බාලවියේ සතුට....

 ඡායාරූපය:

බාලවියේ සතුට....

සතුට රැඳී තිබෙන්නේ පිරුණු මුදල් පසුම්බියේ, ගෙදර උතුරන සිනහවේ, රැකියාවේ, සමාජ ගෞරවය ලැබීමේ හා පිළිගැනීමේ විය හැකිය. ඒ දැන් ගෙවන ජීවිතය අදහන දහම වුවත් ලෝකය හරිහැටි නොතේරෙන බාලවියේ සතුට රැඳුණේ බොහොම පුංචි පුංචි දෑ තුළය.

අද දරුවන් සේම එදා දරුවන් වූ අපත් සතුට සොයන්නට හිත් පුරා සිනහා වන්නට බොහෝ දේ කළෙමු. තෑගි ඇදෙතැයි සිතා යාර ගණන් ඇදි බන්ටි ටොෆි කොළයක, යෝයෝ ගැන හීන මවා මළගෙදරක මඟුල් ගෙදරක එකක් නෑර අත්නොහැරි ටොනික් පියනක, ප්ලාස්ටික් මුදු තෑගිවලට ලැබුණු තෑගි ටොෆියක නැතිනම් හවස පහමාරෙන් පසු කළු සුදු රූපවාහිනියේ ඇන්ටනාව "හරිදෝ...හරී" යයි තාලයට අසමින් වටරවුමේ කරකැවූ විට සතුට හිමිවිය.

සතුට එපමණකින් නතර වූයේ නැත. නෑදෑයන් එකතු වෙන කල ලොකු අයගේ කතා සාලයේ සිට කුස්සියට ඇදී යන කල අපේ කතා, මගෝඩි හොර වැඩ ඇරඹෙන්නේ උළුවස්සෙන් මෙහා මිදුලේ, ඇළේ, ඉපනැල්ලේ සිටය. එසේ අහළපහළ කුඩාවුන්ද එක් කරගෙන කණ්ඩායම් ක්‍රීඩා කරමින් සාමූහිකත්වය ගැන එක් කරගත් දැනුම් සම්භාරය පසු කලෙක සාමූහිකත්වය, කණ්ඩායම් ක්‍රියා ගැන ඇසූ දේශන බර ගණනක පොත් පිටු පුරවා ලත් දැනුමට වඩා බර වැඩිය.

සැමන් ටින් බෙලෙක්කයකට කුඩා ගල් අහුරක් දමා, කට තළා, හොලවන විට ශබ්ද වන 'වච්චිය' නමින් වූවක් තනාගෙන හැංගිමුත්තන් සෙල්ලම් කිරීම එකල ප්‍රියතම සාමූහික ක්‍රීඩාවක් විය. මහ වැසි කාලයට දොළ උතුරා කුඹුරුද යට කරගෙන පොල්අතු ගඟට බසින්නේ ගම් නිම්නයේ කුඹුරු දෙපස කුඩා ඇළ පාර දෙකෙහි වේලිද කඩාගෙනය. එවන් කලට වතුර පිරුණු කුඹුරේ කෙසෙල් කොට ඔරු, පරණ ටයර් පාවීමට පටන් ගනී. තනිවම නොව ඒවා මත කුඩා අපද නංවාගෙනයි. ගංවතුරේ ගසා එන දෑ නැරඹීමත් ගංවතුර පෑගීමටත් මහ වැස්සේ එළියට දුවන අපට සතුට වැඩිකමට ඉඳහිටක යන කිවිසුමක් මිස කිසිම ඉහෙන් බහින රෝගයක් නම් නොවීය.

දොළ දිගේ ඉහළ පහළ යමින් ගල් උඩින් පැන ලොකු වතුරවලවලට පනිමින්ද දිය යට එඹෙමින් නැවත මතුවෙමින් වල පතුලෙහි වටකුරු ගල් රැගෙන එන්නාට දිනුම දෙමින් ඇස් රතුවන තුරු ජල ක්‍රීඩා කර සීතලේ ගැහෙමින් ගෙදර යනවිට අම්මා, ආච්චී උණු තේ හදා තිබෙයි. අපේ දරුවන් අද නානකාමරයේ වතුර කරාමයට අල්ලන්නටත් දහ වරක් සිතන්නට වන්නේ ඇයිදැයි මවිතයකි.

ඒ කාලය යම් තරමකට රූපවාහිනී වීරයන්ද බලපැවැත්වුණු කාලයකි. දැන් මෙන් එකම කාටූනය හෝ ටෙලිමාලාව දිනපතා විකාශය නොකළ බැවින් වීරයා සැමරීමට සතියක අවකාශයක් නිතැතින්ම හිමි විය. එමෙන්ම රූපවාහිනියේ වැඩසටහන් සීමා වීම වෙනත් කිසිදු කායික ක්‍රියාවක නිරත නොවී ඊට ඇබ්බැහිව සිටීමද වැළැක්වීය. 'ටාසන්' නරඹන අප ඊළඟ දිනයේ ලණුවලින් හෝ තනාගත් වැල්වල එල්ලී ටාසන්ගේ ගමන් යන්නෙමු. 'නයිට් රයිඩර්' නරඹා මනසින් මවාගත් 'කිට්' කෙනෙකු පැද යන්නෙමු. පුවක් කොලපුවක් හමුවූ විට ඒ මත වාඩි වී ඇඳ සිටි ඇඳුමත් ඉරාගෙන පස්සද ලෙලියන තුරු ඇදගෙන යන්නට කියන්නෙමු. පොල්පිත්තක් හමු වූ විට පොල්පිති හරකුන් හදා දෙනතුරු සීයාට, තාත්තාට කරදර කරන්නෙමු. පොල්කටු හිල් කර ලණුවක් දමා කකුලේ මහපට ඇඟිලි කරුවෙන් ලණුව හිර කර අල්ලාගෙන පොල්කටුව මත නැඟ ටකස් ටකස් හඬින් යන්නට පොල්කටු මාල හදන්නෙමු. කුරුම්බැට්ටි මැෂිමද රබර් ඇට පියනෙන් බඹරද හදන්නෙමු. වේලුණු රබර් ඇට එකතු කර වැඩිහිටියන් වාඩිවන පුටු යටින් තබා එය පුපුරන විට පුටුව කැඩුණායැයි සිතා කලබල වන ඔවුන්ගේ ඉරියව් දැක බඩ අල්ලාගෙන සිනාසෙන්නෙමු.

අප්‍රේල්, මැයි යනු සුළං තද කාලයයි. පෙර කී සියලුම ක්‍රීඩා එපා වූ සරුංගලය එකම වස්තුව වන කාලයයි. ඉරටු සුද්ද කර එකට තබා නූල්වලින් බැඳ තාත්තා දන්නා එකම සරුංගලය වවුලකු හදා දෙයි. කවදාවත් වැඩි උඩක නොයන එය යන්නේ කෙලින් අතටය. දැනුමැත්තෝ නයි, සමනලුන් ආදී එකී මෙකී වෛවර්ණ සරුංගලවලින් අහස පුරවති. සරුංගල සේම පේවෙන අනෙක් භාරදූර කටයුත්ත වෙසක් කූඩු හැදීමයි. කැලෑ පීරමින් උණබට සොයා කූඩු තනන්නේ සිල් ගන්නා ආච්චිලාටත් වඩා පේවී බැති සිතිනි.

බාලවියේ සතුට සෙවූ තැන් මතකය කකරා තවත් ලිවිය හැක. ඒවා ඒ තරම් මිහිරිය. අද දරුවන්ගේ ළමා විය සතුටක් නැතැයි නොකියමි. හැමදේම කාලයට සාපේක්ෂය. අද දරුවන් රූපවාහිනී තිරවල, ඉලෙක්ට්‍රොනික ක්‍රීඩා බඩුවල, වීඩියෝ ගේම්වල සතුට සොයන්නේ ඔවුනට ලැබුණේ ඒවා නිසා මිස අප අත්විඳි පරිසරය නොවන නිසාය. දරුවන්ට දොස් නඟා ඵලක් නොවේ. දශක දෙක තුනකට පෙර සමාජ වටපිටාව පරිසරය හා සබැඳිව සුන්දරව ගලාගෙන යද්දී ඒවා විඳිමින් සුන්දර අතීත ස්මරණ එකතු කළ අපම දරුවන්ට කුරුම්බැට්ටි මැෂින්, රබර් රූං පෙති වෙනුවට ආනයනික චීන ප්ලාස්ටික් සෙල්ලම් බඩුවලින් දෑත් පුරවා තාප්ප දමා වට කළ ගෙවතු ඇතුළෙත් තවත් බිත්ති හතරකින් වට කළ 'ප්ලේ ඒරියා 'තනාදී සාමූහික වන්නට, පරාර්ථකාමී වන්නට, ස්වාධීන වන්නට කොටින්ම පරිපූර්ණ, බුද්ධිමත්, නිර්මාණශීලී මිනිසකු වන්නට බලකරනවා නොවේද?

 

[සජිනි උයන්ගොඩ]

මාතෘකා