ජනමාධ්‍යයේ සළුබරණ ඉවත් කර සෙලු කය දකින්න

 ඡායාරූපය:

ජනමාධ්‍යයේ සළුබරණ ඉවත් කර සෙලු කය දකින්න

වර්තමානය වන විට ජනමාධ්‍යට සමාජය තුළින්ම උත්පාදනය වී ඇත්තේ අසීමිත බලයක්. එය බොහෝ විට මාධ්‍යයෙන් විසුරුවා හැරෙන සංදේශයන් සියුම්ව නිරීක්ෂණය කිරීමෙන් වටහා ගන්න පුළුවන්. නූතන ජනමාධ්‍ය සෑම විටම උත්සාහ ගනු ලබන්නේ පවතින සංස්කෘතියට ප්‍රතිවිරුද්ධ සංස්කෘතියක් නිර්මාණය කිරීමට. එසේ නිර්මාණය කළ යුතු සංස්කෘතික ස්වරූපයන් හා ඒවායේ හැඩයන් තීරණය කරනු ලබන්නේ ව්‍යාපාරික ප්‍රජාව හා දේශපාලකයන් විසින්. එයට හේතුව වන්නේ වර්තමාන ජනමාධ්‍යයන්ගේ පැවැත්ම තීරණය වී ඇත්තේ ව්‍යාපාරික ප්‍රජාව මත වීම. වර්තමානයේ ජනමාධ්‍යයෙහි පැවැත්ම තීරණය වන්නේ තම ගුවන් කාලය හා වැඩසටහන් මෙන්ම පුවත්පත්වල ඉඩ වෙළෙන්දන්ට අලෙවි කිරීමෙන්. මේ නිසා වෙළෙඳ ප්‍රජාවට අභිමතානුසාරී බලයක් හිමි වෙනවා ජනමාධ්‍ය තමන්ට රිසි ලෙස පාලනය කිරීමට.

අනෙක් අතට සිය ව්‍යාපාරික කටයුතු වඩාත් පහසුවෙන් හා ඇවැසි පරිදි කරගෙන යෑමට නම් ඒ සඳහා යම් ආකාරයක දේශපාලන ආශීර්වාදයක් අවශ්‍ය වෙනවා. ඒ නිසා ඔවුන් දේශපාලකයන්ගේ වුවමනාවන් ජනමාධ්‍ය හරහා ඉටු කර දීමට පෙලඹෙනවා. වඩාත් හොඳින් අලෙවි කළ හැකි සරල විනෝදාත්මක දේවල්වලට වර්තමානයේ ජනමාධ්‍යයන්ගේ ප්‍රමුඛතාව ලැබී ඇත්තේ ඒ නිසා. ඒ හරහා ඥානවන්ත ජනතාවක් නොව සරල වින්දනයට පමණක් හුරු වූ අතාර්කික ජනතාවක් නිර්මාණය වෙනවා. එය වෙළෙන්දන්ට සිය භාණ්ඩ රිසි පරිදි අලෙවි කර ගැනීමටත් දේශපාලකයන්ට රිසි පරිදි සිය බලය ලබාගැනීමට හා තහවුරු කර ගැනීමටත් අවැසි සමාජ පරිසරයක් නිර්මාණය කරදීමක්.

මේ නිසා වර්තමාන ජනමාධ්‍ය සමාජයට එල්ල කරන බලපෑම කොයි විදියේ එකක්දැයි දැන අවබෝධ කර ගැනීම වැදගත්. මෙය ආකාර තුනකට විග්‍රහ කරන්න පුළුවන්.

01 සීමිත බලපෑම් න්‍යාය යටතේ

02. පන්ති අධිපති න්‍යාය යටතේ

03. සංස්කෘතිකමය න්‍යාය යටතේ

විශේෂයෙන් සීමිත ග්‍රාහක ප්‍රජාවක් ඉලක්ක කර ඉදිරිපත් කෙරෙන වැඩසටහන්වලින් ඇති කරන්නේ සීමිත බලපෑමක්. නමුත් ඒ සීමිත බලපෑම වුවද අදාළ නාලිකාවේ දේශපාලනයට ගැළපෙන ආකාරයෙන් ඉදිරිපත් කිරීමට මෙම ජනමාධ්‍ය වගබලා ගන්නවා. උදාහරණයක් ලෙස දේශපාලන සංවාදමය වැඩසටහනකදී ඉලක්කගත ග්‍රාහකයා වන්නේ පවතින දේශපාලනය ගැන උනන්දුවක් ඇති සීමිත ග්‍රාහක කණ්ඩායමක්. නමුත් මෙවැනි වැඩසටහනකදී තිබිය යුතු සමබරතාව නොසලකා හැර තම නාලිකාවේ හිමිකාරිත්වය නියෝජනය කරන දේශපාලන දෘෂ්ටිවාදයේ ප්‍රගතිය වෙනුවෙන් වැඩසටහනේ දිශානතිය මාධ්‍යකරුවා විසින් තීරණය කරනවා. සාකච්ඡාවේ ප්‍රතිඵලය තමන්ට වාසිදායක ලෙස සකස් කරගන්නේ ඒ නිසා. ලංකාවේ රූපවාහිනී නාලිකා ගෙන එන මෙවැනි සංවාදවල මේ ලක්ෂණය හොඳින් දැකගන්න පුළුවන්.

සාමාන්‍යයෙන් නූතන ජනමාධ්‍ය සේවය කරන්නේ අදාළ සමාජයේ ප්‍රභූ පන්තියේ වුවමනාවන් සඳහා. එම ප්‍රභූ පන්තියට, මාධ්‍ය හිමිකරුවන්, ව්‍යාපාරිකයන්, දේශපාලකයන් මෙන්ම කලාකරුවන්ද, ඇකඩමියානු ප්‍රජාවද, ආගමික නියෝජිතයන්ද අයත්. මේ නිසා ජනමාධ්‍ය සැමවිටම මේ අයගේ වුවමනාවන් සංතෘප්ත කිරීම සඳහා වෙහෙසෙනවා. එසේ වෙහෙසෙන මාධ්‍යකරුවන් ඇතැම් විට මෙම පන්තියට අයත් අය වෙන්නේ නැහැ. නමුත් ඔවුන් නියෝජනය කරන සමාජ පන්තියට ඔවුන් මඟින්ම පහර ගසමින් තමන්ගේ පන්තියේ ජයග්‍රහණ කරා ජනමාධ්‍ය මෙහෙයවා ගන්නට ඔවුන් සමත් වෙනවා. මේ සඳහා අනුග්‍රාහකත්වය, වෙළෙඳ දැන්වීම් වැනි ජනමාධ්‍යයේ පැවැත්මට අදාළ ප්‍රාග්ධන සම්බන්ධතාවන් ආයුධ ලෙස භාවිත කෙරෙනවා. මෙහිදී වැඩසටහන්වල අන්තර්ගතය, අරමුණ හා ඒවායේ ප්‍රතිලාභය සැමවිටම දිශාගත කෙරෙන්නේ ප්‍රභූ පන්තියේ පන්ති වුවමනාවන් වෙනුවෙන්. එය සාමාන්‍ය ග්‍රාහකයා විසින් තේරුම් ගැනීම ඉතාම වැදගත්.

කිසියම් සංස්කෘතියක් ප්‍රාග්ධනයට අවශ්‍ය ලෙස වෙනස් කිරීමෙන් ඒ ධනපති පන්තියට විශාල ප්‍රතිලාභයක් උපයා ගන්නට පුළුවන්. විශේෂයෙන් දැඩි සීමා කිරීම් සහිත, ආවෘත සංස්කෘතියක් තුළ ප්‍රාග්ධනයට තමන්ට රිසි ලෙස හැසිරීමට බැරි වෙනවා. විශේෂයෙන් නූතන වෙළෙඳපොළට අවශ්‍ය ලෙස භාණ්ඩ අලෙවියට ඇති ඉඩ සීමා වෙනවා. මේ නිසා ඔවුන් පළමුව කරන්නේ පවතින සංස්කෘතියේ ඇති සංවේදී සීමාවන් ඉලක්ක කර පහර එල්ල කිරීම හා ඒවා ඉවත් කිරීමට කටයුතු කිරීම. ඒ මඟින් නිදහස් වෙළෙඳපොළක් සඳහා අවශ්‍ය අවකාශයක් මෙන්ම අතාර්කික පාරිභෝගිකයකුද නිර්මාණය කරනවා. මේ සඳහා ඔවුන් ඍජුවම ඉලක්ක කරගන්නේ ගැහැනුන්, ළමයින් හා තරුණ තරුණියන්.

මේ නිසා නූතන ජනමාධ්‍ය පරිහරණය කරන ග්‍රාහකයන් එම ජනමාධ්‍ය විසින් සිදුකරන සියුම් ප්‍රහාරයන් හඳුනාගැනීම වැදගත්. මේවා එක්වරම හඳුනාගන්නට නොහැකි ලෙස දෘශ්‍යමාන වන්නේ ඉතා ආකර්ෂණීය සළුපිළි ආභරණවලින් සැරසී. ඒවා ඉවත්කර බලන්නට නම් ග්‍රාහකයාට මේ ගැන මනා වැටහීමක් අවශ්‍යයි. එය මාධ්‍ය සාක්ෂරතාවයේ එක් අංගයක්. එය ස්වභාවයෙන් ඇතිවන දෙයක්ද වන්නේ නෑ. එය වුවමනාවෙන් වඩවා ගත යුතු දෙයක්.

නූතන මාධ්‍ය සංවිධාන සිය න්‍යායපත්‍රයන්වල මේ වෙනුවෙන් විශේෂ බර තැබීමක් කළයුතු වෙනවා. මන්ද මේ සියලු ජනමාධ්‍යයන්ගේ පැවැත්මේ ශක්තිමත්ම කුලුන වන්නේ ග්‍රාහක සමාජය නිසා. එනයින් ගත් කල මාධ්‍ය සාක්ෂරතාව සමාජය තුළ වර්ධනය කිරීම වෙනුවෙන් ජනමාධ්‍ය සංවිධාන දැනුවත් වැඩ කොටසක් කළයුතු වෙනවා. හුදෙක් ඒවා සිය වෘත්තිය අයිතිවාසිකම් හා මාධ්‍ය නිදහස වැනි කාරණා වෙනුවෙන් පමණක් සටන් වැදීමෙන් ඵලක් නෑ. මේ යුගයේ පරිභෝජන ධනවාදයේ ස්වරූපය මෙහෙම තමා යැයි පැවසීමෙන්ද ඵලක් නෑ.

මන්ද දැන විකිණීම හා නොදැන විකිණීම කියන්නේ සාකල්‍යයෙන්ම වෙනස් කාරණා දෙකක් වන නිසා.

[කපිල එම්. ගමගේ]

මාතෘකා