දෙවියා සහ මැඩි නායකයා

 ඡායාරූපය:

දෙවියා සහ මැඩි නායකයා

දෙවියන් විලක් මවා එය නෙක මලින් සැරැසීය. විලෙහි සෝබාව තවත් වැඩි කරන්නටයැයි සිතා මත්ස්‍යයන්ද මැවීය. වැසි වැස විල පිරී ඉතිරී යන කාලයේදී මැඩියෝ පිරිසක්ද විලට ආහ. තවත් කුඩා ප්‍රාණීන් සමඟ විලෙහි ඉතා සහයෝගයෙන් කල් ගෙවීය. වසර කිහිපයක් ගෙවී ගිය විට විලෙහි වූ මැඩියන්ට මේ විල පිළිබදව අපුලක් දැනුණි. කිසිම අලුත් දෙයක් විලෙහි සිදු නොවීමෙන් දවස ගෙවී ගියේ ඈළි මෑළි ස්වභාවයෙන්ය. එකිනෙකා අතර සණ්ඩු-සරුවල් වුණත් කිසිම වින්දනයක් නොවීය. එකිනෙකා බහින්බස් වුණත් එයින්ද ප්‍රීතියක් නොවීය. වෙනත් විල්වලින් පැමිණෙන ආක්‍රමණික ජීවින් නිසා විල නිරන්තරයෙන් කැළඹුණි. මෙය හොඳයැයි කියන්නටත් මෙය අකැපයැයි කියන්නටත් නායකයෙක් නොවීය. විලෙහි ජීවිතය නීරස විය.

විලෙහි වූ මැඩියෝ සහ සෙසු ප්‍රාණියෝ එක්ව විලට අලුතින් පාලකයකු පත් කර ගැනීමට කථිකාකොට ගත්හ. විලට නායකයකු පත් කර ගැනීම කාගේවත් තනි තීරණයකට කළ නොහැක්කකි. එබැවින් එය විල මැවූ දෙවියන්ගේ ආශිර්වාදයෙන් සිදුවිය යුත්තකි. මැඩියන් පෙරමුණ ගත් කමිටුවක් පත් කරන ලද්දේ විලට නායකයකු පත් කර ගැනීමට සාකච්ඡා කිරීමටය. සති කිහිපයකින් කමිටු වාර්තාව නිකුත් විය. එහි තීරණය අනුව විලට නායකයකු පත්කර දෙන්නයැයි යෝජනාවක් රැගෙන දෙවියන් වෙත යාමට දූත පිරිසක් නම් කරනු ලැබීය.

විල මැවූ දෙවියන් අතට අලුත් යෝජනාව ඉදිරිපත් කළ විට දෙවියන් බොහෝ සේ කලබල විය; විස්සෝප විය; තුෂ්නිම්භූත විය. මෙය කිසි ලෙසකින්වත් බලාපොරොත්තු නොවූ යෝජනාවකි.

‘‘උඹලට මොකටද නායකයෙක්! උඹලට පිස්සුද? දෙවියා කෝප ගත්තේය.

“අවුරුදු දෙදාස් පන්සියයකට බුදුවෙන්න දේවයන් වහන්ස, නායකයෙක් නැතිව අපට හරි සාංකාවයි. ඒකයි අපට නායකයෙක් දෙන්ටයැයි කියන්නේ." මැඩි නියෝජිත පිරිස පිංසෙණ්ඩු විය.

“බෑ. බෑ. උඹලට කොහොමත් නායකයෙක් දෙන්ඩ බෑ.” දෙවියන් විසින් මැඩි නියෝජිතයින්ගේ යෝජනාව ඉරා විසි කරනු ලැබීය. එහෙත් මැඩි නියෝජිත පිරිසගේ ගෝරණාඩුව එන්න එන්නම වැඩි විය.

“හොදයි, හොදයි, මං උඹලගෙ යෝජනාව ගැන සළකා බලලා උඹලට ගැළපෙන නායකයෙක් පත් කර එවන්නං. දැන් පලයල්ලා. ”

දෙවියන් විසින් මැඩි දූත පිරිස නෙරපා හරිනු ලැබීය. මැඩි දූත පිරිස පැමිණ දින හතක් යන තෙක් විලෙහි ජයපානෝත්සවයක් පැවැත්වීය. තමාට හිතවත් අසල විල් කිහිපයක කිහිප දෙනෙක්ද කැඳවාගෙන එනු ලැබීය‍. සත් වැනි දිනෙහි මහ වැසි ඇදහැලී විලට වියළී ගිය කොටයක් පාවී ආවේය. දෙවියන් විසින් එවන ලද "නව නායකයා" මේ වන්නට ඇතැයි සිතා එතැන් සිට වියළී ගිය කොටයට ගරු සරු දැක්වීය.

දින සති ගෙවී ගියේය. කිසිදු හැලහොල්මනක් නොමැතිව සිටින මේ නායකයා ගැන මැඩියන්ට සැක සිතුණි. එකින් එකා වියළී ගිය කොටයට කිට්ටු කරනු ලැබීය. එකෙක් ඇඟිල්ලෙන් ඇණ බැලීය. එහෙත් ප්‍රතිචාරයක් නැත. තවත් එකෙක් වියළි කොටය උඩට නැඟ බැලීය. නායකයා කිසිදු හඬක් නොනැඟීය. මැඩි රැළ වියළී ගිය "කොට නායක උත්තමයන්ගේ" ඇඟ මත නැඟ ගී ගැයූහ; නැටුම් නැටූහ; ආහාර ගත්හ; මළ මුත්‍රා දැමූහ. ඒ මොනවා කළත් නායකයා නම් නොනැගිට්ටේය. මේ නිසා තවත් සති කිහිපයක් යන විට නව නායකයා පිළිබඳව මැඩියන් තුළ නැවතත් අප්‍රසාදයක් පැනනඟින්නට විය. නව නායකයා කොන්ද පැණ නැති නායකයෙක් යැයි චෝදනා කරනු ලැබීය. අඩුම ගානේ එළියට පල්ලෙහට නොයන නායකයෙක් තමන්වත් විලවත් ආරක්ෂා නොකරන බවට කසුකුසු ඇති වී මහා හඬක් බවට පත් විය. දැන් විලම වියළි ලී කොට නායකයාට විරුද්ධව හර්තාලයක් ආරම්භ කරනු ලැබීය.

දින කිහිපයකට පසුව මේ අවනඩුව දෙවියන් වෙත සැලකරන්නට නැවතත් කමිටුවක් පත් කරනු ලැබීය. කමිටුව දෙවියන් ඉදිරියේ පෙනී සිට උද්ගතව ඇති තත්වය පැහැදිලි කරනු ලැබීය.

“අපට මේ නායකයා නම් නිකන් දුන්නත් එපා. කිසිම දෙයක් කරන්නෙ නෑ. ඔහේ බලාගෙන ඉන්නවා විතරයි. රටේ ලෝකේ ගැන දන්නෙ නෑ.” ඔය වගේ චෝදනා ගණනාවක් නායකයා ගැන දෙවියන්ට සැළකර සිටි පිරිස අවසන් වශයෙන් ඉල්ලා සිටියේ හොඳ නායකයෙක් පත් කර එවන ලෙසයි.

“හොදයි, මං උඹලගෙ ඉල්ලීම සලකා බලලා නව නායකයෙක් පත් කර එවන්නම්. දැං පලයල්ලා.” දෙවියා විසින් මැඩියන් පිරිස හරවා එවනු ලැබුවේ නව බලාපොරොත්තුවකුත් සමඟින්ය.

දින කිහිපයක් එක දිගට වැසි වැටිණි. මධ්‍යම රාත්‍රියේ දෙවියන් විසින් නව නායකයා පත්කර එවා තිබිණි. මැඩියන් සිතූ ලෙසින්ම ඒ හොඳ නායකයෙකි; කෙලින් තීරණ ගන්නා නායකයෙකි; හොඳ උපායශීලී නායකයෙකි; එඩිතර නායකයකි; ඇහට කණට පෙනෙන දැකුම්කළු නායකයෙකි. සෑම මැඩියෙක්ම නව නායකයා පිළිගනිමින් ගී ගැයූහ.

එදා සිට කිසිවකු නායකයාට විරුද්ධව කිසිවක් නොකීවේය. එසේ කියන්නටද කිසිවකු ඉතිරි නොවීය. මන්ද දෙවියන් විසින් විලෙහි නායකයා ලෙස අලුතින් පත්කර එවා තිබුණේ "ගැරඬියෙකි."

[ගාමිණී බස්නායක]

මාතෘකා