මාධ්‍ය භාවිතාව හා තාරුණ්‍යය

 ඡායාරූපය:

මාධ්‍ය භාවිතාව හා තාරුණ්‍යය

නූතන සන්නිවේදන තාක්ෂණය මාධ්‍ය හා තාරුණ්‍යය වෙන් කළ නොහැකි තරමට සමීප කරවනවා. සමාජ මාධ්‍ය ජාලාද වයස් සීමාවක් නොමැතිව ලෝකයේ ඕනෑම පුද්ගලයකුට විවෘතව භාවිතා කළ හැකි මාධ්‍යයක් බවට පත්වීම අපට නතර කරන්නට බැහැ. වර්තමානයේ මුහුණුපොතද නූතන මාධ්‍ය තුළ ඉතා ජනප්‍රියත්වයට පත්ව තිබෙනවා. මෙහි අසීමිත නිදහසක් ඇති බවට විවාදයක් නැහැ. එක් වරක මාධ්‍ය ගවේෂකයකු වන මාර්ක් ටේවින් ප්‍රකාශ කරනු ලැබුවේ “ඔබ නිවැරදි දේ යැයි සිතන දේ කරන්න.” කියාය. මෙහිදී ඔහු විසින් පැවසුවේ අපට ලියන්නට නිදහස තිබුණාට සීමා අයුතු ලෙස යොදා ගනිමින් සීමා මායිම්වලට එහා ගමන් නොකළ යුතු බවයි.

එහෙත් වර්තමානය වන විට ජනතාවට ඉදිරිපත් කරනු ලබන වාර්තාකරණයේ නිරවද්‍රතාවය හා විශ්වාසනීයත්වය ගොඩනඟන්නට නූතන සමාජ මාධ්‍ය ජාලාවන්හි සන්නිවේදකයා සමත්ව ඇද්ද යන්න ප්‍රශ්නාර්ථයකි. ඇතැම් සමාජ මාධ්‍ය ජාලා තුළ සදාචාරය පහළ මට්ටමටම ඇද දමා තිබෙනවා. එහි පුද්ගලයන්ගේ ගරුත්වය කෙරෙහි ප්‍රබල ලෙස බලපෑම් එල්ල වන්නේද මහජන යහපත පිණිස නොවේ. දේශපාලනය හා මාධ්‍ය නිදහස කෙතරම් අවභාවිත වන්නේද යන්න පසුගිය කාලසීමාව තුළ ඇතැම් මාධ්‍ය අධ්‍යයනය කිරීමේදී අවබෝධ කර ගැනීමට හැකියි. මේ නිසාම අවබෝධයක් නොමැතිව අන්තර්ජාලය භාවිත කරන ප්‍රජාව ගොදුරක් බවට පත්වීමේ හැකියාවද පවතී.

මුහුණු පොතේ මොනතරම් ඵලදායි දේ තිබුණත් බහුතරයක් ජනතාව ඒවා දකිනවා මිසක කියවීමක් කරන්නේ නැහැ. මේ මා කියන්න යන්නේ දේශපාලන කථාවක් නොවෙයි. බරපතල සංස්කෘතික කථාවක්. ම‍ට හැඟෙන්නේ අප තවමත් ගෝත්‍රිකයි. ගෝත්‍රික කියන්නේ මොකද්ද කියලා නොදන්නා ගානට අප ගෝත්‍රික වෙලා. මං මෙහෙම කියන්නේ ඇතැමුන්ගේ මාධ්‍ය භාවිතය හා ඔවුන් ඇතැම් සමාජ ප්‍රශ්න ඉදිරියේ කටයුතු කරන ආකාරය නිසා.

උදාහරණ ලෙස ගතහොත් වියරු වැටුණු පෙම්වතා තම පෙම්වතිය බිම දමා පිහියෙන් අනිද්දී ඇය බේරාගැනීම පසෙකලා එම සිදුවීම වීඩියෝ කිරීමට පවා අද තාරුණ්‍යය පහත් මට්ටමට පත්වෙලා. අප ගෝත්‍රික නොවෙයිද? හෙට ඔබේ මව, නැ‍ගනිය, දරුවා කවර හෝ තැනක කාගේ හෝ ගොදුරක් වුණොත්? එතැනට එන කවර පුද්ගලයෙක් ඔවුන්ගේ ජීවිත බේරා ගැනීමට ඉදිරිපත් වේයැයි ඔබට විශ්වාසය තැබිය හැකිද? වරක් මා දුටුවා සිය මව මෝටර් රථයට යට‍වී ඇඟ කඳින් වෙන් වූ හිස රැගෙන මහ පාරේ උදව් ඉල්ලමින් දුවන අන්ත අසරණ දුවකුගේ වීඩියෝවක්. එතන ඇයව අස්වසන්නට කිසිවෙක් නැතත් ඇයව වීඩියෝ කිරීමට බොහෝ දෙනකු හිටියා. තව තැනක මා දුටුවා ස්වාමීන් වහන්සේ නමක් සිරුරට ගිනිතියා ගනිද්දී එය වීඩියෝ ගතකරන මාධ්‍යවේදියෝ සහ මහජනතාවක්. අපේ ඇතැමුන් තාක්ෂණයෙන් පිරිපුන් ගෝත්‍රිකයන් නොවේද?

අපි හැමෝටම පෞද්ගලික ජීවිතයක් තියෙනවා. හැම කෙනකු ළඟම ජංගම දුරකථනයක් තියෙනවා. සරලව හිතන්න. ඔබගේ මව හෝ නැගණිය වැනි කාන්තාවකගේ නිරුවත් ඡායාරූප තලුමරමින් ඊට සාහසික පසුවදන් ලබා සමාජයක් ඉදිරියේ මෙය අලවි කරන්න තරම් අප පහත් තත්ත්වයට වැටිලා. මුහුණ පොත කොයිතරම් අවභාවිතයට පත්කර තිබෙනවාද? මුහුණු පොතේ සමාජයට හිතකර, සමාජය වෙනස්කරනු ලබන බොහෝ දේ සමාජගත කරනු ලබනවා. එහෙත් මේ වගකීමෙන් තොරව මුදාහරිනු ලබන වීඩියෝ හා ඡායාරූප තුළින් සමාජයට ලැබෙන ප්‍රතිලාභ මොනවාද? නූතන මාධ්‍ය සම්බන්ධයෙන් කටයුතු කරනු ලබන සියලු අයගේ වගකීම වන්නේද නිවැරදි හා හිතකර දේ සමාජයට ලබා දීමයි. යථාර්ථවාදයෙන් බැහැරව අසත්‍ය වපුරමින් සිදුකරනු ලබන ‍ ශිෂ්ටසම්පන්න නොවන මාධ්‍ය භාවිතය කුමන සමාජයක වුවත් අනුමත කරන්නට බැහැ. මුහුණපොත හා සමාජ මාධ්‍යවල ස්වයං වාරණයන් අප විසින්ම සකස් කර ගැනීම සමාජයේ හෙට දවසේ වගකීමක් බවට පත්ව තිබෙනවා.

මාතෘකා