කුමිරස්වාමී දැනුම් සයුර

 ඡායාරූපය:

කුමිරස්වාමී දැනුම් සයුර

එක පුන් සඳින් දුරු වෙයි ලොව ගන අඳුරු

වරමේකො ගුණී පුත්‍රො - නච මුර්ඛශතාන්‍යපි

එකස්චන්‍ද්‍රස්තමො හන්ති - නචතාරාගනයිරපි

ලෝක සාහිත්‍යාම්බරෙහි දිදුලන තාරකාවක් බඳු සංස්කෘත උපදේශ කාව්‍යයක් වන හිතෝපදේශයෙහි ඉහත ශ්ලෝකය දැක්වෙයි. “නූගත් පුතුන් සියයකට ද වඩා ගුණනුවණින් යුතු එකම පුතු උතුම් වෙයි. බොහෝ තාරුකා මැද එකම පුන්සඳ ලොව බබළන්නාක් මෙනි” එම ශ්ලෝකයෙහි සරල අර්ථයයි. ලාංකික කිවිවර අලගියවන්න මුකවැටි ශූරීහු මෙසේ එම රුවන් වැකිය සිංහලට නැගූහ.

පින්මඳ පුතුන් සියයක් ලදුවත් නිසරූ - ගුණ නැණ බෙලෙන් යුතු පුතු මය ඉතා ගරූ

එක පුන් සඳින් දුරුවෙයි ලොව ගන අඳුරූ - නෙක තරු රැසින් එලෙසට නොමවේය දුරූ

ගුණයෙන් හා දැනුමෙන් යුතු උතුම් දරුවකු සමස්ත මානව සමාජයම සුවපත් කරන බව ලොව පිළිගත් මතයයි. එබඳු දරුවකු නිසා සිය මාපිය නෑසිය හිතමිතුරන්ද මාතෘ භූමියද සකල ලෝකයද උදම් අනයි. මානව ඉතිහාස එබඳු උතුමන් නිසා බැබළිණ. සුවපත් විණි. රසවත් විණි.

සකල ලෝකවාසී ඡේකයින්ගේ මුවග රැව්පිළිරැව් දෙන එබඳු උත්තමයකු මෙසිරිලකද උපන්නේය. ඒ උත්තුංග ප්‍රාඥයා ආනන්ද කෙන්ටිස් කුමාරස්වාමි ශ්‍රීමතාණෝයි. ඔහු ගුණ වැණුමට අප වැනි දුහුනන් දරන තැත දැක පඬිරුවන් මුවගට මඳහස නැගෙනු ඇත. මන්දයත් එම වැණුම කළ යුත්තේ කුමාරස්වාමි පඬිදුන් රචිත ගත් සයුර තරණය කළ අයකුම බැවිනි. ඔහුගේ කෘති කීපයක් හැරෙන්නට සමස්තය අප කියවා නැත. බෝමයක් ග්‍රන්ථ ලක්දිව සොයා ගැනීමටද නැත. එය දුර්භාග්‍යයකි.

ක්‍රි.ව. 1877.08.22 දින කොළඹ කොල්ලුපිටියේ “රින්ලන්ඩ්” නිවෙසේදී ආනන්ද කුමාරස්වාමි ප්‍රාඥයා මෙලොව එළිය දුටුවේය. සප්තභාෂා පරමේශ්වර ශ්‍රීමත් මුතුකුමාරස්වාමි ඔහුගේ පියාණන් විය. මුතුකුමාරස්වාමීහු ක්‍රි.ව.1874 දී ධාතුවංසය ඉංග්‍රීසියට පරිවර්තනය කළහ. පසුව සූත්තනිපාතයද ඉංග්‍රීසියට නැගූහ.

එළිසබෙත් ක්ලේබීබි නම් වූ වංශවත් ධනවත් සුදු ජාතික පින්වතිය ආනන්ද කුමාර ස්වාමි ශ්‍රීමතාණන්ගේ මව්තොමෝ වූවාය. එතුමිය පෙරදිග දර්ශනය පිළිබඳ ප්‍රාමාණික දැනුමැත්තියක වූවාය. ළමා කල නිවෙසට පැමිණි ගුරුවරුන්ගෙන් අධ්‍යාපනය ලබාගත් කුමාරස්වාමි ළදරුවා දොළොස් හැවරිදි වියේදී එංගලන්තයේ ග්ලොස්ටර්ෂයර් ප්‍රාන්තයේ වයික්ලිෆ් විද්‍යාලයට සම්බන්ධව නේවාසිකව අධ්‍යාපනය ලැබුවේය.

අධ්‍යාපනය ලබන අතර සෑම නිවාඩුවකම ලංකාවට පැමිණ මහනුවර, සීගිරිය, හග්ගල ආදි නගරවල භූ අධ්‍යයනයන්හි නිරතව ඇත. ක්‍රි.ව. 1910 පමණ එවකට විසිතුන් හැවිරිදි ආනන්ද කුමාරස්වාමි තරුණයා භූ විද්‍යා සංගමයේ ත්‍රෛමාසික සඟරාවට “ලංකාවේ පාෂාණ හා මිනිරන්” මැයෙන් ලිපියක් යොමු කරයි.

ක්‍රි.ව. 1902 ජුනි 19 වැනිදා එතෙල් මේරි පාර්ට්‍රිජ් නැමති ඉංග්‍රීසි ජාතික යුවතිය විවාහ කර ගන්නා අප කතානායකයාණෝ මහනුවර නගරයෙන් මනස්කාන්ත නිවෙසක් මිලට ගෙන පදිංචි වූහ.

ක්‍රි.ව. 1902 වර්ෂයේම ලංකා ඛණිජ ද්‍රව්‍ය පර්යේෂණ පිළිබඳ අධ්‍යක්ෂ තනතුරට පත්වන කුමාරස්වාමීහූ ක්‍රි.ව. 1903දී ලංකාවේ භූ පාෂාණ පිළිබඳව ඉතා වටිනා නිබන්ධයක් “ලංකාවේ ඛණිජමය පර්යේෂණ” මැයෙන් පළකරනු ලැබූහ.

අනතුරුව ලංකාවේ අත්කම් හා කලා ශිල්ප පිළිබඳ වැදගත් ලේඛන ලියා පළකරනු ලබයි. ක්‍රි.ව. 1905 වර්ෂයේදී “ලංකා සමාජ ප්‍රතිසංස්කරණ සංගමය” අරඹනුයේ අභාවයට යමින් තිබූ ජාතික හැඟීම් උද්දීපනය කිරීම අරමුණු කරගෙනයි. මේ අතර ඉන්දියාව ඇතුළු රටවල සංචාරය කරන අප කතා නායකයාණෝ විවිධ ශාස්ත්‍රීය පර්යේෂණයන්හි නියැළෙති. ක්‍රි.ව. 1908 වසරේ රචිත (MEDIAEVAL SINHALESE ART) “මධ්‍යකාලීන සිංහල කලා” නැමති ග්‍රන්ථය ලංකා කලාවේ ගාම්භීරත්වය ලොවට විහිදා පෙන්වයි.

රවීන්‍ද්‍රනාත් තාගෝර්, මහත්මා ගාන්ධි බඳු ඉන්දීය පඬිවරුන් ඇසුරු කරන කුමාරස්වාමි භාරතය පිළිබඳ වටිනා ග්‍රන්ථ කීපයක්ම රචනා කරනු ලබයි. ක්‍රි.ව. 1916 වසරේදී රචනා කරන “බුදුන් සහ බුදු සසුන” ග්‍රන්ථය නිසා බෞද්ධ දර්ශනය පිළිබඳ පැවති දුර්මත සහ වැරදි අවබෝධයන් බොහොමයක් පහව යනු ලබයි.

ආනන්ද කුමාරස්වාමීහු ක්‍රි.ව. 1911 දී පළමු බිරියගෙන් වෙන්ව ස්කොට්ලන්ත ජාතික “ඇලිස් රිචඩ්සන්” සමඟ දෙවන වර විවාහ වී ඇත. ක්‍රි.ව. 1917 එතුමන් ඇමරිකාවේ බෝස්ටන් ලලිතකලා කෞතුකාගාරයේ ඉන්දීය කලාව පිළිබඳ අංශාධිපති ධුරයට පත්වීම සුවිශේෂ සංසිද්ධියකි. “බෞද්ධ ප්‍රතිමා විද්‍යාවේ මූලධර්ම” මැයෙන් එතුමන් රචිත ග්‍රන්ථ රත්නය හාවඩ් විශ්වවිද්‍යාලයයේ ප්‍රකාශනයක් ලෙස එළිදැක්වෙන අතර තත්විෂය පිළිබඳ අදට ද ප්‍රාමාණික ග්‍රන්ථය එයයි.

ක්‍රි.ව. 1922 වසරේදී ආනන්ද කුමාරස්වාමීහු “ස්ටෙලා බ්ලොච්” නැමති යුවතිය සමඟ තෙවන වරට විවාහප්‍රාප්ත වෙයි. භාෂා තිස්හතරක් පිරිසිඳ දත් එතුමාණෝ කලාවේ ඉතිහාසය, සංගීතය, මූර්තිශිල්පය, ආගම, අධිභෞතික විද්‍යාව, සෞන්දර්යවේදය, බෞද්ධ දර්ශනය ඇතුළු දර්ශනවාද ගැඹුරින්ම හදාරා තිබිණ. එතුමන් ලියා පළකළ ග්‍රන්ථ හා ලේඛන සංඛ්‍යාව පන්සියකට ආසන්නය.

එම ශ්‍රේෂ්ඨ ලංකා පුත්‍රයාගේ ලිපි ලේඛන හා ග්‍රන්ථ සමූහය සොයා සපයා ආරක්‍ෂා කිරීමට අදටද විධිමත් වැඩපිළිවෙළක් නොවීම ලංකාව ශාස්ත්‍රාලීය කටයුතු විෂයයෙහි ඇති උකටලී බව පෙන්වා දෙයි. ඔහු ක්‍රි.ව. 1947.09.09 දින මෙලොව හළහ.

ලංකාව තුළ නිසි ඇගයුමක් නොලැබුණ එතුමන්ගේ ප්‍රඥා මහිමයට ලෝකයෙන් පැසසුම් ලැබිණ.

“විද්වාන් සර්වත්‍ර පූජ්‍යතේ” යන රුවන් වැකිය සිහිපත් කිරීම වටී. “ආනන්ද කුමාරස්වාමි විශ්වීය මිනිසකුගේ ජීවිතය හා නිර්මාණ” මැයෙන් ඔවුන් පිළිබඳ විශිෂ්ට ග්‍රන්ථයක් සම්පාදනය කළ සම්පත් බණ්ඩාරයන්ට ජාතියේ ප්‍රණාමය හිමිවිය යුතුය.

ආනන්ද කුමාරස්වාමි ශ්‍රී නාමය දනන් තුඩග සදා රැදේවා !

මාතෘකා