සීයලා හතර දෙනෙක්

 ඡායාරූපය:

සීයලා හතර දෙනෙක්

පළමු සීයා

“මහත්තයෝ මගේ මුණබුරාට ඉඩමේ පසු අයිතිය දාගන්න බලන්නයි ආවේ. මගේ කොල්ලාගේ පුතා.”

“ඇයි තාත්තා පුතාට නොදා මුණුබුරාට පසු අයිතිය දාන්නේ”

“මගේ පුතා හමුදාවෙදි වෙඩි වැදිලා නැති වුණා මහත්තයෝ. 2007 අවුරුද්දේදි. කොල්ලා දරුවගේ මූණවත් දැකලා තිබුණෙ නෑ. දැන් දරුවා ඉස්කෝලෙත් යනවා. මගේ කුඹුරේ පසු අයිතිය තාත්තත් නැති දරුවාට ලියලා තියන්න ඕන මහත්තයෝ.”

මගේ අනුමානය අනුව ඒ පියා වයස අවුරුදු 65ක පමණ විය යුතුය. වියපත් නමුත් ශක්තිමත් දේහධාරී බවක් විද්‍යාමාන වන නමුත් හේ හැඟීම්බරය. වසර අටකට පමණ පෙර මියගිය සියා පුතා මතක් කරන විට ඒ දෙනෙත්හි කඳුළුය.

දෙවන සීයා

තවත් පියෙකි. ඔහුගේ අවශ්‍යතාවයද සිය මුණුබුරා නමින් ඉඩමේ පසු අයිතිය පැවරීමයි.

“ඇයි තාත්තේ මුණුබුරාට පසු දාන්නේ පුතාට දාන්නේ නැතිව” මගේ සුපුරුදු පැනය ඔහුටද යොමු වේ.

පොඩි එකාගේ තාත්තා මගේ පුතා වස බීලා දිවි නහගත්තා මහත්තයෝ. ගෑනිට කවුද එකෙක් කෝල් කරනවා කියලා ඒකේ සැකේටයි වස බීලා තියෙන්නේ. උන් ජීවත් වුණෙත් නොවිඳිනා දුක් විඳලයි .

“වෙන දරුවො ඉන්නවද?”

“ඔව් ලොකු පුතා ඉන්නවා. එයාට කුඹුරක් තියෙනවා. මේකත් මම නැති වුණ කාලෙක එයාට අයිති වුණොත් පොඩි එකාට මොකුත් නැති වෙන නිසයි දැන්මම ලියලා තියෙන්නේ.”

කලින් හමු වූ තාත්තා සේම රාජකාරී අවශ්‍යතාවයන් පිළිවෙළින් සැපිරූ ඒ තාත්තාද මුණුබුරා නමින් පසු අයිතිය ලියා තැබීය.

තෙවන සීයා

හදිසියේ කාර්යාලයට ගොඩ වූ අනූවියද ඉක්මවූ වියපත් යුවලකි. ඔවුන්ගේ රාජකාරී අවශ්‍යතාවය පිළිබඳ කරුණු කියන්නේ ඔවුන් සමඟ පැමිණි ත්‍රීවීල් රථයේ රියදුරාය.

“මේ සීයලාගේ කුඹුරේ පසු අයිතිය දාලා තියෙන්නේ මෙයාලගේ මුණුබුරාට ඒක වෙනස් කරන්න පුළුවන්ද බලන්නයි ආවේ.”

ජීවිතයේ අවසාන කාලයේ පසුවන යම්තමින් නාඩි වැටෙන දෙමවුපියන් රවටාගෙන පැමිණ ඉඩමේ අයිතිය වෙනස් කර ගන්නා දරුවන් ගැන අත්දැකීම් ඇති නිසා ත්‍රීවීල් රියදුරා පවසන කාරණය ගැන ඔහු සමඟ පැමිණි පියාගෙන් විමසීමි.

“අපේ මුණුබුරෙකුටයි කුඹුරේ පසු අයිතිය දාලා තියෙන්නේ මහත්තයෝ. ඒත් එයා දැන් අපි දිහා බලන්නෙවත් නෑ. මට දැන් අනුඅටක් වෙනවා. මගේ ගම තංගල්ලේ. ගල්ඔය බෝඩ් එකේ වැඩට ඇවිල්ලයි මෙහේ නතර වුණේ. දැන් අපි අන්ත අසරණ වෙලා ඉන්නේ.”

ඒ වියපත් මිනිසාගේ අතපය වෙව්ලයි. පයලා සිටින පාට දෙකේ රබර් සෙරෙප්පු දෙකේ සිට බොත්තම් කැඩුණ කමිසය තෙක්ම පීඩා විඳින අගහිඟකමේ දිග පළල නිරූපණය කරයි. ගල්ඔය මිටියාවත ගොඩනඟන්නට ජවසම්පන්න තාරුණ්‍යය කැප කළ පරපුරක් වර්තමාන ජීවන ඉරණම දෙනෙත් මානයේය.

“අපිව දැන් බලා ගන්නේ අපේ අංගවිකල දුවෙක්. ඒ දුව තමා වතුර එකක් හරි උණු කරලා දෙන්නේ. එයා නමින් පසු අයිතිය දාලා දෙන්න පුළුවන්ද මහත්තයෝ. ”

ඔහුගේ ඉල්ලීමට අදාළ සංශෝධනය සිදු වී දින කිහිපයකට පසුව ආත බූත නැති අවුරුදු විස්සත් විසිපහත් අතරේ යයි සිතිය හැකි තරුණයෙක් කාර්යාලයට කඩා වැදී එම පසු අයිතිය සංශෝධනය ගැන දෙස්දෙවොල් තියන්නට විය.

“උන් දෙන්නගේ හැම දෙයක්ම කරලා දෙන්නේ මම. කුඹුරෙ අයිතිය වෙනස් කරා එහෙනම්. ආයෙ ඉතිං මගේන් වතුර පොදක් වත් හම්බ වෙන්නේ නෑ” සීයාගේ තීරණයේ නිරවද්‍යතාවය මුණුබුරා ඔප්පු කර පෙන්වීය.

හතරවන සීයා

මේ එවැනිම තවත් සීයා කෙනෙකි.

“මගේ පුතාට තියෙන ඉඩමේ පසු අයිතිය දුවගේ පුතාට, ඒ කියන්නේ මගේ මුණුබුරාට දාන්නයි ආවේ මහත්තයෝ. ඒකට මොනවද ඕනි වෙන්නේ?”

අවශ්‍යතා ගැන දැනුවත් වී ඔහු නිකම යාමට සූදානම් විය.

“තාත්තට තනියම ඒන්න අමාරුයිනේ. දරුවෙක් එක්ක එන්න.”

“මට දැන් 89ක් වෙනවා. ඒත් මට පුළුවන් මහත්තයෝ රට වටේ වුණත් යන්න” ඒ ආත්ම විශ්වාසය උපහාසයට ලක් කරයි. පාවහන් හෝ නොපැළඳි නමුත් සැබැවින්ම ප්‍රසන්න මිනිසෙක් වූ ඔහු පාපැදියේ නැඟ ඉගිල ගියේය. දින දෙකකින් පසු නැවත ආවේය.

“මගේ ඇස්වල කාච දාන්න යන්න තියෙනවා. නුවර ගිහිල්ල එන්නත් ඕනි. අර වැඩේ පස්සෙ කරමු මහත්තයෝ" යයි පවසා සංශෝධනය කර දෙන ඉල්ලා ලබා දුන් ලියවිලි නැවත ඉල්ලා ගත්තේය. පසුව නැවතත් මා ඇමතීය.

“ අපේ ගෙදර එක්කෙනා කැමති නෑ මහත්තයෝ පුතාගෙ පසු අයිතිය වෙනස් කරනවට. එයා දැන් උකුල් ඇටේ කැඩිලා එක තැන ඉන්නේ. සාත්තු කරන දුවගේ පුතාටයි මම ලියන්න හැදුවේ. ඒත් එයා එපා කියනවනේ. දැන් මේ ලියුම් ටික ආපහු ගිහින් දෙනවා. එතකොට සතුටු වෙයිනේ.”

දශක කිහිපයකට පෙර සිතේ උපන් ප්‍රේමණීය බව තවමත් ඒ ඇස්වලින් නිරූපිතය. වියපත් සමයේද ඇයගේ සිත රිදවීමට හේ අකමැතිය.

කාර්යාලය ජීවිත පාඩම් සදන විශ්වවිද්‍යාලයකි. තවත් අතකට මේ ගරා වැටුණ් පසුගාමී ධනේශ්වර ක්‍රමයේ කටුක ජීවන යථාර්තයන් රඟ දැක්වෙන රඟමඩලකි. ඒ කටුකත්වයන් රසවිඳීමෙන් ඔබ්බට ගොස් ඒවා විනිවිද ඒ ජීවිත වෙත සැබෑ ජීවන හුස්ම කාන්දු කිරීමේ සමාජ වගකීමට උර දිය යුතුව ඇත.

[කමල් නෙත්මිණි]

මාතෘකා