එදා මේ වගේ ගෑනු හිටපු හින්ද හොඳයි

 ඡායාරූපය:

එදා මේ වගේ ගෑනු හිටපු හින්ද හොඳයි

පුංචි කාලයේ අපි තාත්තාට වඩා අම්මාට සමීප වීමු. ඒ කාලයේ අපේ එකම ගැලවුම්කරුවා අම්මාය. කවර දඩබ්බර වැඩක් කළත් තාත්තාගෙන් අපව ගලවා ගත්තෙත් අම්මාය. අපේ හැම අවශ්‍යතාවක්ම තාත්තා ලවා ඉටු කර දුන්නේද අම්මාය. සමහර විට තාත්තාගෙන් බුරුලක් නැති ඉතා අසීරු දේ පවා ඉටු කර දුන්නේ අම්මාය. එවිට අපි මහත් සතුටින් අම්මා වැලඳ ගන්නෙමු. අම්මා අපව සෙනහසින් තුරුලු කර ගන්නීය. ''උඹලට ඉතින් මං වගේ අම්ම කෙනෙක් ඉන්න හින්ද හොඳයි '' අම්මා කීවාය.

හැම විටම ගෙදර අම්මාගේ බර කරට ගත්තේ ලොකු අක්කාය. ඇය අම්මා තරම්ම අපට සෙනෙහෙවන්තය. අම්මාට අයත් රාජකාරිවලින් අඩක්ම කරන්නේ ලොකු අක්කාය. තාත්තාගේ හැර අප ඔක්කොගෙම පිඟන්වලට බත් බෙදන්නේද ලොකු අක්කාය. තාත්තාගේ පිඟානට බත් බෙදන්නේ අම්මාය. අප එකට වාඩිවී කෑම ගන්නා විට මාළු කෑල්ල හෝ බිත්තරය මුලින්ම අතුරුදන් වෙන්නේ මගේය. ඒ මට ඇස් පියා ගන්නැයි කියා අයියා කරන මැජික් නිසාය. අන්තිමට මට අක්කාගේ පිඟානේ මාළු කෑල්ල හෝ බිත්තරය ලැබෙන්නේය. ''උඹලට ඉතින් මං වගේ අක්ක කෙනෙක් ඉන්න හින්ද හොඳයි.'' ලොකු අක්කා කීවාය.

පවුලේ වැඩිමලා අයියාය. ඔහු ඔහුගේ බොහෝ වැඩ කර ගත්තේ අප ලවාය. ඒ නිසා අයියා නිතරම අම්මාගෙන් බැනුම් ඇසුවේය. '' මුට යකෝ අතට පයට වැඩකාරයෝ නැතිව බෑනේ '' යැයි කීවාය. ඒත් කිසිවෙක් ඒ ගැන උරණ වුවේද නැත. අයියාගේ ඇඳුම් සෝදා මැද දුන්නේ අක්කාය. ඒ අපේ ඒවත් සමඟය. '' මගේ මේස් හෝදලා නෑනේ නංගි. '' අයියා කියන්නේ ගමනක් යෑමට ඔන්න මෙන්න කියා තිබියදීය. '' ඇයි නැත්තේ, හෝදලා ඔය බෝල කූඩුවේ එල්ලලා ඇත්තේ. '' අයියලට ඉතින් මං වගේ නංගි කෙනෙක් ඉන්න හින්දා හොඳයි '' කීවේද ලොකු අක්කාය.

පවුලේ වැඩිමලා වූ අයියා බාලයා වූ මට වඩා වයසින් ගොඩක් වැඩිය. ඔහු විවාහ වන විටත් අප පුංචි උන්ය. අලුත් අක්කා ගෙදරට කැන්දන් ආ පසු අම්මාගේ සහ ලොකු අක්කාගේ වැඩ සැහැල්ලු වූවාය. වත්ත පිටියේ වැඩටත් කැත්ත උදැල්ලේ වැඩටත් අලුත් අක්කා දක්ෂය. අම්මා සමඟ හරි හරියට වැඩය. අම්මා සිටියේ ඒ ගැන සතුටිනි. '' අම්මටත් ඉතින් මේ වගේ ලේලි කෙනෙක් ඉන්න හින්ද හොඳයි '' කිවේ පොඩි අක්කාය.

අලුත් අක්කාට දරුවෙක් ලැබෙන්න යන පුවත අසා වඩාත්ම සතුටු වූයේ අම්මාය. '' පරම්පරාව ගෙනියන්න සරමක් '' කීවේ තාත්තාය. '' ඇයි කම්බායක් වුණාම නරකද? '' ඇසුවේ අම්මාය. අලුත් අක්කාට යම් යම් අපහසුතා ඇතිවිය. අම්මා ඒ හැම විටම ඇය ළඟ සිටියාය. කෑමට කැමති කැමති දේ හදා දුන්නාය. දරුවා ලැබුණු පසුවද එසේමය. පොඩි එකාට පණ වගේ ආදරය කළාය. අලුත් අක්කාට කරන්න දෙයක් නැති තරම්ය. '' ලේලිලාට ඉතින් මේ වගේ නැන්දම්මා කෙනෙක් ඉන්න හින්ද‍ා හොඳයි.'' කීවේ තාත්තාය.

අප තාත්තාට වඩා අම්මාට සමීප වුවත් තාත්තා අපට බෙහෙවින්ම ආදරේය. තාත්තා උපයන හැම සතයක්ම වැය කළේ අපටය. අක්කලා අයියලා රැකියා කරන අය වුවද , ''මෙන්න මේක වියදමට තියා ගනින් කියා කීයක් හෝ මිට මෙලෙව්වේය. ගෙදර අවශ්‍යතා සඳහා මුදලක් අම්මාටද දුන්නේය. හැබැයි තාත්තාට කිසිවක් ඉතිරි කර ගත්තේ නැත. ඒත් පවුලේ පැවති එකමුතුව නිසා අඩුවක් පාඩුවක් දැනුණේ නැත.

දවසක් තාත්තා හදිසියේ අසනීප විය. අයියලා, අක්කලා කිසිවෙක් ගෙදර සිටියේද නැත. තාත්තාට හදිසි ප්‍රතිකාර අවශ්‍ය විය. වහා ක්‍රියාත්මක වූයේ අම්මාය. කුලී රියක් ගෙන්වා තාත්තා වහා පෞද්ගලික රෝහලකට ගෙන ගියාය. එයින් තාත්තාගේ දිවි ගැලවුණි. අම්මාගේ ක්‍රියාව තාත්තාට පුදුමය. ගෙදර උවමනාවලට ගන්නට තාත්තා දුන් මුදලින් අම්මා කීයක් හෝ ඉතිරි කරගෙන තිබුණාය. ඒ මුදල් එදා තාත්තා වෙනුවෙන්ම වැය කළාය. '' ඔහේට ඉතින් මං වගේ ගෑනු කෙනෙක් ඉන්න හින්දා හොඳයි '' කීවේ අම්මාය.

අම්මා, අක්කා, නංගි, නැන්දා, ලේලී, බිරිය මේ සියලු දෙනා එදා අපේ ගැමි පවුලේ කාන්තාවෝය. '' එදා ඉතින් මේ වගේ ගෑනු හිටපු හින්දා හොඳයි '' හිතුණේ මටය.

[නන්දසේන උඩුගම]

 

මාතෘකා