නූතන භික්‍ෂුවට සුසමාදර්ශයක්

 ඡායාරූපය:

නූතන භික්‍ෂුවට සුසමාදර්ශයක්

 

"සුවාසූ දහසක් - යොදුන් ගැඹුරැති මුහුදක්

ගොඩ කරමැයි උදක් - ලෙහෙනු කළ තැත් වැන්න දවසක්"

ඉහත කවිය වීදාගම මෛත්‍රී හිමියන් විසින් රචිත බුදුගුණ අලංකාරයෙහි අඩංගුව ඇත. මුහුදට වැටුණු සිය පැටවා බේරා ගැනීමට ලේනෙකු වලිගයෙන් මුහුද ඉසීමට ගත් උත්සාහයක් පිළිබඳ පුවතක් කලන්දක ජාතකයෙහි දැක්වෙයි. එය කළ නොහැකි දෙයකි. වීදාගම හිමියන් පවසනුයේ තමන් බුදුගුණ වැනීමට දරන උත්සාහය ද එලෙසටම කළ නොහැකි දෙයක් බවයි.

අද ලිපියෙන් වල්පොළ රාහුල හිමියන් පිළිබඳ කරුණු ගෙනහැර දක්වමි. එය කලන්දක ජාතකයෙහි ලේනා මුහුද ඉසීමට ගත් උත්සාහයට සමානම දෙයකි. මන්ද අප වැනි අයෙකුට උන්වහන්සේගේ ගුණ නුවණ දෙක වචනයට නැගීම පහසු නැත.

නූතන තරුණ ලාංකික භික්‍ෂුවට වල්පොළ රාහුල හිමි සුසමාදර්ශයකි. උන්වහන්සේගේ චරිතය ආදර්ශයට ගත හැකි නම් එය ලාංකික භික්‍ෂු සමාජයේ වැදගත් හැරවුම් ලක්‍ෂයක් වනු ඇත.

බුදු දහම පිළිබඳ හසල දැනුමත් භාෂාශාස්ත්‍ර දැනුමත්, දර්ශනවාද පිළිබඳ අවබෝධයත් උන්හන්සේගේ දිවියට ආලෝකයක් විය.

අප කතා නායකයාණෝ ක්‍රි.ව. 1907-06-09 දින දකුණුලක වල්පොළදී උපන්හ. ගිහි නම හෙන්ද්‍රික් ද සිල්වා විය. කරෝලිස් ද සිල්වා සහ හත්තොට්ටුව ගමගේ සිලිදු හාමි මව්පියෝ වූහ.

දහතුන්වන වියෙහිදී පරගොඩ ඤාණතිලක හිමියන්ගේ පා සෙවණෙහි පැවිදි බිමට පත්ව වල්පොළ ධම්මදස්සි යන නම ලදහ. පසුව වල්පොල රාහුල ලෙසට නම වෙනස් කරගෙන ඇත. සිංහල, පාලි, සංස්කෘත, අභිධර්මය ආදියත් භික්‍ෂු දිවියට අවැසි අනිකුත් බණ දහම් හා ආචාරධර්මත් පරගොඩ සුමනාසර හිමි යන්ගෙන් උගෙන ඇත.

පසු කාලීනව කොළඹ යුනිවර්සිටි කොලීජියෙන් අධ්‍යාපනය ලබන අතර විශ්වවිද්‍යාලයකට පිවිසෙන පළමු ලාංකික භික්‍ෂුව වන්නේ ද රාහුල හිමියන් ය. තරුණ අවදියේ ම ඉංග්‍රීසි දැනුම ප්‍රගුණ කරන උන්වහන්සේ ක්‍රි.ව.1925 දී වැඩිදුර අධ්‍යාපනය සඳහා ඉන්දියාවේ කල්කටා නගරයට වැඩම කළ අතර ලෝක යුද්ධය ඇවිලෙන බැවින් ඒ ගමන ඉතාම කෙටි කලකට සීමා වී ඇත. පසුව එංගලන්තයේ ලන්ඩන් විශ්වවිද්‍යාලයයෙන් ඉන්දු ආර්ය භාෂා පිළිබඳ ගෞරව උපාධියක් ලැබූහ.

තරුණ අවධියේ ප්‍රකට ධර්ම දේශකයෙකු වූ රාහුල හිමියෝ “සත්‍යෝදය” නමින් ලිපි කිහිපයක් පළ කර ඇත. වර්තමානයෙහි සත්‍යෝදය නමින් ප්‍රකට ග්‍රන්ථය එම ලිපි මාලාවේ එකතුවකි.

විද්‍යාලංකාර භික්‍ෂුන් වහන්සේලා සමඟ වාමාංශික දේශපාලනයෙහි නියැලෙන අප කතා නායකයාණෝ ඒ අවදියෙහි දී “භික්‍ෂුවගේ උරුමය” නැමති කෘතිය පළකළහ.

ක්‍රි.ව. 1950 දී ගුණපාල මලලසේකර මහතාගේ මඟපෙන්වීම යටතේ ලංකා විශ්වවිද්‍යාලයට ආචාර උපාධි නිබන්ධයක් ඉදිරිපත් කරනු ලබයි. “ලක්දිව බුදු සමයේ ඉතිහාසය” නමින් වර්තමානයෙහි එය මුද්‍රණය වී ඇත.

එස්. තංගරාජා නැමති දෙමළ ජාතික ඉංග්‍රීසි ගුරුවරයා රාහුල හිමියන්ගේ ශාස්ත්‍රීය ලෝකය පෘථුල වීමට තදින්ම බලපා ඇත. යාපනයේ ගොවියෙකු විසින් තංගරාජා මහතාගේ අතට පත්කරන කිසියම් ලේඛනයක් රාහුල හිමිට ලබාදී ඇත. ඒ අනිකක් නොව වල්ලිපුරම් රන් සන්නසයි.

මහත්මා ගාන්ධි, රාධා ක්‍රිෂ්ණන්, රවීන්ද්‍රනාත් තාගෝර්, ජවහල් ලාල් නේරු වැනි ඉන්දීය චින්තකයින් සමඟ රාහුල හිමියෝ සමීප සම්බන්ධතා පැවැත්වූහ.

ප්‍රංශයේ සෝර්බෝන් විශ්වවිද්‍යාලයයේ කීර්තිමත් ආචාර්යවරයෙකු වූ පෝල් දමියවිල් මහතාගේ ආරාධනයෙන් එම විශ්වවිද්‍යාලයේ පර්යේෂණ හා එක්වන රාහුල හිමි දශක කීපයක් එහිම වැඩවසයි.

එම කාලයේදී සුප්‍රකට මහායාන දාර්ශනික අසංග ආචාර්යයන්ගේ අභිධර්ම සමුච්චය ප්‍රංශ බසට නගයි.

එංගලන්තයේ ලන්ඩන් සරසවියෙහි එකොළොස් වසරක් පමණ කටයුතු කරන රාහුල හිමි එම යුගයේදී රචිත "What the Buddha Taught" නැමති ග්‍රන්ථය ලොව පුරා මහත් ප්‍රසාදයට පත් වෙයි.

ලෝකයේ රටවල් කිහිපයකම විශ්වවිද්‍යාලයයන්හි සේවය කළ උන්වහන්සේ බෞද්ධ දර්ශනය මනාව දත්හ. එඩිතර ගුණයෙන් යුතු වූහ. තියුණු විචාරශීලීත්වයකින් යුතු වූහ. නිසි වේලාවටම වැඩ කළහ. සරල පැවතුම් පැවතුණාහ. අල්පේච්ඡ වූහ. චිරරාඥයහ. ලොව පුරා උගතුන්ගේ ගෞරව ප්‍රසාදයට පාත්‍ර වූහ. ජාති, ආගම්, කුල භේද නොතැකූහ. පෙරදිග අපරදිග සම්භාව්‍ය දර්ශනවාදයන් සේම නූතන දර්ශනවාදයන්ද හැදෑරූ උන්වහන්සේ කෙසඟ සිරුරකින් යුතු වූහ.

බුදු දහම ලෙස විවිධ මිථ්‍යාවන් ඉස්මතුවන මේ යුගය තුළ රාහුල චරිතය නැවත කියවිය යුතුය. නූතන ලෝකයට ගැළපෙන ලෙසට දැනුම සහ විනය උන්වහන්සේගේ චරිතයෙහි පැවතිණ. වල්පොළ රාහුල හිමියෝ ක්‍රි.ව. 1997.09.17 දින අපවත් වූහ.

“විද්වාන් සර්වත්‍ර පූජ්‍යතේ” යන පඬිවදන සනාථ කරමින් උන්වහ්නසේට ලෝකයේ බොහෝ රටවලින් ගෞරව ප්‍රශංසා ලැබිණ. බුරුම රජය අග්ගමහා පණ්ඩිත උපාධිය පිරිනැමීය.

ලාංකික ගිහි සමාජය පුද පූජා පසුපසම දිව යන නූතනයෙහි උන්වහන්සේගේ මග පෙන්වීම තවත් කැපී පෙනෙයි. වල්පොළ රාහුල හිමියන්ගේ චරිතය පිරිවෙන්හි අධ්‍යාපනය ලබන සාමණේර භික්‍ෂූන්ට අත් පොතක් කළ හැකි නම් එය මහත් ප්‍රතිඵල ලබාදෙනු ඇත.

ධම්මපදයේ අටවන වග්ගයේ එන බුදුන් වදාළ පහත ගාථාව දක්වා මෙම සටහන නිමා කරමි.

යොචෙ වස්ස සතං ජීවේ

දුප්පඤ්ඤෝ අසමාහිතො

එකාහං ජීවිතං සෙය්‍යො

පඤ්ඤා වන්තස්ස ඣායිනො

“නුවන නැතිව සියක් ආයුෂ විඳිනවාට වඩා නුවණ ඇතිව එක් දවසක් විසීම ම වැදගත් වේ. ඵලදායක වේ.”ණැන පහණින් ලොව එළිය කළ වල්පොළ රාහුල යතිඳුන්ගේ ශ්‍රී නාමය ඡේකයින්ගේ මුවඟ සදා රැදේවා.

මාතෘකා