රෝහල්වල දකින්නට හැකිය හදවතින්ම කෙරෙන යාච්ඤා

 ඡායාරූපය:

රෝහල්වල දකින්නට හැකිය හදවතින්ම කෙරෙන යාච්ඤා

අහිමි වීම් ගැන ඒ තරම් දැනුණු තැනක් තවත් නම් නැතුව ඇති. මරණය හමුවේ සටන් වදින, ඇතැම්විට දිනන ඇතැම්විට පරදින ඇතැම්විට සටන අත්හැර දමන්නට සිදුවන 'DNR-Do not resuscitate' ලේබලය සහිත ඇඳ ඉහපත් නිසා පණ අදින ලෙඩුන් බලමින් මරණයට දිනන්නට ඉඩ දී බලාගෙන ඉන්නට සිදුවේ. ඒ ඔවුන්ට සුවදායී මරණයක් අවශ්‍ය යැයි ඔවුන්ම තීරණය කරන නිසාය. එහෙත් ඒ මොහොත ඉතා දුෂ්කර එකකි.

අප රෝහල්වල, රෝගියා හෝ ඥාතීන් විසින් විශේෂඥ වෛද්‍යවරයා දැනුවත් කරන ලදුව "ඔවුන් ප්‍රකෘති කිරීමකට ලක් කරන්න එපා" යැයි පවසා සිටියි. යම් හෙයකින් අසාධ්‍ය වූවොත් දිගින් දිගටම පණ ගන්වන ක්‍රියාවලියේ යෙදෙන්නට එපා කියා ලියා අත්සන් කරයි. Do not resuscitate යන්න ඉල්ලා තිබුණොතින් අසාධ්‍ය වූ විට ඔවුන් සැනසිල්ලේ ඒ ගමන යනතෙක් අපට බලා ඉන්නට සිදුවේ. බොහෝ විට මේ ලෙස ඉල්ලන්නේ දිගු කාලයක් රෝගාබාධවලින් දුක්විඳි පිරිසයි. ඇතැම්විට එවන් රෝගාබාධ සමඟ බොහෝ මහලු වයසේ සිටින අයද ඔවුන්ගේ ඥාතීන් හෝ දුවාදරුවෝද මෙවැනි ඉල්ලීම් කරති.

මධ්‍යම රාත්‍රී දොළහ පසුවෙද්දීම වෛද්‍ය විවේක කාමරයේ සිටි මා වෙත දුරකථන ඇමතුමක් ලැබුණේ පැයක පමණ කෙටි නින්ද හමාර කරමිනි.

"ඩොක්ටර් අර දෙවැනි බෙඩ් එකේ රුක්මනී අම්මාගේ සැචුරේෂන් ඩ්‍රොප් වෙනවා. එයාගේ දුව කලබල වෙලා ඩොක්ටර්ට එන්න කියන්නලු. ඒත් ඩොක්ටර් ඩී.එන්.ආර්. නිසා අපි මොකද කරන්නේ. තව වෙලා තියෙනවා." හෙදිය පවසයි.

රුක්මණී (අන්වර්ථ නමකි) මහලු වියේ සිටි අතර හෘද රෝග මෙන්ම වකුගඩු රෝගයෙන්ද දැඩි ලෙස පීඩා විඳී. වකුගඩු දෙකම අක්‍රිය වී ඇත. සෑම රෝහල්ගතවීමකදීම ඇයගේ දරුවන් බොෙහාමයක් පැමිණෙයි. කලක් දුක්විඳි ඇයගේ පැතුම වූයේ, නැවත පණ ගන්වන්නේ නැතිව මියැදෙන්නයි. ඒ බව සෑම රෝහල්ගතවීමකදීම අප වෙත දැනුම් දෙයි. ඇගේ දරුවන්ගේ පැතුම දුක් නොවිඳ මවට සහනදායී මරණයක් අත්වීමය.

ඇය දින දෙකක් තිස්සේ සිටින්නේ සිහියක් නොමැතිවය. ඇස් ඇර බලන්නේද නැත. මුත්‍රා පිටවෙන්නේද නැත. රුධිරයේ අහිතකර එන්සයිමවල අගයන් විශාල ලෙස ඉහළ ගොස් තිබේ. බෙහෙත් කිසිවකට දැන් කළ හැක්කක් නොමැත. ඇය දුර්වල හදවතින් හුස්ම ගන්නට බැරි තරම් දුබල පෙණහලුවලින් අවසන් හුස්ම හෙළයි. තම මවගේ අවසාන මොහොතේ ළඟ සිටින දියණිය හඬා වැලපේ. ඇය සම්බන්ධ කර ඇති මොනිටර්වල තිර මත කෙමෙන් වියැකෙන හෘදස්පන්දනයද හුස්ම ගැනීමද නිසලවූ විට මරණය සිදුවූ වේලාව ලියා තැබීමට සිදුවේ. එතෙක් කිසිවක් කළ නොහැකිය.

පාන්දර දෙක පසුවද්දී ඇගේ ජීවිත සටන නිමා විය. ඇගේ මරණය සටහන් කිරීම සඳහා පිරික්සන අතරතුර මතක් වෙන්නේ මඳ සිනහවෙන් අපේ කරදරකාරී පරීක්ෂා කිරීම් ගැන විහිළු කරන ඇයගේ මුහුණයි. අත්තම්මා කෙනෙක් සේ අපට සමීපව සිටි අයෙකි. නිතර වාට්ටුවට ආ අයෙකි. මගේ දෑසට කඳුළු නැඟෙන්නේ පෘතග්ජන ස්වභාවය නිසාය.

මේ ලංකාවේ කලක් බොහෝ සශ්‍රීක ගොවි බිම් පිහිටි පෙදෙස්ය. දැන් මේ ප්‍රදේශයේ බොහෝ දෙනෙක් වකුගඩු ආශ්‍රිත රෝගාබාධවලින් පෙ‍ෙළති. මේවාට විසඳුම් සොයන්නේ බොහෝ කලක සිටය. රුධිර පිරිපහදු යන්ත්‍ර පවා ඇත්තේ මීට එපිටින් පිහිටි අගනුවර රෝහලේය (මේ උතුරේ යුද්ධය අවසන් වූ කාලයයි). වකුගඩු බද්ධ කිරීම හැර අන් විසඳුමක් නැති වුවද බොහෝ මහලු වයසේ හෝ අසාධ්‍ය තත්ත්වයේ සිටින අය තමන්ගේ ජීවන ගමන හමාර කරන්නට බලාගෙන සිටිති. ගැළපෙන වකුගඩුවක් සොයා ගැනීමට ඇති අපහසුව එයට හේතු විය හැකි යැයි සිතේ.

සටහන් කිරීම, පත්‍රිකා සහ මරණ සහතිකයට අවශ්‍ය ලියකියවිලි සකස් කරදීම යන මේවා හමාර කර නැවත විවේක කාමරය වෙත එද්දී කොරිඩෝව දිගට අද්දමින් එන පා හඬක් ඇසේ. නැවතී ඔබ මොබ බැලුවද කොරිඩෝවේ කිසිවකුත් නැත. නිදිවරා සිටින නිසාදැයි සිතමින් යද්දී නැවත මා පිටුපසින් එම හඬ පැමිණේ. හිත තිගැස්සෙයි.

වාට්ටුවේ සුළු සේවකයන් කියන හොල්මන් කතා සිහිවේ. හවස 6න් පසු ඔවුන් කොහේ යතත් යන්නේ තවකකු සමඟය. ලේ පරීක්ෂා කිරීමට සාම්පල සමඟ ගිය කෙනකු සිහි විසඥ වූ අයුරුත් තල්ලු කර ඇඳෙන් බිමට ඇද දැමූ කතාත් එමටය. ඒ සියල්ල දැන් සිහිවේ. ආවේගයෙන් නැවත වාට්ටුව වෙත ගිය මට දකින්නට ලැබෙන්නේ තිරයකින් වසා ඇති ඇගේ ඇඳ පිහිටි තැනයි.

"ඇයි ඩොක්ටර්?" හෙදිය කලබල වේ.

"නෑ..., නිකං " මගේ කතා හමුවේ ඔවුන් කලබල කරන්නේ කුමටද?

පාන්දර 3 පසුවී ඇත. එළිමහන් පාරෙන් රෝහල් බුදු මැදුරට ගියෙමි. නිරාවරණව ගල් කණු සතරක් අතර මැද සමාධියෙන් වැඩසිටින බුදු පිළිමවහන්සේ හිත නිවා සනසයි. රුක්මනී අම්මාගේ ජීවිතයක වෙහෙස එසේ නිමා විය. නැවත වාට්ටුවට යද්දී නව ජන්ම වාට්ටුවෙන් ඇසෙන්නේ අලුත උපන් බිලිඳුන්ගේ හැඬුම්ය. රෝහල යනු ලෝක ධර්මතාව කැටි කර පෙන්වන ජීවන තක්සලාවකි.

වෛද්‍ය [බෝධිනී සමරතුංග]

 

මාතෘකා