මතක වස්සානයක සිහිවන වස්සාන කවි

මතක වස්සානයක සිහිවන වස්සාන කවි

 

පහුගිය දවසක වස්සානය කියවීමේ සිතිවිල්ලක් මගේ හිත ඇතුළෙහි තෙරපෙන්න පටන් ගත්තා. රාත්‍රියේ පාළු අඳුරත් එක්ක මං මගේ පොත්ගුලෙන් වස්සානෙ අරන් පිල්කඩේ වාඩි වුණා. පිළිවෙළක් නැතිව පොත් පිටු පෙරළෙද්දි වස්සානෙ එක්ක මගේ හිත ආයෙමත් තනිවෙන්න ගත්තා.

 

“ගිම්හානයේ ගිලන් වී කෘෂව සුදුමැලිව

ඇදි ඇදී ඉකිගැසූ ගඟ නැවත පිරිපුන්ය

දුෂ්කරය කියා හැර යායුතුද ජීවිතය

කටු පොකුරු සිප ගනිමි හෙට මලක් වනු පිණිස”

 

ඇත්ත... ජීවිතේ හැමදාමත් සැප රැඳෙන්නෙ නැහැ. දුෂ්කරතා බාධක අපමණයි. අසමත් වීම්, කඩා වැටීම් මේ ජීවිත ගමන්මඟ අතර මොනතරම් නම් තියෙනවද? ඒත් ඒක එහෙමයි කියලා ජීවිතය අත්හැරලා යන්න පුළුවන්ද? පහුගිය කාලෙ පුරාවට අපි පත්තරවල දැක්ක දෙයක් තමයි විභාගය අසමත් වීම නිසා සියදිවි හානිකර ගත් සිසුන් එන්න එන්නම වැඩිවෙන එක. ඉතින් අපිට මේක නවත්වන්න බැරිද? රත්න ශ්‍රී සර්ගෙ වස්සානෙන්ම අපිට ඒ කඩා වැටෙන දරුවන්ට ජීවිතය දරා ගන්න හැටි කියාදෙන්න බැරිද? ඉඩෝර කාලෙ වේළිලා මියැදිලා වැලි තලා මතු වුණත් වස්සානෙදි මහ වැස්සත් එක්ක ඒ මියැදුණු ගඟම මොනතරම් සුන්දරව ගලා යනවද? ජීවිතෙත් එහෙම නේද කියලා මට හිතෙනවා වගේම වස්සානෙ කියවන දරුවන්ට අපි තේරුම් කරන්න ඕන කියලා මේ මහ රැයේ මට හිතෙනවා.

මං ජීවත් වෙන්නෙත් හුලංදාව වගේම දුෂ්කර පළාතක නිසා මේ සමහර කාව්‍යානුභූතීන් මටත් විඳින්න පුළුවන්. අපේ පළාතෙත් තාමත් පුංචි ඉස්කෝල තියෙනවා. අල්ලක් පුරවා දැනුම ගෙනියන්න කණකොක් පාට ඇඳුමක් ඇඳගෙන රබර් බාටවත් නොදැම්ම නිරුවත් පාවලින් පොළොව සිඹගෙන පුංචි උන් ඒ ඉස්කෝලවලට පෙළට එනවා මං මගේ ඇස් දෙකින්ම දැකලා තියෙනවා. රත්න ශ්‍රී සර්ගේ වන්නි ගම්දොර කවි පෙළත් එක්ක මං මොහොතකට අතරමං වෙන්නෙ මේ මහ රැයේ අන්ධකාරය මැද්දෙන් මට ඒ රූපරාමුව මැවිලා පේන නිසයි.

 

‘‘මල් පිපී හෝඩි පොතේ

රොනට ඇදෙන ළමා

රොන් උරා හාමතේම

මී බඳින ළමා

ගෙමිදුලේ වැල්ලේ හිඳ

පොත උකුලේ තියා

නිම් නැති සංසාරේ

සිහින දකින ළමා”

 

දරුවන්ගේ හීන විතරක් නෙවෙයි. ඒ දරුවන්ගේ හීන කවමදාක හරි හැබෑ කරන්න වෙහෙසවෙන මවුපියන්ගේ හීනත් මං මේ ගම් තුලානෙදි දැකලා තියෙනවා. දවස තිස්සෙ ගිනි අවුකාස්ටකේ මහ පොළොව එක්ක හැප්පෙන තාත්තා කෙනෙක් හරිහමන් අස්වැන්නක් ගන්න බැරිව ලතැවෙන හැටිත් ලැබුණු අස්වැන්න නගරෙට විකුණලා ලද සොච්චමෙන් ණය තුරුස් ගෙවලා හිස් අතින් ගෙදර එද්දි ඒ ඇස් අස්සෙ පිරිලා තියෙන දුකත් මම දැකලා තියෙනවා. ඒ වගේ තාත්තා කෙනෙක්ගේ හිතේ තමන්ගේ දරුවන්ගේ හීන ගැන මොනතරම් බලාපොරොත්තු කන්දක් ඇත්ද? අනුභූතිය සියයට සියයක් සමාන නොවුණත් මේ පදවැල් අස්සෙ මට ඒ දේවල් හිතෙනවා.

 

‘‘ සාක්කුව හිල් වී

සන්තෝෂය මඟ වැටී

පයේ ගල් මුල් හැපෙමින්

කැලැන්ඩර් කොළ සිතින් කඩමින්

කළුවරේ ගෙදර එමි

ටොපියකට හිනැහෙන

පුංචි දුවගේ අතගෙන

හිතේ දුක ගුළි කොට

තබා සුසුමක් හෙලමි හෙමිහිට”

 

වස්සානෙ පුරාවට තියෙන මේ සුන්දර කවි අහුරු අපේ හිත් මොනතරම් නම් සනසනවද? මට හදිසියෙම මතක් වෙන්නෙ රත්න ශ්‍රී සර් ගැන කතාවට වැටුණම අනිල් අයියා නිතර කියන දෙයක්. ඒ තමයි ‘‘මල්ලි රත්න ශ්‍රී සර්ට ඒ කාලෙ ඔය දේශපාලන දඬුවම් මාරුව දුන්නු ආණ්ඩුවට අපි පිං දෙන්න ඕන... මොකද ඒ හුලංදා ගමන නිසානෙ අපිට අදටත් විඳින්න මේ තරම් සුන්දර කවි අහුරක් ලැබුණේ” කියන එක. ඇත්ත තමයි බලාන ගියාම ඒ කතාවත්.

මේ ඔක්කම අවසානෙ මං කියවන්නෙ සමුගැනීමෙ කවිය. ඒක වස්සානෙ කියෝන කොට මං පුරුදු වෙච්ච දෙයක්. මේ ජීවිතේ තව කොයි කාලයක් අපි ජීවත් වෙයිද කියන්න දන්නෙ නැහැ. ඒ කාලෙදි තව මොනතරම් කඩා වැටීම්, සිත් රිදීම්, පරාජයන් උරුම වෙයිද කියන්නත් අපි දන්නෙ නැහැ. ඒත් ඒ හැමදේම එක්ක අපි ඉස්සරහට යා යුතුයි.

 

‘‘ආ ගමන හරි දුෂ්කරයි

අප විටෙක ඇද වැටුණා සැබැයි

එහෙත් නතරව එතැන

වැළපිය යුතු නොවෙයි - අප යා යුතුයි”

මාතෘකා