පේමතෝ ජායතී අසෝකෝ මැද සෝකෝ නැරඹීමි

පේමතෝ ජායතී අසෝකෝ මැද සෝකෝ නැරඹීමි

ප්‍රේමය පිළිබඳ යළිත් පන්තිවල වැඩි වශයෙන් කතා කරන්නට මාතෘකාවක් පැමිණ ඇත. ඒ පේමතෝ ජායතී සෝකෝ නාට්‍ය පිටපත හැදෑරීම ඇරඹීමත් සමඟින්ය. සරත්චන්ද්‍රයන්ගේ අපූර්ව වූ ගීතාංග නාට්‍යයක් වන පේමතෝ ජායතී සෝකෝ මානුෂීය ප්‍රේමයේ ඇති ශෝකීත්වය මෙන්ම ප්‍රේමය දුකකැයි යන දෘෂ්ටියද විදාරණය කරන්නකි. උසස් පෙළ හදාරන භද්‍ර යෞවන මානවක මානවිකාවන්ගේ සිත් තුළ ප්‍රේමය යනු අති සුන්දර වූද පරමානන්දනීය වූද දෙයකැයි යනුවෙන් සටහන් වන යුගයක ඔවුන්ට ප්‍රේමය යනු දුක්ඛදායක දෙයකැයි යන ලෝකෝත්තර හැඟීම ඉගැන්වීම දුෂ්කරය. එහෙත් කෙසේ හෝ එය කළ යුතුය. සිය ගණන් සාහිත්‍ය චරිතත් අනේක විද කාලීන සිදුවීමුත් ඇසුරෙන් ප්‍රේමය යනු ශෝකයක්ම බව කියාපාමින් පාඩම ඇරඹුවෙමි.

"පේමතෝ ජායතී සෝකෝ
පේමතෝ ජායතී භයං
පේමතෝ විප්පමුත්තස්ස
නත්ථි සෝකෝ කුතෝ භයං"

සරත්චන්ද්‍රයන් නාටකයට ආරම්භය තබන්නේ එලෙසින්ය. ඉදින් මමද එලෙසින් ඇරඹුවෙමි. නාට්‍ය පිටපත හැදෑරීම ඇරඹීමත් සමඟින් කළ යුතු අනෙක් දෙය නම් නාට්‍ය නැරඹීමය. අම්පාර වැනි දුෂ්කර පළාතක නාට්‍යයක් නරඹන්නට හිතුණු හිතුණු විට නොහැකිය. නාට්‍ය නගරයට පැමිණෙන්නේ මාස දෙක තුනකට වරකි. මගේත් දරුවන්ගේත් වාසනාවට මෙවර පේමතෝ ජායතී සෝකෝ පිටපත හැදෑරීමත් සමඟින්ම එම නාට්‍යයද අම්පාර නගරයේ දර්ශන වාර දෙකක් පැවැත්වීමට පැමිණ තිබීමය.

තැන ජාතික පාසල් ශ්‍රවණාගාරයය. ඉරිදා දිනයක් බැවින් උදේ පැවැති පන්ති සියල්ල කර සවස පන්තිය පමණක් නවතා මගේ පන්තියේ පොඩිවුන්ද සමග ගොස් සැන්දෑ දර්ශනය නරඹන්නට තීරණය කළෙමි. වරක් හෝ දෙවරක් පේමතෝ ජායතී සෝකෝ නරඹා තිබුණද යළිත් වරක් එය නැරඹීමේ ආශාව මසිත තුළද නොතිබුණා නොවේය. ඉතින් මම පන්තියේ දරුවන්ද සමග සවස නාට්‍ය පැවැත්වෙන භූමියට ගියෙමි. බලාපොරොත්තු වූ තරම් ජනකායක් නොවුනද උසස් පෙළ විෂය හදාරන සිසු සිසුවියන් බොහෝ දෙනෙක් ඒවන විටත් ශාලාව තුළ අසුන් ගෙනය.

"සර් යං.." මගේ සිසුවියන් මා අමතයි.

"යං ඔයාලා ගිහිං වාඩිවෙන්නකො" මම පිළිතුරු දුනිමි.

පන්තියේ වැඩි වශයෙන් ඇත්තේ සිසුන් නොව සිසුවියන්ය. සිසුවියන් සියල්ලෝම ගොස් අසුන් ගන්නා දෙස මා බලා වුණි. ඒ කොටසේම සිටින්නේ ගෑනු දරුවන්ය. මම ඉතුරු පිරිමි දරුවන් ටික සමග මඳක් මෑතින් අසුන් ගන්නට තීරණය කළෙමි.

"අපි අර පිටිපස්සේ උඩ ඉඳන් බලන්නද" කොල්ලන් ටික දෙනෙක් කෙඳිරිගායි. ඒ කොල්ලන්ගේ හැටිය.

"හා යන්න... හැබැයි එතන ඉඳලා නාට්‍ය බලද්දි කෑ ගහන්න හූ කියන්න එහෙම බැහැ හරිද" මම නීතිය දැනුම් දුන්නෙමි.

ඉතුරු පිරිමි දරුවන් කිහිප දෙනා සමග මම ශාලාවේ අවසන් හරියට වෙන්නට වාඩි වූයේ නිදහසේ නාට්‍ය බලන රිසියෙනි. මට පිටුපස පේළියේ කිසිවෙක් නැති වීම සතුටකි. මන්ද බොහෝ විට පිටුපස පේළිවල හි‍දින්නන්ගේ කෑ ගැසීම් හේතුවෙන් නාට්‍ය බැලීම දුෂ්කර වන අවස්ථාවලට මා මුහුණ දී ඇත. ටික වේලාවකින් ඉදිරිපස පෙළට ගැහැනු ළමයින් කිහිප දෙනෙක් සමග පිරිමි ළමයෙක් විත් අසුන් ගත්හ. ඊටත් පසු බලාපොරොත්තු නොවූ මොහොතක ගැහැනු දරුවන් ටික දෙනෙක් පැමිණ මගේ පසුපස පෙළද ආක්‍රමණය කළහ. ඒ සියල්ලෝම උසස්පෙළ වයසේ දරුවන්ය. නාට්‍ය ඇරඹිණි.

"ස්නේහ වූ කල මිනිස් කෙනෙකුට

අන්තයෙහි ඇති වන්නෙ දුකමය...

සදාකාලික දෙයකි ශිල්පය" මම මොහොතකට වේදිකාවෙන් දෑස් මෑත් කළෙමි. ඉදිරිපෙළ පැමිණ වාඩි වූ පිරිමි ළමයා එතැන වුන් ගැහැනු ළමයකු සමග ප්‍රේමයෙන් ආනන්දය සොයයි. පිටු පසින් ඇසෙන කතාබහකි.

"මේ කෙහෙල්මල කීයට ඉවර වෙයිද බං. මට ඉක්මනින් ටවුන් යන්න ඕන අද" ඒ පිටුපස උන් යුවතියකි.

"ඇයි මොකටද?" ඒ ඇගේ මිතුරියකි.

"අද මගේ අයියා මාව බලන්න එනවා ටවුන්. අපි මාසෙකින් විතර හම්බුන් නැහැ බං. මං මේ පිස්සුවෙන් වගේ ඉන්නෙ" ඇගේ පිළිතුරය.

ඉතින් ප්‍රේමතෝ ජායතී අසෝකෝ යැයි සිතන පරපුරක් මැද මම අපහසුවෙන් පේමතෝ ජායතී සෝකෝ බලා නාට්‍ය ශාලාවෙන් නික්මුනේ සතුටකින්ද දුකකින්ද යන්න මම මගෙන්ම විමසමි.

[ගයාන් අබේසිංහ]

 

මාතෘකා