කිතුල් ගහේ මළ යකා

 ඡායාරූපය:

කිතුල් ගහේ මළ යකා

පලඟැටියන්ගේ ඒකාකාර ශබ්දයෙන් යුතු අඳුරු මැදියම සිතට උපදවන්නේ සොඳුරු කම්පාවක්. පුංචි කාලෙ අපේ සිත් අඳුරට බයයි. ඒ බය ඇති කළේ අපේ වැඩිහිටියො කිව්ව හොල්මන් කතාවලින්. ඔය කාලෙ යක් බෙරයක හඬක් හැමදාම ගමෙන් කොහේ හරි ඇහුණා. ඉතින් මේ අව් අස්සෙ මට අතීත හොල්මන් කතාවක් මතක් වුණා.

අපේ ගෙදර ඇත්තො හැටේ දශකයේ මුල් කාලයේදී කුරු ගඟේ සංගිලි පාලමෙන් එගොඩ වෙලා එරත්නෙ ගුරු නිවාසෙ පදිංචියට යන්නෙ ලොකු මහත්තයෙක් වෙච්ච තාත්ත හින්දා.

ගමේ ඇත්තන් නොදැන සිටියත් සිරීපාදෙ අඩවියෙ තිබුණු මේ ගම හීනයක් තරමට ලස්සනයි. ගම කඳු වළල්ලෙන් වට වෙලා. හිරු එළිය කල් තබා උදෑසන වැටුණත් බැස යන හිරු නම් අප කවදාවත් දැක්කෙ නෑ. ඒ හිරු කඳු වැටියෙන් එහාට ගෙහුං ගමෙන් කල් තබා වහං වෙච්චි නිසා.

තාත්තා විශ්‍රාම ගත්තට පස්සෙ අපි ආයෙ උපන් ගමට ගියෙ නෑ. එරත්නෙම පදිංචි වෙලා ගංකාරයන් වුණා. විද්‍යා සාමාන්‍ය පෙළ අසාර්ථක වීමෙන් පස්සෙ මං ආතක් පාතක් නැතිව ගෙදර ආවා. තාත්තත් අකාලයේ මියගිය නිසා අම්මයි නංගිලා දෙන්නගෙයි බාරකාරයා මං වුණා.

මේ කාලෙ සමවයස් මිතුරන්ට වඩා මගේ මිතුරකු වුණේ මට බොහො වැඩුමල් විජේ වෙද මහත්තයා. එයා හරක් වෙදෙක්. මුදා හළ හිසකෙස්, වැඩුණු රැවුල, දේහධාරී බව නිසා මං එයාගෙන් දැක්කෙ දාර්ශනික වතක්. මී ගොං රෑනක් බලා ගැනීම හැරුණු විට මිනිහා කිතුල්ගස් දෙක තුනකුත් මැදල දරුවන් දෙන්නයි බිරිඳයි පෝෂණය කළා. එපමණක් නොවෙයි දන්නා ගෙවල්වල තොවිල් පවිල්වලදි කොට්ටෝරු රාජකාරිය කළෙත් විජේ උන්නැහේ. ඒ කාරියට අයත් වුණේ පිදේනියට පුළුටු උයන්නයි යකැදුරන්ට දුම්මල අල්ලන එකයි.

විජේ උන්නැහේ අපට කිව්වෙ මන්ත්‍ර ශාස්ත්‍රයේ කෙළ පැමිණි කෙනෙක් කියලා. අවතාර සම්බන්ධව ඔහුගේ වීර වික්‍රමාන්විත කතා අනන්තයි. ඒ හැම දෙයක්ම අහිංසක කෙප්ප. හැබැයි මිනිහා ඒ කතා ලිව්වා නං ඩීමන් ආනන්දත් පරාදයි.

ඔය අතරෙ ගමේ මිණිබිරි කෙල්ලෙකුට මැරිච්චි ගබිරියෙල් සීයා වැහිලා. ඒකි කොණ්ඩෙ කඩාගෙන හූ කියාගෙන ගබිරියෙල් සීයාගෙ සොහානටයි දුවන්නේ. තොවිලෙ අයිලෙ පදින, පරල වෙන දරහැව ගෙනි යන එකක්. කොට්ටෝරුවා විජේ උන්නැහේ. මාත් බලන්න ගියා.

තොවිලේ බලන්න මහ සෙනගක් ඇවිත්. නැට්ටුවන් දුම්මල ගැහුවා. ළමයි ගිරිය කඩාගෙන ආයුබෝ වේවා කිව්වා. උන්නැහේගෙ මූණෙ තිබුණෙ ගරු ගාම්භීර පෙනුමක්.

රෑ දොළහට විතර මං ගාවට ආපු විජේ උන්නැහේ මෙහෙම කිව්වා.

තුන් කැති කපන්නත් තියෙනවා. යමුද මාත් එක්ක කිතුලට. ඒ රෑ කිතුල් මල් කපන එක.

පන්දම අරං විජේ උන්නැහේ ඉස්සරහන්. මං පසුපසින්. පාළු අඩි පාරවල් ඔස්සේ ඔහු එක එක හපන් කතා කියනව. ඔය අස්සේ කතාව නතර වුණා. ඒ ගබිරියෙල් සීයාගේ සොහොන ළඟදි.

විජේ උන්නැහේ වැඩියෙම උස නැති කිතුලට නැග්ගා පන්දමත් අරං. එහි අමතර මුට්ටියකුත් තියෙනව. මං ළඟ තිබුණ ගල් තලාවෙ වාඩි වුණා.

මුලින් මට ඇහුණෙ බෙල්ල මිරිකන කෙනෙකුගේ අව්‍යක්ත ශබ්දයක්. ඒ එක්කම තෙලිජ්ජ මුට්ටිය බිම වැටුණා. ඊට පස්සෙ පන්දම. විජේ වෙද මහත්තයා හැර පොට දිගේ ගහ මුලට රීටුව. මං නොනිවී තිබුණු පන්දම ගත්ත.

"ඇයි?"

මං ඇහුවා.

"ගබිරියෙල් උන්දැ ගහ මුදුනෙ" විජේගෙ බඩ ඇති පදං හීරිලා.

අපි ආපහු තොවිල්පළට ආවා. විජේ උන්නැහේ කියවමින් ආවේ පහත රට නැට්ටුවෙක් වගේ. යකැදුරන් තෙල් සාත්තුවක් කරලා ඇප නූලක් දැම්මට පස්සෙ තමයි උන්නැහේ හරි හමං ප්‍රකෘතියට පත් වුණේ.

පහුවෙනිදා උදේ ඉඳලා ගමේ ඇත්තො විජේ උන්නැහේ බලන්න ආවා. ඔහු තමාගේ මන්ත්‍ර බලයෙන් ගබිරියෙල් සීයා මෙල්ල කළ ආකාරය කීවා. තොවිලයට වඩා සීයා ප්‍රාණකාරිය අහැර දමා ගියේ විජේ උන්නැහේගෙ මන්ත්‍ර‍ බලය නිසයි. හැබැයි මේ කතාවේ කිසිම තැනක මං හිටියෙ නෑ.

සැර දුංකොළ සමඟ නිතර විට සපන එකම එසේම හක්කේ විට තබාගෙන නිදා ගන්නා විජේ වෙද උන්නැහේ මෙයට කලකට පෙර අකාලයේ තීන්දු ගමන් ගියේ මුඛ පිළිකාවකින්.

[සුනන්ද එරංග පෙරේරා]

මාතෘකා