අමුතු රසයක් ගෙනෙන ‘අමුතු රසිකයා’

 ඡායාරූපය:

අමුතු රසයක් ගෙනෙන ‘අමුතු රසිකයා’

භරතමුනිගේ නාට්‍ය ශාස්ත්‍රය නම් විචාර ග්‍රන්ථය පදනම් කරගනිමින් ‘රස’ පිළිබඳව මුල්ම සාකච්ඡාව පැනනැඟුණි. රසවාදයෙන් උත්සාහ ගනු ලැබූවේ නාට්‍ය මගින් මතු කරනු ලබන වින්දනය පිළිබඳව විග්‍රහ කිරීමටය. භරතමුනිගේ ඉගැන්වීම් අනුව නාට්‍ය කලාවෙන් උද්වීපනය කරන්නා වූ රස අටකි. පසු කලෙක ශාන්ත රසය එක් වීමෙන් ‘නව නළු රසයක්’ බිහි විය. රසවාදය, පෙරදිග සාහිත්‍ය ලෝකයේ ඉතා පුළුල් අයුරින් සංවාදයට බඳුන් වූ වදනකි. පසු කලෙක භාරතීය සාහිත්‍යය අැසුරු කර ගනිමින්ම ධ්වනිවාදය, අලංකාරවාදය ආදී බොහෝ මතවාද ප්‍රචලිත විය.

රසවාදයට අනුව කවියා නොහොත් නාට්‍ය ඉදිරිපත් කරන්නා විසින් එය පළමුව රස විඳිය යුතු අතර දෙවනුව ප්‍රේක්ෂකයා විසින් විඳිය යුතුය. නාට්‍යය උද්වීපනය කරන රසය සන්තර්පණය කරන යම් කෙනෙක් වේද හෙතෙම ‘රසිකයා’ නම් උතුම් නාමකරණයට බඳුන් වන්නේය. නාට්‍ය ශාස්ත්‍රයෙහි ‘අමුතු රසිකයකු’ දක්වා නැත. එහෙත් ජයප්‍රකාශ් සිවගුරුනාදන්ගේ අධ්‍යක්ෂණයෙන් සෑම සතියේ දිනකම ජාතික රූපවාහිනියෙහි රාත්‍රී 8.30ට විකාශනය වන ‘අමුතු රසිකයා’ ටෙලි නාට්‍යය මගින් ‘අමුතුම රසයක්’ උත්පාදනය කරයි. ඒ අමුතු රසයත් සමඟින් අලුත් රසිකයන් පිරිසක් නැවත රූපවාහිනියට හා ටෙලි නාට්‍ය කලාව සමඟින් එක් වෙමින් පවතී.

වට්ටෝරු කතා වස්තූන්ගෙන් මිදී වෙනස්ම ආරක කතා කලාවක් ‘අමුතු රසිකයා’ ටෙලි නාට්‍යයෙහි දැකිය හැකිය. දේශීය සිනමාවේ ස්වර්ණමය යුගයේදී සිනමාවට ඇලුම් කළ ලොරි රියැදුරකු හා අලුතින් සිනමාවට ආකර්ෂණ‍ය වන තරුණයකු වටා කතාව ගෙතී ඇත. පොත්වලට ඇලුම් කරන, පොත් තුළින්ම ජීවිතය දකින්නට උත්සාහ කරන, පොත් කියවීමක් තිබුණ ද සැබෑ ජීවිතය කියවා ගත නොහැකි තරුණයකු ද නාට්‍යයෙහි දැකිය හැකිය. අප විසින් මීට පෙර ටෙලි නාට්‍යවල දුටු චරිත හා චරිත ලක්ෂණයන්ට වඩා විචිත්‍රවත් චරිතාංග මෙහි දැකිය හැකිය. පෙම්වතා හෝ වීරයාද දුෂ්ටයාද සාම්ප්‍රදායික නිරූපණයෙන් ඔබ්බට ගමන් කර තිබේ. ජීවිතයේ පළමුවරට සිනමා පටයක් නරඹා එහි සිටි නිළියකට මොනෝරාජිකව පෙම් කරන ඒ වෙනුවෙන් කටයුතු කරන ලොරි ගෝලයකු දක්නට ඇත. අමුතු රසිකයා අමුතුම රසයක් එක් කරන ටෙලි නාට්‍යයක් වන්නේ එබැවිනි.

අමුතු රසිකයා ටෙලි නාට්‍යයෙහි තිර රචනය සද්ධාමංගල සූරිය බණ්ඩාරගෙනි. චාමර සමරවික්‍රම හා සද්ධාමංගල සූරියබණ්ඩාර සම නිෂ්පාදනයෙන් දායක වී ඇත. නිෂ්පාදන කළමනාකරණය චින්තක ශ්‍රීමාල් විසිනි. අංග රචනය වාසනා බණ්ඩාර විජේකෝන්ගෙනි. කලා අධ්‍යක්ෂණය මනෝජ් වික්‍රමසිංහ විසිනි. සංගීත අධ්‍යක්ෂණය කපිල පූගලආරච්චි විසින් සිදු කර ඇත. ආලෝකරණය හා කැමරාකරණය මයුර කෟෂල්‍ය විසිනි. සංස්කරණය තිවංක උඩගෙදරය. ශ්‍රියන්ත මෙන්ඩිස්, රොෂාන් පිලපිටිය, සංජය මුරමුදලි, ටානියා පෙරේරා, සුරාජ් මාපා ඇතුළු ප්‍රවීණ මෙන්ම ආධුනික නළු නිළියන් විශාල පිරිසක්ද රංග දායකත්වය ලබා දෙති.

ලාංකේය ටෙලි නාට්‍ය කලාව සේම සිනමා කර්මාන්තයද කඩා වැටී අවසන්ය. එයට විවිධ හේතු බලපාන්නට ඇති අතර මේ වන විටත් ඊට හේතු ගොඩ නැඟෙමින් තිබේ. එහෙත් රටක් වශයෙන් මෙවැනි කලා මාධ්‍ය පමණක් නොව, පොදුවේ වෙනත් කලා මාධ්‍යයන් වුවද බිඳ වැටී අවසන්ය. ප්‍රේක්ෂක ආකර්ෂණය හීන වී යෑම මීට එක් හේතුවක් විය. ඇතැම් රූපවාහිනී නාලිකා උදේ සිට රාත්‍රිය දක්වාම අඩු මුදලට පිටරවල්වලින් ගෙනෙන ලද ටෙලි නාට්‍ය විකාශනය කරමින් ප්‍රේක්ෂක අවධානය රඳවා ගනිමින් විශාල මුදල් උත්පාදනය කරයි. එහෙත් දිනෙන් දින රසිකත්වය පහළ මට්ටමකට රැගෙන යෑම එම ටෙලි නාට්‍ය මගින් සිදු කෙරිණි. අවම රසිකත්වයෙන් හෙබි ප්‍රේක්ෂක පිරිසක් උසස් රසවින්දන මට්ටමකට රැගෙන යෑම පහසු කටයුත්තක් නොවේ.

‘අමුතු රසිකයා’ ටෙලි නාට්‍යයෙන් මෙම සංක්‍රාන්ති ප්‍රේක්ෂක අවශ්‍යතාව පූර්ණය කරනු ඇත. තිර රචන‍ෙය්දී මෙන්ම අධ්‍යක්ෂණයේදීද මෙම චරිත කෙරෙහි සියුම් උපහාසයක් මතු කරයි. සිවගුරුනාදන්ගේ නිර්මණයන්හි මෙකී ලක්ෂණය සැම විටම දැකිය හැකිය. ඔහු සිනාසෙන්නේ මනුෂ්‍යත්වයට නොවේ. ඔහු සිනාසෙන්නේ පුද්ගලයන් තුළ සැඟව සිටිනා දුර්වලතාන්ටය. මින් අපට රූපවාහිනී තිරය අබියස හිඳිමින් අප ගැනම නරඹමින් ගැඹුරු ජීවන කථිකාවකට පිවිසිය හැකිය.

හොඳ මිනිසුන් එක් වූ කල ලෝකය යහපත් කළ හැකිය. එසේම හොඳ නිර්මණකරුවන් එකට එක් වූ විට හොඳ නිර්මාණ කළ හැකිය. ‘අමුතු රසිකයා’ එවන් හොඳ මිනිසුන්ගේ එකතුවෙන් බිහි වූ නිර්මාණයකි. සතියේ දිනවල රාත්‍රී 8.30 ජාතික රූපවාහිනියේ තිරය වෙනුවෙන් අඩ හෝරාවක් වෙන් කර ගත හැකි නම් සැමටම අමුතු රසිකයකු විය හැකිය.

[ගාමිණී බස්නායක]

මාතෘකා