සෙල්ලම්ද මැල්ලුම් තව කතා

 ඡායාරූපය:

සෙල්ලම්ද මැල්ලුම් තව කතා

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් තැන් තැන්වල හෙළ බොජුන්හල් ඇරලා තියෙනවා. නුවරඑළිය ටවුමෙ තියන එකට සුද්දොත් එනවා හෙළ බොජුන් කන්ඩ. මොක වුණත් හොඳ වැඩක්. හැබැයි ඉතිං මනුස්ස වරිගයා කන කෑම කොහෙන් කොහොම හරි විසරණය වෙලා මුහු වෙනවා. අර සංස්කෘතික විසරණය ගැන මතවාදෙ කියවෙනවා වගේ. මොකද හෙළ බොජුන්හල්වල තියෙන කෑමත් සමහර එව්වා පිට දීපදේශාන්තරවලින් මෙහාට ඇවිල්ල අපේ වෙච්ච එව්වා නෙව.

දැන් බලන්ඩ ඔය උළුඳු වඩේ. එව්වා අපේයැ. ඇයි ආප්ප, ඉඳි ආප්ප ආවයි කියන්නෙත් කේරළෙන් නොවැ. ඉතිං ආප්පනම් අපේ හැටියට පැණි දාලා, කිරි දාලා ආලවට්ටම් එක්කහු කරලා උඩ කබලකුත් තබාලා 'උඩිනුත් ගින්දර යටිනුත් ගින්දර මැදින් සවුන්දර' කියලා හදාගෙන තියෙන්නෙ. එව්වා කැකුළු හාල් පිටි ආප්ප මිස චොරොස් ගාලා තාච්චියේ වක්කරලා ගන්න සුදු පොතු නෙවෙයි. අඩ්ඩාලච්චේන පැත්තෙදි කාලෙකට ඉස්සර මං කෑව මී කිරි දාලා හදන පාල් අප්පම්. ආප්පෙ මැද්දට මුදවාපු මී කිරි හැන්දක් දාලා බිත්තර ආප්ප හදන්නැහේ එව්වා තැනුවේ.

මං මේ කතාව කිව්වෙ ජන ආහාර සංස්කෘතිය ඇතුළෙ කොහොමෙන් කොහොම හරි මුහු වීම් තියෙන බවත් කියන්ඩ. කෑම කලාව හැදෙන්ඩත් මුල්වෙන්නෙ සාගින්දර නිවාගන්ඩ තියෙන වුවමනාව වෙච්චි කොට ඒක එහෙම තමයි.

ආ මං අර හෙළ බොජුන්හලෙන් කොටා බෑවා ලුණුමිරිස් තළියක් එක්ක සමබල රොටී දෙකක්. කිව්වට කාරි නෑ. උන්දැලා දන්න ලුණු මිරිස. අපේ ගමේ නැන්දම්මලානම් කියයි සත පහකට වැඩක් නෑ කියලා. ඇයි බොලල්ලා ඕක මිරිස් කුඩුවලින් නෙවෙයි කරල් අඹරලා හදාපල්ලකො. අමු මිරිස් ඉදවලා වුණත් මොකද? තක්කාලි ගෙඩිය පුච්චලා ගත්තනම් පංකාදුයි නෙව. ඇයි ඕසෙට ගස් තක්කාලිත් තියෙන්නෙ. ඉතිං මේ සමබල රොටියට කැරට් කෑලි එව්වා මෙව්වා දාල තිබ්බා. අහේනි කාලවල ලාවුලුත් හූරලා දාලා රොටී කාපු ඇත්තොත් ඇති තවම.

ඔන්න කතාව. රොටී මැද්දට මැල්ලුම්පලාත් දාන්ඩ පුළුවන්. වට්ටක්කා දළු, ගොටුකොළ, මුකුණුවැන්න, කූරකොළ හීනිවට ලියලා දැම්මම නිකම්ම පිටි ගුලියක් බඩ ඇතුළට ඔබනවාට වැඩියෙං වටිනවා. මින්මනත ගෙදර පොඩි ඇත්තන්ඩ දෙන්ඩ රොටී හදනවානම් එයාකාර කලවමක් කරන්ඩ මතක තියාගන්ඩ එහෙනං. අවුරුදු දහ පහළොවකට උඩදි අපි කවදාවත් මැල්ලුමකට පලාවකට පොළේ ගියෙ නෑ. ගමේ උන් රංචු පිටින් කුඹුරුවලට ගියේ, වරෙල්ලා මැල්ලුම් කඩන්ඩ යන්ඩ කියාගෙන. එලෝළු අස්වනු නෙළලා අහවර වෙච්ච ඒ කුඹුරු කාගෙ වුණත් කමක් නෑ. ආයෙ මනුස්සයෙක් පලා මැල්ලුමක් කඩාගත්ත කියාලා අයිතිකාරයො දොස් කියන එකක්යැ. ඉතිං පොදි ගහගෙන එන්නෙ මුකුණුවැන්න නැත්තං කූරකොළ, කූර සුදු රතු වරිග දෙකයි. දෙකම එකවාගෙ රහයි. අපේ ගම්වල වැඩිපුරම කෑවෙ අතින් කඩලා මලවාලා තෙල් දාලා. කූරකොළ ලියලා මලවලා පලක් නෑ ඇත්තට. කුඹුරු නියරෙන් එපිට තිබ්බා කටු කූර. එව්වයෙ ඇඟ පුරාම කටු. කටු කූර කඩනවානම් පරිස්සමෙන් කටු ඇන ගන්නෙ නැතුං. ඒකත් මලවාලා බොහෝම රහයි විතරක් නෙවෙයි අම්මලා හරියට වර්ණනා කෙරුවා කටු කූර ගුණ ගැන. මේ කූර ජාති අර සාරණ, කිරිහැන්ද වගේ පරිප්පු දාලා හරි නැතුව හරි කිරට උයාගන්ඩත් කදිමයි.

ඔහොම කුඹුරුවලට වැදිච්චම මුණ ගැහෙනවා පොළොව ඉඹගෙන වැතිරිලා හැදෙන ඇඹුලු පලාවක්. ඒක දිය පිරිච්ච ඇඹුලක්. මං තවම කල්පනා කරනවා හරියටම මොකක්ද එව්වට කිව්වෙ කියලා මොකද අපි කියව්වෙ කොරොස් පලා කියලා. මයෙ ඉහේ මලක් පිපෙනවා වාගේ එව්වා තිබ්බොත්. මොකද පරිප්පු දාලා හරි නැතුං හරි ඇඹුලට අම්මා උයන ඔයි පලා එක්ක බත් මරතහැකි. අනේ දැන්නං කාලෙකින් එව්වා කෑවෙ නෑ. මේ වල් බෙහෙත් වසංගතේ හින්දා කොයි එව්වා ඉතුරු වෙන්නෙ දෙයියනේ. ආං ඒ වගේ තව ආස හිතෙන ජාතියක් හපුතලේ පැත්තෙ ගලන වතුර පාරවලා වැවිච්ච දිය පලා. අතින් කඩලා මලවලා තෙල් දාලා ගන්න අර ලේසි විදිය තමයි වට්ටෝරුව. ඔට්ටුයි මේ ලිවිල්ල කියෝන හුඟ දෙනා දිය පලා දැකලත් නැතුව ඇති. අපටත් දකින්ඩ හම්බ වෙන්නෙ බණ්ඩාරවෙල පොළේදි තමයි. පරිප්පුවලට කදිම මුහුවක් දම්පාට මල් පිපෙන දිග හීනි කොළ තියෙන ගස් නිවිති. දෙයියම්පල්ලා එව්වට රසායනික වැටෙන්නෙත් නෑ. දැක්කොත් ඇන්න ගිහිල්ලා කන්ඩ. පොඩිස්සන්ගෙ බඩ ලෙඩ දුරුවෙලා පණුවො හැලෙන්ඩ ගුණයි කියලා දීපු තව මැල්ලුමක් තමයි තුඹ කොළ. මේ කියන්නෙ ගෙඩි කන තුඹ ගැන නෙවෙයි. හීන්දෑරි කොළ තියෙන තුඹ ගැන. එක්කො එව්වා කවලම් මැල්ලුමකට ගන්නවා. එහෙම නැත්තං කිරි හොද්දට උයනවා. මේ ජාති වෙල් අද්දරවල ඉබේ වැවෙන්නෙ. මෙයාකාර කොළ හොදි කද්දි මහ මුරුංගා කොළ හොද්දක් කෑ හැටි මතක් වුණා. ඒ ගැන අනෙස්සැරේ කියඤ්ඤංකො.

[ලසන්ත ද සිල්වා]

මාතෘකා