මාංස භක්ෂක මාධ්‍ය

 ඡායාරූපය:

මාංස භක්ෂක මාධ්‍ය

සංවේදී පුවත් වාර්තාකරණය කියන්නේ මාධ්‍ය ක්ෂේත්‍රයේ සුවිශේෂ අවධානයක් හා පුහුණුවක් ඇතිව කළ යුතු කාර්යයක්. එයට හේතුව වන්නේ සංවේදී පුවත් වාර්තාකරණයේදී අගතියට පත් පාර්ශ්වයන් තවදුරටත් අපහසුතාවට පත්වීමට ඇති ඉඩකඩ වැඩි වීමයි. අනෙක් අතට රූප මාධ්‍යයේදී මෙවැනි පුවත් වාර්තාකිරීමේදී වඩාත් පරිස්සම් විය යුත්තේ සංවේදී ග්‍රාහකයන්ටද අගතියක් සිදුවීමට බොහෝ දුරට ඉඩ ඇති බැවින්. ආචාරධර්මී පුවත් වාර්තාකරණයේදී පැවසෙන සුවිශේෂ කාරණයක් වන්නේ මාධ්‍යකරුවා ප්‍රධාන වශයෙන් කිසියම් පාර්ශ්වයක් අපහසුතාවට හෝ හානියට පත්වීමෙන් වැළකෙන ආකාරයට පුවත් වාර්තා කළ යුතු බවයි. මාධ්‍යකරුවන් මෙහිදී වැඩ කළ යුත්තේ කිසිවකුට හානි නොකරන මධ්‍යස්ථ ප්‍රතිපත්තියක සිටය. මාධ්‍යකරුවා භාවිත කරන වචන, ශබ්ද, පින්තූර හෝ චලන රූප අනෙක් අයගේ ජීවිතවලට අහිතකර බලපෑමක් එල්ල නොකරන ආකාරයට ඒවා වාර්තා කළ යුතු වෙනවා.

මේ කාරණා ගැන යළිත් අවධානය යොමුවුණේ නවසීලන්තයේ ක්‍රයිට්ස්චර්ච් නගරයේ මස්ජිද් අල් නූර් මුස්ලිම් පල්ලිය තුළදී සිදුකළ සමූහ ඝාතනය මෙරට රූපවාහිනී මාධ්‍ය වාර්තා කළ ආකාරය දුටු විටයි. ඕස්ට්‍රේලියානු ජාතික බ්‍රෙන්ටන් ටැරන්ට් විසින් සිකුරාදා සිදුකළ මේ මිනිස් ඝාතනයෙන් මේ වන විට 50 දෙනකු මිය ගොස් තවත් 50 දෙනකු පමණ තුවාල ලබා තිබෙන බවයි නවසීලන්ත මාධ්‍ය පවසන්නේ. මෙහිදී සැකකරු මෙම ඝාතනය සිදුකර තිබුණේ සිය හිසෙහි රඳවාගත් වීඩියෝ කැමරාවක ආධාරයෙන් සජීවීව එය සමාජ මාධ්‍යයන්ට මුදාහරිමින්. මේ නිසා මේ ඝාතනයේ අති අමානුෂික රූප පෙළක් අන්තර්ජාලය තුළ හුවමාරු වීමට පටන් ගත්තේ සිදුවීම සිදුවී මොහොතක් යන්නට ප්‍රථම. මේ නිසා නවසීලන්ත පොලිසිය සිය ට්විටර් ගිණුම මඟින් ඉතා කාරුණික ඉල්ලීමක් කළා, මෙම වීඩියෝ පටය තවදුරටත් බෙදාගැනීම හා ප්‍රචාරය කිරීම නොකරන ලෙසට. එහිදී අවධානය යොමු කර තිබුණේ මේ වීඩියෝ පටය මඟින් වින්දිත පවුල්වල සාමාජිකයන්ට හා හිතමිතුරන්ට මෙන්ම සංවේදී පුද්ගලයන්ට අගතියක් සිදුවන බවයි. ඒ සැනින් යූටියුබ් නාලිකාව, ෆේස්බුක් හා ඉන්ස්ටර්ග්‍රෑම් යන සමාජ මාධ්‍ය ඒවා ගළවා ඉවත් කළද, බාගත කරගත් බොහෝ පුද්ගලයන් අත එය ඉතිරිව තිබුණා. කෙසේ වෙතත් බොහෝ විදෙස් මාධ්‍ය මෙම වීඩියෝව ප්‍රචාරය කිරීම නොකළේ එය මාධ්‍ය ආචාරධර්මයන්ට පටහැනි කටයුත්තක් බවට ඔවුන් මාධ්‍ය භාවිතයේදී හොඳාකාරවම දන්නා නිසා.

නමුත් ඇතැම් රටවල් හා ශ්‍රී ලංකාවේ රූපවාහිනී නාලිකා කිහිපයක් මේ වීඩියෝව සිය ප්‍රවෘත්ති විකාශනයන්ගේ ප්‍රමුඛම පුවත ලෙස විකාශනය කළා. ජාත්‍යන්තර ඉල්ලීමකට පවා කන් නොදී ශ්‍රී ලාංකේය නාලිකා මෙසේ හැසිරුණේ ඇයි යන්න මේ මොහොතේ මාධ්‍ය පිළිබඳ යම් තරමක හෝ උනන්දුවක් දක්වන කණ්ඩායම් සැලකිල්ල දැක්විය යුතු කාරණයක්. ප්‍රධානම හේතුව වන්නේ තමන්ගේ නාලිකාවේ ජනප්‍රියත්වය වැඩිකර ගැනීමට මෙය කදිම තෑග්ගක් වීම. එක්වරක් පමණක් නොව දිවා ප්‍රවෘත්තිවල මෙන්ම රාත්‍රී ප්‍රවෘත්තිවලද අතිශය කෲර මේ ඝාතනය සහිත වීඩියෝ පටය ඔවුන් ප්‍රචාරය කළා. එසේ දඩබ්බරකම් පෑමේ වුවමනාව තවත් ආකාරයට කියවාගන්න පුළුවන්. තමන් විසින්ම තමන් විශිෂ්ට මාධ්‍යවේදියකු යැයි හඳුන්වා ගන්නා රූපවාහිනී නාලිකාවක වැඩසටහන් ඉදිරිපත් කරන්නකු සිය ෆේස්බුක් ගිණුමේ සටහන් කර තිබුණේ අපට විෂ සහිත කිරිපිටි පොවන නවසීලන්තයට මෙය පාඩමක් බවයි. ස්වාමීන්වහන්සේ නමක් මෙම ඝාතනය සිදු කළ පුද්ගලයා වීරයකු ලෙස නම් කර තිබුණේ ‘ලෝකය ඔහු වැරදියැයි පැවසුවත්’ ආදී වශයෙන්. සිංහල බෞද්ධ ස්වෝත්තමවාදීන් පිරිසක් පවසා තිබුණේ ස්පාඤ්ඤය, එංගලන්තය හා ප්‍රංශයේදී නිරායුධ ක්‍රිස්තියානුවන් මරා දැමූ මුස්ලිම් අන්තවාදයට මෙය පරාවර්තනයක් බව. ඔවුන් කිසි විටෙක ශ්‍රී ලංකාවේ රූපවාහිනී නාලිකා මෙය අමු අමුවේ ප්‍රචාරය කිරීම වැරදි බවවත් ප්‍රකාශ කරන්නේ නෑ.

මෙවැනි ඒකාකෘතික (Stereotype) බහුතරයක් වෙසෙන සමාජයක සිය නාලිකාව අංක එක බවට පත්කර ගැනිමට නම් තමන්ගේ ප්‍රතිවිරුද්ධ අනෙකා මරා දමන, හිංසනයට ලක් කරන, පීඩාවට පත්කරන මාංශමය දර්ශන ඇතුළත් ඡායාරූප, වීඩියෝ ආදිය පෙන්විය යුතු බව මේ නාලිකා හොඳින් දන්නවා. ඒ නිසා සියලු ආචාරධර්මයන් බල්ලට දමා ඔවුන් මේ මාංශ වෙළෙඳාමේ නියැළෙනවා. මොකද මේ වාණිජ නාලිකාවන්ගේ ඒකායන අරමුණ වන්නේ ලාභය උපරිම කර ගැනීම. එසේ ලාභය උපරිම කරගැනීමට නම් අනෙකා ගැන නොසිතන, කම්පා නොවෙන අසංවේදී මනස් පුත්‍රයන් හා දූවරුන් සහිත සමාජයක් බිහිකර ගත යුතු වෙනවා. මෙහි දීර්ඝකාලින ප්‍රතිඵලය වන්නේ එයයි.

සියදිවි නසා ගැනීමක්, ඝාතනයක්, අසාධාරණයට ලක්වීමක්, ස්වාභාවික විපතක් පදනම් කරගත් සංවේදී පුවත් වාර්තාකිරීමේදී වින්දිත පාර්ශ්වයන් තවදුරටත් අගතියට පත් කිරීම නොකළ යුත්තක්. ඒ වගේම ඔවුන් කැමරා ඉදිරියේ, මෛක්‍රෆෝන ඉදිරියේ හැඬවීමද නොකළ යුතුයි. නමුත් මෙම නාලිකාවන්ට අවශ්‍ය වන්නේ සමාජය වඩාත් යහපත් තැනක් කිරීමට අවශ්‍ය තොරතුරු සපයනවා වෙනුවට සමාජය වඩාත් නොදියුණු තත්ත්වයෙන් පවත්වාගෙන යාමට අවශ්‍ය දිය පොහොර සැපයීම.

අඩුම තරමින් නවසීලන්ත සිද්ධියේදී අගමැතිනී ජසින්ඩා ආර්ඩර්න් හැසිරුණු දියුණු මානුෂීය ස්වරූපයවත්, නවසීලන්ත වැසියෝ මියගියවුන්ට සිය සොව පළ කරන ආකාරයවත්, ක්‍රයිට්ස්චර්ච් නගරාධිපතිනියගේ ප්‍රකාශයන්වත්, එරට මාධ්‍ය මෙය වාර්තාකළ ආකාරයවත් ශ්‍රී ලංකාවේ මාධ්‍යයන්ට ප්‍රම්‍රඛ පුවතක් නොවන්නේ ඒවා ලේ ගලන රූප, අකුරු හා අදහස්වලින් සමන්විත නොවීම නිසා. එසේම ඒවා පසුගාමීත්වයේ පසුවන සමාජයක පාරිභෝගික භාණ්ඩයක් නොවන නිසා.

[කපිල එම්. ගමගේ]

මාතෘකා