සමාජ දේශපාලන පාර්ශ්වයක් ගැනීම සිදු වෙන්නට පුළුවන්. මාධ්‍ය හිමිකරුවාගේ අවශ්‍යතාව මත වාර්තා කිරීමට යෑම නිසාත් තොරතුරුවල විශ්වසනීයත්වය බිඳවැටෙන්නට ඉඩ තිබෙනවා. එහිදී සිදුවන්නේ වාර්තා කරන තොරතුරුවලට වෙනත් අගයක් එකතුකර (Added Value) වාර්තා කිරීම. මේ අගය එකතු කිරීම සිදුවන්නේ හිමිකාරිත්වයේ දේශපාලනය අනුව.

කිසියම් තොරතුරක් වාර්තා කිරීමේදී එය නිවැරදි ලෙස වාර්තා කිරීමට නම් ඒ තුළ තිබිය යුතු ප්‍රධාන අංග කිහිපයක් තිබෙනවා. වාස්තවිකභාවය (Objectivity), නිරවද්‍යභාවය (Accuracy), සාධාරණභාවය (Fairness) හා පක්ෂග්‍රාහී නොවීම (Lack of bias) යන කාරණා එහිදී වැදගත්. නමුත් වර්තමානයේ සංහතික මාධ්‍ය මේ කාරණා ගැන කිසිදු අවධානයක් යොමු කරන බවක් ප්‍රායෝගික ලෝකයේදී දකින්නට ලැබෙන්නේ නෑ. එයට බොහෝ විට හේතු වන්නේ වර්තමාන මාධ්‍ය සම්පූර්ණයෙන්ම පාහේ හැසිරෙන්නේ ඒවායේ හිමිකාරිත්වයේ දේශපාලන හා වාණිජ වුවමනාවන් ඉෂ්ට කිරීමේ ඒකායන අරමුණෙන් වීම.

අද වන විට ජනමාධ්‍ය මිනිසුන්ගේ දෛනික ජීවිතයෙන් විශාල කොටසක් පුරා විහිදී යන ආකාරය සුවිශේෂ කාරණයක්. එය මිනිසාගේ මූලික අවශ්‍යතාවන්ගෙන් එකක් බවට පරිවර්තනය වී හමාරයි. ඒ නිසාම ජනමාධ්‍ය, සමාජ යථාර්ථය නිර්මාණය කිරීම වෙනුවෙන් මහජන විඥානයේ හැඩය සහ සමාජ-දේශපාලන වෙනස්කම්වල දිශාවට සැලකිය යුතු බලපෑමක් ඇති කරනවා. එම නිසා තමයි මාධ්‍ය පණිවිඩයේ විශ්වසනීයත්වය ඒ තරමට සමාජයකට වැදගත් වෙන්නේ. වැරදි තොරතුරු පදනම් කරගෙන මාධ්‍ය ක්‍රියාත්මක වූවොත් සමාජ යථාර්ථය සම්පූර්ණයෙන්ම නිර්මාණිත මිත්‍යාමය තත්ත්වයට පත් වෙනවා. එවැනි තත්ත්වයකදී සමාජය ඇදී යන්නේ විපත්තිදායක අන්තයකට.

ප්‍රධාන බහුජන මාධ්‍යයන්ගෙන් ලැබෙන තොරතුරු පිළිබඳ විශ්වාසය බිඳ වැටුණු විට ඕනෑම සමාජයක් වෙනත් විකල්ප තොරතුරු මුලාශ්‍රයන් වෙත ඇදී යන්නේ ඉතා වේගයෙන්. මේවා බොහෝ විට කටකතා හෝ ඕපාදූප වෙන්නට පුළුවන්. එසේ වූ විට එයින් ඇතිවන ප්‍රතිඵලය ඉතාම නරක එකක් වීමට තිබෙන ඉඩකඩද වැඩියි. වර්තමානයේ මේ විතැන්වීම වැඩිපුරම සිදුවන්නේ නව මාධ්‍ය දෙසට. අන්තර්ජාලය, ස්මාර්ට් දුරකථනය නිසා අද විකල්ප මාධ්‍යයක් ලෙස නව මාධ්‍ය භාවිතය ඉහළ ගොස් තිබෙනවා. නමුත් ජනතාව නව මාධ්‍යය තුළින් ලැබෙන තොරතුරු විශ්වසනීයත්වයෙන් යුක්තද යන්න ගැඹුරින් සලකා බලන්නේ නැහැ. වර්තමානයේ බහුලව භාවිතා කෙරෙන සමාජ ජාලා වෙබ් අඩවි හා ගොසිප් අඩවි ප්‍රවෘත්ති මූලාශ්‍ර ලෙස සලකා ග්‍රාහකයන් මෙතරම් ඒවාට නැඹුරුවීමද යහපත් තත්ත්වයක් ලෙස සලකන්න බැහැ.

බොහෝ විට සමාජ මාධ්‍ය තුළ හා ගොසිප් ප්‍රවෘත්ති අඩවිවල නිතර දකින්නේ විශ්වසනීය නොවන දත්ත වැරදි ලෙස විශ්ලේෂණය කිරීමක්. එය වැරදි තීරණ ගැනීම සහ අනාවැකි නිර්මාණයට මඟ පාදන්න පුළුවන්. මෙහිදී විශ්වසනීයත්වය ලෙස සලකන්නේ "ගුණාත්මක භාවයෙන් යුතු විශ්වසනීයත්වය." සන්නිවේදන පර්යේෂණවලදී තොරතුරු විශ්වසනීයත්වය යන කාරණයේදී කොටස් තුනක විශ්වසනීයත්වයක් එකට මුහුවිය යුතුයි. පණිවිඩයේ විශ්වසනීයත්වය, මූලාශ්‍රයේ විශ්වසනීයත්වය සහ මාධ්‍යයේ විශ්වසනීයත්වය ඒ කොටස් තුන. නමුත් මේ කාරණය අපට සමාජ මාධ්‍යවල හා ගොසිප් මාධ්‍යවල මෙන්ම අන්තර්ජාලයේ ඇතැම් ප්‍රවෘත්ති වෙබ් අඩවිවලද දකින්නට ලැබෙන්නේ නෑ.

විශේෂයෙන් මාධ්‍ය භාවිතාව පිළිබඳ දියුණු සාක්ෂරතාවක් නොමැති ලංකා සමාජය වැනි සමාජ සන්දර්භයක තීරණාත්මක සිදුවීමක් සිදුවූ විට එම සමාජය නියෝජනය කරන ජනමාධ්‍යයන්ගේ හා නව මාධ්‍යයන්ගේ හැසිරීම විප්‍රකාරී ස්වරූපයක් ගනු ලබන හැටි 4/21 සිදුවීමෙන් පසු අප හොඳාකාරවම අත්දකිමින් සිටිනවා. පොදු ග්‍රාහකයා බහුජන මාධ්‍ය පවසන දේ විශ්වාස කරන්න දක්වන්නේ බරපතල මැළිකමක්. ඒ නිසා ඔවුන් නව මාධ්‍යයන්හි ඇති තොරතුරු විශ්ලේෂණයන් විශ්වාස කරන්නට පටන් අරන්. එය අපේ සමාජය තල්ලු කරන්නේ වැරදි තොරතුරු දැන්වූ (Misinformed) සමාජයක් කරා. එවිට පුරවැසියන් තීන්දු තීරණවලට එළැඹෙන්නේ මේ වැරදි තොරතුරු මත. එය ඉතාම පසුගාමී තත්ත්වයක්. වහා ගිනිඇවිලෙනසුලු තත්ත්වයක්. අද වන විට ජන කොටස් අතර විරසක බෙදුම් රේඛාව වඩාත් පුළුල් කරමින් වෛරය පැතිරවීම සඳහා බහුජන මාධ්‍ය හා නව මාධ්‍ය ඉටු කරන්නේ ‘සුවිශේෂ මෙහෙවරක්’. මෙම මාධ්‍යවලින් පවසනවාටත් වඩා බරපතළ ලෙසින් හා තමන්ගේ දේශපාලනයට අනුව ජනතාව මෙම ප්‍රවෘත්ති විශ්ලේෂණය කර ගන්නේ මාධ්‍ය කෙරෙහි විශ්වාසයක් නොමැති නිසා.

කෙසේ වෙතත් 4/21 වැනි සිදුවීමකින් පසුව මාධ්‍ය ක්‍රියා කළ යුතුව තිබුණේ වඩාත් සංයමයෙන්. සමාජ ආතතිය (Social Tension) සමනය වන ආකාරයෙන්. එය එසේ සිදු කළාද යන්න ඔවුන්ටම අනාගතයේ මැන බැලිය හැකි වේවි.

මාතෘකා