විශ්වාසයේ ආස්වාදය

 ඡායාරූපය:

විශ්වාසයේ ආස්වාදය

විශ්වාසය කියලා කියන්නේ ජීවිතය ඉහළටම ඔසවා තබන ලොකුම තල්ලුව කියලා මං ඔබට කිව්වොත් ඔබ මොකද කියන්නේ? සම්බන්ධතා සියල්ල පාදක වෙන්නේ එය මත. විශ්වාසයේ හොඳම සහ වැදගත්ම ප්‍රතිඵල නෙළා ගන්නේ කොහොමද කියලයි මේ කතා කරන්නේ.

අපේ විශ්වාසයන් ප්‍රධානව කොටස් දෙකකට වෙන් කරන්න පුළුවන්. එකක් අපේ ආත්ම විශ්වාසය. අනෙක තමයි අන්‍යයන් කෙරෙහි තබන විශ්වාසය. තර්ක විතර්ක කිසිවක් අවශ්‍ය නැහැ. විශිෂ්ටයන් හැමවිටම නිසැක ආත්ම විශ්වාසයකින් හෙබි මිනිසුන් වෙනවා. අනෙක් අය සියල්ලන්ම වෙනත් දෙයක් හෝ පුද්ගලයන් මත විස්වාස රඳවාගත් අය.

ඔබව විශිෂ්ටයෙක් කරන්නේ ඔබේ නිසැක ආත්ම විශ්වාසය කියලා කිව්වේ ඇයි කියලා හිතන්න. එය ලොකු දෙයක් නෙවේ. දහසක් සිතිවිලි උපදින සහ ක්ෂණයෙන් මියෙන සිත තුළ ආත්ම විශ්වාසය පවත්වාගන්න එක ලෙහෙසි පහසු දෙයක් නෙවෙයි. මොකද අපි විශ්වාස කරන දෙයක් නිශේධනය කරන්න තරම් ප්‍රබල සැක සංකා නිරන්තරයෙන් හිත ඇතුළේ ඇතිවෙන නිසයි. මෙවන් සැක සංකාවන්ට ඕනෑම කෙනෙක් තුළ තිබෙන විශිෂ්ට මිනිසෙක් තැනීමේ මහා විභවය පාලනය කරන්න තරම් ප්‍රබල ශක්තියක් තියෙනවා. සාර අදහස් මරා දමන්නට සැක සංකාවලට තියෙන අවස්ථාව පරාජය කරන්න හැකියාව සිත තුළ වගා කර ගතහොත් පමාවී හෝ ඔබ ජයග්‍රාහකයෙක් බවට පත්වෙනවා.

මිනිස්සුන්ට ගොඩක්ම වරදින්නේ සියල්ලට වඩා වැඩිපුර අනුන් කෙරෙහි විශ්වාසය තැබීම නිසයි. එක මොහොතක සිදුවීමකින් එවන් විශ්වාසයක් බිඳ වැටෙද්දි අසරණ වෙලා පරාජය බාරගන්නේ නැතුව එය ජීවන ගමනට යස පාඩමක් ඉගෙන ගන්න ලැබුණ ඉඩක් ලෙස සැලකුවහොත් ඔබ නැවත අසරණ වෙන්නේ නැහැ.

මිනිස්සු කොයිතරම් අන්‍යයන් විශ්වාස කරනවාද කියලා සලකා බැලුවොත් ඉතා කුඩා තීරණයක් පවා ගන්නට අනුන්ගේ පිහිට පතනවා දකින්න පුළුවන්. එදිනෙදා සාමාන්‍ය සිදුවීමකට පවා අනුන් මත විශ්වාසය තබන්නට යෑමෙන් වෙන්නේ දියුණු කරගත යුතු ස්වකීය ආත්ම විශ්වාසය දිනෙන් දින දුර්වල වෙලා යන එකයි. විශේෂයෙන් හිත මිතුරන් ඇසුරෙදි මෙය ප්‍රවේශමෙන් කළ යුත්තක්. ඔබේ ආත්ම විශ්වාසය ගොඩනඟා ගන්නටත් එය එක මොහොතකින් නැත්තටම නැති කරන්නත් ඔවුන්ට හැකියාව තියෙනවා.

ධනාත්මක බලපෑමක් කළ හැකි පුද්ගලයන්ගේ ඇසුර වැදගත් වෙන්නේ මෙන්න මේ කාරණයේදීයි. මොකද කිව්වොත් අපි ළඟින් ආශ්‍රය කරන අයගේ අදහස් අපේ මනසට ලොකු බලපෑමක් කරනවා. අපි සබඳතා පවත්වන පිරිස කියන කරන කටයුතුවලින් අපේ ගමන අඩාල වන බව අපට නොතේරෙන එක තමයි තියෙන ලොකුම ප්‍රශ්නය. යහපත් බලපෑමක් කරන්න පුළුවන් කෙනෙක් වෙන්න ඔබත් උත්සාහ කළොත් ලේසියෙන්ම ඔබ වටා ඉන්න පිරිසත් එවැන්නන් වෙනවා. සෘණාත්මක මනසක් තියෙන පිරිස ඉක්මනින් ඔබෙන් ඈතට යන්නත් එය උදව්වක් වෙනවා.

විශ්වාසය නිසාම මිනිසුන් අහිමි කරගන්න දේවල් බොහොමයක් තියෙනවා. අන්න එවන් වැරදි නැවත නොවන ලෙසින් කටයුතු කරන එකයි වැරදීමකින් ලොකු පාඩමක් ඉගෙන ගන්න පුළුවන් කෙනෙක් වෙන එකයි වැදගත්. විශ්වාසය මත සියලුම සබඳතා රඳා පවතින අතර "විශ්වාසා පරමා ඥාති" කියලා සඳහන් කරන්නේ එහි තියෙන වැදගත්කම නිසැක නිසයි.

තමන් ගැන තියෙන්න අවැසි ආත්ම විශ්වාසය හීන කරගත් මිනිසුන් කෙරෙන් දකින්න පුළුවන් ප්‍රධානම ලක්ෂණය ඔවුන් අනුන් මත ලොකු විශ්වාසයකින් යැපීමයි. දෙවියන් කෙරෙහි, අත්භූත බලවේග, දේශපාලනඥයන් මත යැපෙන මිනිසුන් කෙරෙන් ප්‍රකට වන්නේ මේ ආත්ම විශ්වාසයේ දුර්වලතාවයයි.

අනාගතය වෙනත් පිරිසක් මත පටවා ඔහේ නිකං බලා හිඳින මිනිසුන් තමන්ගේ නිවසට රටට පවා මහ බරක්. නිකං කන්න බොන්න අවශ්‍ය මිනිසුන් සහනාධාර බලාගෙන ඉන්නවා. අනුන් දුක් මහන්සි වෙලා උපයා සපයා ගන්න දේවල් ඉබේ පහළ වෙනකල් බලන් ඉන්න මිනිසුන් නොපෙනෙන බලවේග පසුපස යනවා. යම් සුදුසුකමක් හැකියාවක් දියුණු කරගන්න උත්සාහ නොගන්නා අය නිසා දේශපාලකයන් මත යැපෙනවා.

ආගමික හෝ සංස්කෘතික කාරණා සැහැල්ලුවෙන් බැහැර කරන්න තරම් පටු මානසිකත්වයක් තියාගන්න අවශ්‍යයි කියා අදහස් කරන්නේ නැහැ. වඩා වැදගත් විය යුත්තේ සියල්ලටම පෙර තම හැකියාවන් සහ සිතිවිලි විශ්වාස කරන්න අවශ්‍ය බව ඒත්තු ගැන්වීමයි. එයයි අරමුණ. සියල්ලටම වඩා වැදගත් වන්නේ මිනිසකුට සිය සිතිවිලි වෙනස් කර ගැනීමෙන් ඕනෑම ධනාත්මක බලපෑමක් කරන්නට හැකි බව තේරුම් ගැනීමයි.

ජීවිතයේ ‘දිනුම් කණුව’ කරා යන ගමන තමන්ටම සකසා ගන්න පුළුවන් මාවතක්. එය සුමට හෝ රළු මාවතක් කර ගන්නෙත් අපිමයි. එයට අත්වැලක් සපයන මිනිසුන් විශ්වාසයෙන් ඇසුරු කරන්නේත් දිවි ගමනට යම් ජවයක් සපයන මෙවන් අදහස් නිතර ළඟා වන මානයේ රඳවාගත් මිනිසුන් සිය ජයග්‍රහණයේ කතාව ඉතිහාසයේ සනිටුහන් කරන්නේත් එනිසායි. ඔබේ ගමන ජය මාවතට ගෙන යන ආත්ම විශ්වාසය ප්‍රගුණ කරගන්න. පසුගාමී විශ්වාසයන් මුලින්ම උදුරාලන්න. ආත්ම විශ්වාසයේ ආස්වාදය විඳින්න.

[මේනක මදුජිත්]

මාතෘකා