ලංකාවේ වී ගොවිතැන සහ ක්‍රි.ව 1866 සාගතය

 ඡායාරූපය:

ලංකාවේ වී ගොවිතැන සහ ක්‍රි.ව 1866 සාගතය

ලංකාවේ උතුරු මැද, වයඹ, නැඟෙනහිර සහ වී ගොවිතැන සිදුවන අන් බොහෝ ප්‍රදේශවල මේ වන විට යල කන්නයේ අස්වනු නෙළීමට පටන්ගෙන ඇත. කොළඹ රටේ රස්සාවලට පැමිණ සිටින මිතුරන් අස්වනු නෙළන කාලය සඳහා ගම් පළාත්වලට ගොස් ඒ කාර්යය සඳහා සහභාගී වී නැවත පැමිණ කමතේ ගත කළ සුන්දර කාලය පිළිබඳ පවසන රස කතාද මේ කාලයේදී අපට අසන්නට ලැබේ. ඒ අතර ‘භූතයෙක්’ හෝ ‘සුනාමියක්’ සොයා ගැනීමට නොහැකිව වින්ද දුක් ගැහටද, ‘සුනාමිය’ නිසා රැස්කළ අස්වැන්නෙන් භාගයක්ම අපතේ යාම පිළිබඳ මැසවිලිද වෙයි.

කොපමණ පිරිපතක් වින්දත් සහ කොපමණ මැසිවිලි නැඟුවත් ‘වවන්නෝ දිනන්නෝ’ යන වැකිය සනාථ කරමින් වී බුසල් කිහිපයක් හෝ ගෙට ගැනීම පිළිබඳ ඔවුන් නිහතමානී සතුටක් අත්විඳී. රටේ අස්සක් මුල්ලක් නෑරම වගා කළ හැකි ඉඩම් කට්ටි කොට විකිණීම ප්‍රවණතාවයක් වූ රටක වැසියන් කිහිපදෙනකු හෝ තම පාරම්පරික ඉඩම් රැකගෙන එම කුඹුරු ඉඩම් අසවැද්දීම පිළිබඳ අප ඔවුනට කෘතවේදී විය යුතුය.

උදේ සිට හවස් වනතුරු රැකියා ස්ථානවල කාලය මරමින්, රටට කිසිඳු බුද්ධිමය හෝ ආර්ථිකමය වටිනාකමක් එකතු නොකරන කාර්යාල සේවකයන් හෝ නිලධරයන්ට වඩා අව්කූටකේ කුඹුරක් මැඩ, එය අස්වද්දා ලැබෙන කුමක් හෝ අස්වැන්න රටට දායාද කරන ගොවියා උතුම් බව මම විශ්වාස කරමි.

මේ කියන්නට යන්නේ එම කතාවට තවත් අතුරු කතාවකි. ඒ අප ගොවියා අසරණ භාවයෙන් වඩාත් අසරණ භාවයට පත්වූ අවස්ථාවක් ගැනය. වර්ෂ 1866දී අප වැසියන්ට මහත් දුර්භාග්‍යයක් අත්විඳීමට සිදුවිය. එනම් කිසිදා බඩගින්නේ මිය යන්නේ නැතැයි සලකන රටේ මිනිසුන්ට මහත් සාගතයකට මුහුණ දෙන්නට සිදුවීමය. අප රට සාගතවලට මුහුණ දුන් අවස්ථා කිහිපයක් ගැනම වංශ කතාවල සඳහන් වී ඇත. වලගම්බා රජ සමයේ ඇතිවූ බැමිණිතියා සාගතය සහ මාග ආක්‍රමණයෙන් පසු රජරට ගොවිතැන බිඳ වැටීම පිළිබඳ කතා ඉන් ප්‍රධානය. නමුත් 1866 ඇති වූ සාගත තත්ත්වය පිළිබඳ වඩාත් තත්‍ය සහ ආනුභවික ඉතිහාසයක් අපට ඉතිරීවී ඇත. දේශීය පුවත්පත්වල එකී සිදුවීම පිළිබඳ සවිස්තර වාර්තා පළ වී තිබුණි.

එවකට ලංකාවේ ආණ්ඩුකරුව සිටි හර්කියුලිස් රොබින්සන් ගොවිතැන අඩාල වී රට මෙවන් සාගත තත්ත්වයකට පත්වූයේ ගොවියන්ගේ අලසකම නිසා යැයි දොස් නැඟුවේය. එහෙත් එකල පළවූ ඇතැම් පුවත්පත් වාර්තා පිරික්සීමේදී මෙම තත්ත්වය ඉන් වසර කිහිපයක සිටම වර්ධනය වෙමින් පැවති බවත් ඒ සඳහා සෘජුවම යටත් විජිත ආණ්ඩුව වගකිව යුතු බවත් දක්වා තිබුණි. 1864 අප්‍රෙල් 15 වනදාතම දරණ ‘ලක් රිවි කිරණ‘ පුවත්පත ‘ගොවි කර්මාන්තය’ නමින් පළ කළ ලිපියේ මෙවැනි තත්ත්වයක් ඇති වීමට ඉඩ ඇති බව ඉඟි කළ අතරම ගොවිතැන පිරිහී ඇති බවත් ඒ සඳහා ආණ්ඩුවේ ක්‍රියා කලාපය හේතු වී ඇති බවත් සඳහන් කළේය. යටත් විජිත ආණ්ඩුව විසින් පනවනු ලැබූ මඩ බද්ද, හරකුන් සඳහා නීති පැනවීම, ඉඩමේ මායිම අසල සාම්ප්‍රදායිකව වගා නොකොට ඉතිරි කළ කණු, ප්‍රවේණියට අයත් ඉඩම් වතු වගාව සඳහා විකිණීම යන කරුණු ඉන් ප්‍රධාන වන බව දක්වා තිබුණි.

එපමණක් නොව 1866 අගෝස්තු 16 දින ‘ඥානාර්ථ ප්‍රදීපයේ’ කතුවැකියෙන් “ලංකාවේ නොයෙක් තැන්වල පුරාණ රජ දරුවන් විසින් කරවනු ලැබ තිබෙන මහවැව් බන්දවා ඒ සමීපයේ කිසි වැඩකට නැතුව කැලෑවී තිබෙන පුරාණයේ වැඩ කළ බිම් දුප්පත් වැසියන්ට ලාබ ගණනකට බෙදා දී වී ගොවිතැන සුලබ කළේ වී නම් මහත් ගරුකටයුතු වැඩක් වේ. එය ලංකා වාසීන්ට දැන් පැමිණ තිබෙන හානියෙන් මිදීමට සත්‍ය මාර්ගයක්ද වේ” යන අදහස දක්වා තිබේ. මෙම යෝජනාව සියවස් එකහමාරකට පසුව අදටත් බලපවතින බව නොකියාම බැරිය.

මෙම සාගතය ඉවසා දරා ගැනීමට නොහැකි වූ බොහෝ පිරිස් අතර නොසන්සුන්තාව වර්ධනය වූ අතර එකලත් ක්‍රියාත්මක වූ වෙළෙඳපොළ මාෆියාව නිසා තත්ත්වය වඩාත් වර්ධනය විය. එහි අවසන් ප්‍රතිඵලය වූයේ ජනතාව සහල් සඟවා ඇති තැන්වලින් සහල් කොල්ලකන්නට පටන් ගැනීමයි. මෑත ඉතිහාසය තුළ සිරිමාවෝ මැතිනියගේ පාලන සමයේදී අනුගමනය කළ ආර්ථික ප්‍රතිපත්තිය මතක ඇත්තන්ට මේ විස්තරය මඟින් තම මතකය අලුත් වෙනවා ඇත.

මේ තත්ත්වය පිළිබඳ පෙත්සමත් රත්නපුරයේ විසූ ඩී.එම්. අබේරත්ත නම් මහතකු විසින් හර්කියුලිස් රොබින්සන් ආණ්ඩුකාරවරයාට ඉදිරිපත් කරන ලද අතර එය 1866 සැප්තැම්බර් සම 16 වනදාතම දරණ ‘ඥානාර්ථ ප්‍රදීපය’ පුවත්පතේ පළවූ අතර එහිදී ඔහු විසින් මතු කරන “මේ ද්වීපයේ පුරාණ කාලවලදී ගොවිතැන ඉතා සුලභව තිබුණා. එවකට සිටියවුන්ට දැන් සිටින්නන්ට මෙන් හානියක් පැමිණ තිබූ බව අපට අහන්නටවත් ලැබී නැහැ. ඔබවහන්සේලාට යාඥා කරන්නාවූ අපෙන් බොහෝ දෙනා ගොවි කර්මාන්තයෙන් රැකෙන අයයි. තවත් බොහෝ දෙනා එම කර්මාන්තය දන්නා නමුත් රක්ෂාවක් උපදවා ගැන්මට ගම්බිම් නැත්තෝය. ගම් ඇත්තන්ට ගොයි කර්මාන්තයෙන් ලැබිය හැකි ප්‍රයෝජන අත්කර ගැනීම පිණිස වතුර නැතිකම ආදී නොයෙක් බාධාද තිබෙන හෙයින් අපි තද වේදනාවෙන් පසුවෙමු.” යනුවෙන් කරන ආයාචනය අද පවා විවිධ දේශපාලන ව්‍යාපෘතිවලට කඩේ යන ඊනියා ගොවි නායකයන්ගෙන් මතු නොවුණත් ගම්වල සිටින සැබෑ ගොවියන් රටේ ප්‍රධාන පාලනාධිකාරිය සඳහා කරන ආයාචනයම නොවන්නේද?

[දිනේෂ් දේවගේ]

මාතෘකා