කියන කතාවල නොකියන කතා

 ඡායාරූපය:

කියන කතාවල නොකියන කතා

අප සමාජය සිංහල භාෂාවේ එන ව්‍යංග්‍යර්ථ පද සහ අසම්භාව්‍ය ක්‍රියා නිතර සිහියට නංවන සිදුවීම් වලින් බහුලය. කන වැකෙන යම් දෙයක හෝ ඇස ගැටෙන සිදුවීම් දාමයක අවසන ව්‍යංගයන් හෝ අසම්භාව්‍ය රැඳී ඇතැයි යන කුකුස අප තුළ නිතර පවතී. ඒ අන් යමක් නිසා නොවේ. මතුපිට කතාවට හාත්පසින් වෙනස් කතා ඇතුළාන්තය අපට පෙන්වා දුන් ඉතිහාසයේ උදාහරණ නිසාවෙනි.

ඉතිහාසය නැවත නැවතත් සිදුවන බව කීමට කිසිවකුගේ ඌනපූරණ අවැසි වන්නේ නැත. කිසිවකු විසින් නිර්මාණය කළ හෝ පාරිසරික හේතූන් විසින් ඉබේ නිර්මාණය වූ සෑම සිදුවීමක අපට අතුරු කතා සහ අතරමැදි කතා හමුවේ. ඇතැම් කතා සිදුවීම හා සමාන්තර වෙතත් තවත් කතා සිදුවීමට කිසිසේත්ම අදාළ වන්නේ නැත. තොරණේ කතාව ඇසෙන අතරේම ඊට ආධාර කළ අයගේ නම්ද කියවේ. අසම්භාව්‍ය ක්‍රියා ඉගැන්වීමේදී ගත් පොදු උදාහරණය "වැසි වැස්සොත් ගඟ පිරෙයි" යන්නය. මේ උදාහරණය වැස්ස ගැන හෝ ගඟ ගැන නොවන බව එදා සිට අප දැන සිටියහ. සමාජ කථිකාවත් ඇති බොහෝ කතාද එසේය. ඒවා ව්‍යංග සහ අසම්භාව්‍යවල සම්මිශ්‍රණ මිස, ඔය කියනා තරම් සම්භාව්‍ය නැත.

කලකට ඉහත මාධ්‍ය "ජඩ" බවට කතා පැතිර ගියහ. ඒවා වෙනස් කරන්නට අරගලද කළහ. වෙනස් වූ දෙයකට හෝ වෙනස් වූ කෙනකුට උදාහරණ මතක් නොවෙතත් ඒ කතාව තවත් මුහුණුවරකින්, තවත් පරිච්ඡේදයක් ස්වර්ණව වහනය වනු පෙනිණ. එය මාධ්‍යද වෙනස් කරනා අරගලයක් නොවන බව ඇසුණි. සේවක අයිතීන් දිනාගන්නා සටනක් බවද කියවිණි. සැබෑය. අරගලය අයිතීන් වෙනුවෙනි. වෙනසක් වෙනුවෙනි. වෙනස හරහා ලැබෙන අයිතිය කුඩා පුද්ගල කණ්ඩායමක හෝ තනි පුද්ගල භුක්තියකට නතු වූවක් නොවේ. පොදු සමාජ දේහයේම කොඳු නාරටිය සෘජු කිරීම වෙනුවෙන් විය යුතුය. පාලකයෙක්, නිලධාරියෙක්, ආයතනයක් වෙනස් කොට සමාජයක් මතවාදීව වෙනස් කළ හැකිනම් අද රටක් ලෙස අප සිටිය යුත්තේ මෙතැන නොවේ.

අරගලය ශිෂ්ට වන තරමට දිනූ අයිතීන් ශුද්ධය. ලෝක ඉතිහාසයෙන් ශිෂ්ට අරගල සහ ශුද්ධ අයිතීන් අපමණ කියවා ගත හැකිය. එහෙත් අපට නැවත නැවතත් ඇසෙන්නේ පරණ තැටියේම ප්‍රති වාදනය. විල්පත්තුවේ කතාවද එවන් ගණයේ ප්‍රතිවිකාශයකි. කලෙක උත්සවශ්‍රීයෙන් ඇරඹූ මේ කතාව තවත් අතුරු සහ අතරමැදි කතාවලට යටවී නිහඬ වී ගියේය. එදා ඒ වෙනුවෙන් වේදිකා තනාගෙන ගිරිය පිප්පූ ඇත්තන්ට අත්පොඩි තැලූ ඇත්තෝ ගෙවත්තේ ගස්ලබු පැලයක් හිටවාගත්තේ නම් අද පවුලේ අතුරුපස හෝ පිරිමැසී යන්නේය. කුඩා දේශපාලන පැලයක් විශාල ගසක් කර පෝෂණය කළ මෙරටෙහි දේශපාලනය වටහා ගැනීම පසෙකලා, තම්බි ගස් උගුල්ලන්ට, කපා දමන්න්ට මුල්ලු ඇනීමත් පොරෝ එසවීමත් හිනා නොයන පරණ විහිළුවකි. රෑ බතට මිරිස් බැද, දෙහි, ලූනු, පොල් කිරි අනා "දිය බත්" කෑ අය එහි රසය දනිතත්, එය වතුරෙන් සෝදා නිකං ගිලීමෙන් "දිය බත්" රසය විස්තර කළ නොහැකිය. පරණ කතා අලුත් කිරීමත් එලෙසමය.

කලෙක මේ රටෙහි "සනීපාරක්ෂක තුවා" වෙනුවෙන්ද අරගල තිබිණි. එහෙත් තාමත් අප ෆාමසියකින් සනීපාරක්ෂක තුවායක් ඉල්ලන්නට පැකිළෙති. කොණ්ඩමයක් මිලදී ගන්නට වෙව්ලති. දුම්වැටි, මත්පැන් පවා ප්‍රසිද්ධියේ අලෙවි වන, මිලදී ගන්නා රටේ, එකී දේ සඟවා රැගෙන යන්නේ නීති විරෝධී භාණ්ඩ මිළදී ගත්තා වැනි බියකිනි.

මෙකී රටෙහිම තරුණියෝ සමූහ දූෂණයට ලක්වූහ. දැරියන් අපයෝජනය කර මරා දැමූහ. කලාවේ, දේශපාලනයේ, ආයතන තුළ අපමණ ලිංගික අල්ලස් සහ බලහත්කාරකම් පවතී. අරගල තවත් එක් ආටෝප ප්‍රදර්ශන භාණ්ඩයකි. එය තව දුරටත් මතවාදීව මිනිසුන් වෙනස් කිරීමට හෝ ශිෂ්ට සම්පන්න සමාජයක් නිර්මාණය කිරීමට වලංගු වන්නේද යන්න ප්‍රශ්නයකි.

පූජකයන් දෙසන්නේ පූජනීය ලෝකයකි. පාලකයන් පතන්නේ ප්‍රජාතන්ත්‍රවාදී සමාජයකි. එහෙත් අප සිටින්නේ පූජනීය බව හෝ ප්‍රජාතන්ත්‍රවාදය හරිහමන් ලෙස ශබ්ද නඟාගැනීමටවත් නොහැකි රටකය. ඒ සියල්ල වේදිකාවල මයික් ඉදිරිපිට ශබ්දයේ ලස්සනට උඩ දමන වචන පමණය. ඔය කියනා තරම් පූජනීය පූජකයන් හෝ ප්‍රජාතන්ත්‍රවාදී පාලකයන් අපට නොමැති හෙයින්, ඔය වචන පමණක් රැක ගත්තාට අත්වන සෙතක්ද නැත. සමාජයක් ලෙස අප හඹා යා යුත්තේ පින්තාරු වචන හෝ අච්චාරු රැලි නොවේ. කොතෙක් කට වචනයට කීවද, අප ජාතියක් හෝ රටක් ලෙස එකට එකතුවන මිනිස් කොට්ඨාෂයක් නොවේ. අප එකතු වන්නේ තනි පුද්ගල අවශ්‍යතා මත හෝ කුඩා කණ්ඩායමක අරමුණු දිනා ගැනීම වෙනුවෙන් පමණි. එබැවින් ඒ තනි හා කුඩා අරමුණු තුළ තමන්ගේ කතාව ලියාගන්නවා මිස, කියන කතා ඇතුළේ නොකියවෙන ව්‍යංග සහ අනෙකුත් අංගවලට ඔල්වරසන් දීමෙන් ඵලක් නැත. අපේ කතාවේ කියවූ සහ නොකියවූ සියලු කොටස් අයිති අපිටය. ඒවා අලුත් කරන්නට කොටස්කරුවන් උවමනා වන්නේ නැත.

[ධනුෂ්ක බස්නායක]

මාතෘකා