රොටී කබල ගෙට වටී

 ඡායාරූපය:

රොටී කබල ගෙට වටී

පැණි කැවිල්ලන්ඩ කැමති උන්දැලට පැණි විත්ති පහුණු සුමානෙ කියව්වනෙ. ඔන්න එතකොට තමයි බොරලන්දෙ පිටපොළ පියදාස මාමා මතක් වුණෙත්. උන්දැ ආගන්තුක සත්කාරෙට බොහෝම ළැදි අල ගොයියා. ඔයි පිටපොළ කියන්නෙ ඇඟ වෙවුලිල්ල හැදෙන්ඩ තරම් හීතල පළාත නෙව. ඉතිං ගොම්මන් වෙලාවක ඒ පැත්තෙ ගාටලා උන්දැ මුලිච්ච වුණා කියන්නෙ ඩිංගිත්තක් සප්පායම් ‌වෙලා රත් වෙන්ඩත් ලැබෙනවා කියන එක තමයි.

මෙ උන්දැලා කවුරුවත් අපි බලන්ඩ ආවෙත් අත් දෙක වන වනා නෙවෙයි. ආයෙ මොකවත් ඉල්ලන්නෙ නැති වග දන්නවා වුණත් ඒ තමයි එඋන්දැලායෙ හැටි. අල ඩිංගක්, තක්කාලි, ගෝවා එව්වා මෙව්වා නැහ්නං මඤ්ඤොක්කා අල ටිකක් උගුලලා ඒක තම්බාන හරි ඇන්න ආවා. පියදාස මාමාගෙ ගෙයි ඉස්සරහ මිදුලට වෙන්ඩ උග්ගස් පඳුරක් උහට සරුවට වැවිලා තිබ්බා. ආං ඒකෙ දඬු බිඳලා ඇන්න ගෙදරම හදාගත්ත තැලුම් මෝලකින් තලලා පැණි ඇරන් උණු කර හදාපු හකුරු බෑ ඇන්න ආව දවසුත් තිබ්බා. එව්වයෙ සුවඳම මයෙ ඉස්මොල්ලෙ යන්ඩ දැනුණ තව ඉසව්වක් තමයි ගල්ගෙඩියාවෙ පන්සලට මෙපිට උක් මෝල. සියඹලාණ්ඩුව මුප්පනේ පළාතෙ තවම එක දෙක උක් මෝල් තියෙනවා. එව්වයෙ පැණි හකුරුත් හැදෙනවා. ඒ සුවඳම දැනෙන්ඩ ගන්නවා පැල්වත්තෙ උක් යායවල් මැදින් හක්කලං කරන වෙලාවට.

හීතල වන්නිවල කරක් ගහද්දි මට මුලිච්චි වුණ කොයි මනුස්සයත් වාගෙ හිත හොඳ අහිංසක එවුන්. ඒ ගෙවලට ගොඩ වුණාම කන්ඩ බොන්ඩ නොදී එව්වෙ නෑ. මට අදටත් එහෙම ගෙවල් අහළින් යද්දි කටට කෙළ උනනවා රොටී පිස්සෙන පුසුඹ සිහි වෙලා. රෑ බත ඉදෙනකං හීතල මැකෙන්ඩ රොටී ගෙඩියක් උයාන කන එක විනෝද කාරියක්. රෑට උදේට රොටී ගෙඩියක් කෑවානම් ඒ බත් බුදින අතරවාරේ වෙනසකට. හී වාරෙට එහෙම වැඩ රාජකාරි ඕසෙට තියෙනවානම් රොටියක් පුච්චගෙන කහට ඩිංගක් එක්ක අතරමැද්දෙ සප්පායම් වෙනවා. අර මං කලිං හැරයක් කිව්වා වාගෙම කැලේ වනේ කරක් ගහද්දි ගලේ රොටී කන එකත් විනෝදෙ මුහු වෙච්ච වැඩක්. අපිට මතක් ඇති කාලෙකත් වැඩියෙම්ම ගම ගෙවල්වල ඉවුවෙ තිරිඟු පිටි රොටී. බැවැහැරෙට තිරිඟු පිටිවලට කියව්වෙ පාන් පිටි කියලා. එව්වයෙන් පාන් පුස්සාපු හින්දා වෙද එහෙම කිව්වෙ. හැබැයි ඉතිං පිට පොත්ත හූරගෙන සුදුවට ඔපේට ගිලින්ඩ තියෙන පාන් පිටිවල නුඟුන මිස මහ ගුණයක් නම් නැති වග කියන එක යුතුකමක්.

ඉස්සර අපේ ගම්වල පාන් පිටි නැතුවත් මිනිස්සු රොටී කෑවා. ඒ ඉරුං පිටියෙන්, කුරහන් පිටියෙන් නැත්තං හාල් පිටියෙන්. තව ඉතිං ඔය ඉඳල් ඉරිඟු නැත්තං සෝර්ගම්, මඩු, හල් වාගෙ ජාතිත් පිටි කරගත්ත නම් රොටියක් උයාගෙන කන්ඩ බැරි ජාති නෙවෙයි. ආං ඒ වග සිහියෙ තියාන කතා කරමු රොටී ගැන. හාල් පිටි නැත්තං කුරක්කන් පිටිවලින් රොටී හදනවානම් සීරුමාරුවට පිටි අනාගන්ඩ වගේම පරිස්සමට කෙහෙල් කොළයක් හරි කැන්ද කොළයක් හරි උඩ වඩලා ඒක පිටින්ම කබලෙ බාවන්ඩත් සිද්ධ වෙනවා. මොකදෑ මේ පිටි අල්ලලා හිටින්නෙ නැති හින්දා කැඩෙන්ඩ බලනවා. හැබැයි අත් ගුණේ වඩාපු බවලත් උදවිය වටකුරුවට හඳ වාගෙ කොයි රොටියත් වඩාලා උයන්ඩ දැන හිටියා. කුරක්කන් රොටිය කෙහෙල් කොළෙත් එක්කම තැවිලා පිස්සුණාම ඒ සුවඳ ගැන කියන්ඩ වචනයක් නෑ.

හාල් පිටි රොටියි කුරක්කන් රොටියි කන්ඩ වෙන මොනව තිබ්බත් වැඩක් නෑ ලුණු මිරිසක් නැතුව. මේ ලුණු මිරිස ගලේ අඹරපු එකක් මිස කට්ට සම්බලයක් නොවෙන වග මතක කියාගන්ඩ ඕං. රට බටු හරි උණු අළු පල්ලෙ පුච්චාපු තක්කාලි ගෙඩියක් එක්ක අඹරලා ගන්න ලුණු මිරිස තමයි රොටී කන්ඩ ජාති. ඉරුං පිටි රොටියත් නිතර කැවෙන්නෙ නැතිවට වෙනස් රහක් වගේම ගුණයකුත් තියෙනවා. අර මොකද ඉරිඟු පිටි කරන්නෙ පිට පොත්ත අයින් කරලා නෙවෙන හින්දා ගුණ රඳනවා. වැදි උන්දැලා මී පුප් එක්ක අනාලා පුළුස්සන මීක් රොටී ගැන මට කියා දුන්නේ දඹානෙ ගුණවර්ධන ඇත්තො. ඒවා ගැන මීට ඉස්සර කියාලා තියෙනවා මයෙ හිතේ. බිබිල, බඩල්කුඹුර වාගෙ පැතිවලදි මඩු පිටි හොයාගන්ඩ පුළුවන්. සියඹලාණ්ඩුවෙදි ඉදල් ඉරිඟු. දුම්බරදි හල් පිටි. ඉතිං එව්වත් රොටී උයාන කන්ඩ පුළුවන් ජාති.

හරි ඉතිං තියෙන්නෙ පාන් පිටිම විතරක් නම් වෙනදා කන රොටියම ආලවට්ටං දාලා රහ ගුණ වැඩි කරගන්ඩ බැලුවොත් නරක නෑ. ඉස්සර අපේ අම්මලා රොටී උයද්දි තියෙන පිටි ඩිංග පිරිමහ ගන්ඩත් එක්කලා කූර, වට්ටක්කා දළු වාගෙ පලා ජාති මුහු කරලා පිටි ඇනුවා. අර දැන් සමහර සයිවර් කඩවල අමුමිරිස්, ලූනු ලියලා දාන්නැහේ.

ඔයාකාරෙටම කැරට් අලයක් පෙරං ගාලා දැම්මමත් රොටිය අගේ වැඩි වෙනවා. ඇයි අර ගස් යට වැටෙන ලාවුලු ගෙඩියක් අමුවෙන් ඇන්න පෙරං ගාලා පිටිවලට එක්කාසු කරන්ඩත් පුළුවන්. අර්තාපල් එක්කහු කරනවනම් රෙදි කෑල්ලක එකලාව පොට්ටනි වෙන්ඩ බැඳලා මිරිකලා වතුර අයින් කරන්ඩ ඕන. නැත්නම් අල ගෙඩියක් තම්බලා පිටිවලට එක්කාසු කරන්ඩත් පුළුවන්.

මේ ඉතිං රොටී ගැන කියන්ඩ පටන් ගත්තා විතරයි. රොටී කන හැටි ගැන ආයෙම කතා කරමු ඉස්සරහට.

මාතෘකා