බටහිර විද්‍යාව සහ පෙරදිග ගූඪවාද

 ඡායාරූපය:

බටහිර විද්‍යාව සහ පෙරදිග ගූඪවාද

අසත්‍යයෙන් සත්‍ය කරාද

අඳුරෙන් ආලෝකය කරාද

මරණයෙන් අමරණීයත්වය කරාද

මා කැඳවාගෙන යනු මැන

- බෘහද්-අරණ්‍යයක උපනිෂද්

නූතන භෞතික විද්‍යාව මඟින් මානව සමාජයේ සෑම අංගයක් කෙරෙහිම විශාල බලපෑමක් ඇති කර ඇත. එය ස්වභාව විද්‍යාවේ පදනම බවට පත්ව ඇතිවා මෙන්ම ස්වභාව විද්‍යාවේ සහ තාක්ෂණික විද්‍යාවේ සංයෝජනය මඟින් පෘථිවිය මත ඇති ජීවය කෙරෙහි යහපත් සහ අයහපත් බලපෑමක් සිදු කර ඇත. විසිවන ශතවර්ෂයේදී පරමානු සහ උප-පරමානු ලෝකය සොයාගැනීම හරහා එතෙක් පැවති සම්භාව්‍ය විද්‍යාත්මක දැනුමේ සීමා මායිම් හෙළි කළ අතර ලෝකය පිළිබඳ එතෙක් ගොඩනඟාගෙන පැවති දැනුම ක්ෂණික පුනරීක්ෂණයට ලක්කිරීමට සිදු විය. උදාහරණයක් වශයෙන් උප-පරමානු ව්‍යුහයේ භෞතයෙහි පදාර්ථය පිළිබඳ සංකල්පය සම්භාව්‍ය භෞතික විද්‍යාවේ පදාර්ථයේ හරය පිළිබඳ පවතින සාම්ප්‍රදායික අදහසින් සම්පර්ණයෙන්ම වෙනස් විය. මෙය අවකාශය, කාලය හෝ හේතුව සහ ඵලය යන සංකල්ප සම්බන්ධයෙන්ද අදාළය. මෙම සංකල්ප අප අවට තිබෙන ලෝකය අවබෝධකරගැනීමට අත්‍යවශ්‍යම සංකල්ප වන අතර එම සංකල්පවල අත්‍යන්ත රූපාන්තරණය මඟින් අපගේ ලෝක දෘෂ්ටියද වෙනස්වන්ට පටන්ගත්තේය.

නූතන භෞතික විද්‍යාව තුළ ඇතිවූ මෙම වෙනස්කම් පසුගිය දශක කිහිපය තුළදී භෞතික විද්‍යාඥයින්ගේ සහ දාර්ශනිකයන්ගේ නිබඳ සාකච්ඡාවට ලක් වූ අතර එම සාකච්ඡා සියල්ලක්ම අවසානයේ යොමු වූයේ එක් අන්තයක් වෙතය. එනම් එම සාකච්ඡා පදනම්ව අවබෝධ කරගත් ලෝක දෘෂ්ටිය පෙරදිග ගූඪවාද මඟින් ඉදිරිපත් කර ඇති අදහස් සමඟ අත්‍යන්තයෙන් සමාන්තර විය. එනම් නූතන භෞතික විද්‍යාව තුළ ඇති සංකල්ප නිරන්තයෙන්ම පෙරදිග සහ ඈත පෙරදිග ඇති බුදුදහම, හින්දුදහම සහ තාඕ වාදය වැනි ආගමික දර්ශන මඟින් ඉදිරිපත්කර ඇති අදහස් සමඟ බෙහෙවින්ම සමාන්තර වන බව පෙනේ. "අප විසින් අපගේ පැවැත්ම නම් නාටකය තුළ නළුවන් සහ ප්‍රෙක්ෂකන් ලෙස රඟ දක්වන චරිතවල ස්වභාවය සමතුලිත කරගැනීම සඳහා පරමානු න්‍යාය පිළිබඳ පාඩම අවබෝධ කර ගැනීමේදී ඊට සමාන්තරව බුදුන්වහන්සේ, සහ ලාඕට්සේ වැනි දාර්ශනිකයින් විසින් අවධානය යොමු කළ ඥානවිභාග්මක ගැටලුද අවබෝධ කරගැනීමට උත්සහ කළ යුතුය" යනුවෙන් නීල්ස් බොර් නැමැති පරමානුවේ ව්‍යුහය අවබෝධ කරගැනීම සඳහා පදනම සකස් කළ භෞතික විද්‍යාඥයා විසින්ද මතු කර දැක්වූයේ එම නිසාය.

මෙමඟින් යුග ගණනක් තිස්සේ 'අධ්‍යාත්මික' 'ආත්මගවේශී' 'සංස්ලේශිත' හා 'පුද්ගලානුබද්ධ' ලෙසින් හැඳින් වූ පෙරදිග හා භෞතිකවාදී, බහිර්ගවේශී විශ්ලේෂණාත්මක හා විෂය මූලික ලෙස හැඳින්වූ පෑළදිග වශයෙන් වූ දාර්ශනිකව වෙන් කර තිබූ ලෝකය අතර පවතින වෙනස්කම් යටපත් කරමින් ඒ තුළ ඇති සමාන්තරතා අවබෝධකරගත හැකිය. එහෙත් පෙරදිග දර්ශනය වූ කලී පලායෑමේ ප්‍රවණතාවක් ඇති, සමාජීය හා දේශපාලන ක්‍රියාකාරීත්වය කෙරේ උදාසීන ආකල්පයක් දරන දර්ශනයක් බවත් බටහිර විසින් ප්‍රකාශිත කිතුදහම මඟින් මේ ලොව තුළ පැවැත්මෙහි වැදගත්කම දේශනා කළද පෙරදිග ආසියානු ආගම් ජීවිතය හෙළා දැකීමටමට මිනිසා පොළඹන බව බටහිර දාර්ශනිකයින් විසින් මතුකර දැක්විණි. ඒ අතර මැකස්වෙබර් ප්‍රධාන වන අතර "නූතන බටහිර ප්‍රොතෙස්තානු ආචාරධර්මවල මූලික ඉගැන්වීම වන්නේ අන්තර් ලෝකීය තවුස් වත වන බවද භාවනාවෙහිදී මෙන් පලායෑමෙන් නොව දේව අභිප්‍රායය ධනාත්මකව ගෙන ලෝකය ආචාරධර්මානුකූලව යුක්ති සහගත කිරීමට එමඟින් උගන්වන බවද, පෙරදිග ආගම් භාවනායෝගී, ධර්මෝන්මාදී අසංවේදී බැතිමතුන් පිරිසකගෙන් යුත් වන අතර ඔවුහු ලෞකික ව්‍යවහාර නිරර්ථක සේ සලකා පරලොව ගැන උනන්දු වෙති. ලෝකය ගැන උදාසීන වීම ඔවුනට උගන්වන ලද ආකල්පයයි." යනුවෙන් අදහස් දැක්වූයේය. එපමණක් නොව "විශ්වීය අර්ථය දියුණු වීමට පෙළඹවූ සංස්කෘතික ප්‍රපඤ්චයන්ද ව්‍යවහාරික විද්‍යාවද පහළ වූයේ බටහිරය. බටහිර පමණක්ය’’ යනුවෙන් ඔහු තම අදහස සාරාංශ ගත කළේය.

එහෙත් මැක්ස්වේබර් විසින් බටහිර විද්‍යාවේ ඉතිහාසය කෙරෙහි උනන්දු වූ බවක් නොපෙනේ. එසේ වූවානම් එකී බටහිර විද්‍යාත්මක දැනුමේ මූලයන් තුළ ඇති ඇතැම් ගූඪවාද ඔහුට හසුවීමට ඉඩ තිබිණි. භෞතයෙහි මූලයන් පමණක් නොව බටහිර විද්‍යාවේ මූලාරම්භයද ක්‍රිස්තුපූර්ව හයවන සියවස තුළ ගොඩනැඟුණ ග්‍රීක දර්ශනය තුළ හඳුනාගත හැකිය.එම ග්‍රීක සංස්කෘතිය තුළ දර්ශනය, ආගම, එකිනෙකට බෙදා වෙන් කළ නොහැකි ප්‍රපංච විය. සැබවින්ම අයෝනියාවේ සිටි මිලේසියානු ප්‍රාඥ්ඥයින්ට එබදු බෙදීමක් කිරීමට අවශ්‍ය වූයේද නැත. ඔවුන්ගේ අරමුණ වුයේ තත්‍ය ලෝකය තේරුම් ගැනීමයි එනම් ඔවුන් 'physis' ලෙස හැඳින්වූ දෙය මැනවින් ක්‍රියාත්මතක කිරීමයි. Physis යන ග්‍රීක නිෂ්පත්තියක් ඇති ව්‍යවහාරය මඟින් හැඳින්වෙන්නේ සමස්තයෙහි ඇති මූලික ස්වභාවය අවබෝධ කරගැනීම සඳහා ගනු ලබන උත්සාහයයි. සැබවින්ම මෙය සමස්ත ගූඪවාදයන් සඳහාද අදාළ පොදු අරමුණ වෙයි. සැබවින්ම ග්‍රීක මිලේසියානුවන්ගේ ඉගැන්වීම් තුළද යම් ගූඪමය අභාසයක් තිබිණි. ඔවුන් හඳුන්වාදෙනු ලැබුවේ 'hylozoists’ එනම් ‘පදාර්ථයට ජීවයක් ඇතැයි සිතන්නන්‘ යන වහරිනි. ඔවුන් සප්‍රාණික හෝ අප්‍රාණික මෙන්ම ආත්මය සහ පදාර්ථය අතර දෙබදුමක් නොදුටුවෝය. සත්‍ය වශයෙන්ම එකල පදාර්ථය හැදින්වීම සඳහා වෙනම ව්‍යවහාරයක් නොතිබූ අතර සමස්ත දෙයෙහි පැවැත්ම Physis වල ක්‍රියාකාරීත්වය මත සිදු වන බවද ඒ සියල්ලක් තුළම ජීවයක් සහ ආත්මයක් අන්තර්ගත වන බවද ඔවුහු විශ්වාස කළහ. තේල්ස් නම් ග්‍රීක දාර්ශනිකයා විසින් සමස්තය තුළ දෙවියන් සිටින බව ද අනෙක්සිමැන්ඩර් නම් දාර්ශනිකා විසින් මානව ශරීරය ආස්වාස ප්‍රාස්වාස කරන්නාක් මෙන්ම විශ්වය ද 'pneuma' නැමැති අන්තරීක්ෂමය ප්‍රාණ වායුවෙන් ජීවය ලබන ඉන්ද්‍රීය පද්ධතියක් වශයෙන්ද දුටුවේ එනිසාය.

මාතෘකා