සීසර්ගෙ දේ සීසර්ට දීපල්ලා, දෙවියන්ගෙ දේ දෙවියන්ට දීපල්ලා

 ඡායාරූපය:

සීසර්ගෙ දේ සීසර්ට දීපල්ලා, දෙවියන්ගෙ දේ දෙවියන්ට දීපල්ලා

ආගමික සංස්ථාවේ පුද්ගලයෝ රාජ්‍යයට ගල් ගසමින් සිටිති. රාජ්‍යයද බලය වෙනුවෙන් ආගමික ආයතනයන්ට හිතකර අයුරින් කටයුතු කරමින් තිබේ. ‘ගිරා පෝතක’ ජාතකයේ මෙන් “එන්න, මේ මිහිරි පළතුරු කන්න, සිසිල් පැන් බොන්න” ආදී මිහිරි වචන කියූ ආගමික ආයතන අද දක්නට නැත. දැන් ඇසෙන්නේ “අනෙකා මරාපිය, ගල් ගසා මරාපිය, අනෙකා කොටාපිය” ආදී භාෂිතයන්ය. සුභාෂිතය නොකියවූ නූතන ජාතියක ආගමනය එසේය. වහබ්වාදී ඉගැන්වීම් දේශනා කළවුන් හිස්මුදුනින් පිළිගන්නේ ඒ නිසාය. මුස්ලිම් ජාතික වෛද්‍යවරයකු විසින් සිංහල කාන්තාවන් හාරදහසක් වඳ කරන ලද බවට මහත් ආන්දෝලනයක් ඇති වුවද එය පරීක්ෂා කරන්නට සැරසෙන විට “වඳ වූ කාන්තාවන්” පළාගොස් ඇතැයි වාර්තා වේ. මේ අව් අස්සේ සිංහල ජාතිමාමක, ජාති හිතෛෂී ජනීජනයා යෝජනා කරන්නේ සිංහල ජාතියේ අභිවෘද්ධිය වෙනුවෙන් දරුවන් සීමා නොකර අසීමාන්තිකව බිහිකරන ලෙසයි.

එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ “ලෝකයේ ආහාර සුරක්ෂිතතාවය හා පෝෂණය 2017” වාර්තාවට අනුව ලංකාව දකුණු ආසියාවේ මන්දපෝෂණයෙන් පෙළෙන්නවුන්ගේ රටවල් අතුරින් දෙවැනි ස්ථානයට පත්ව ඇත. සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවේ 2016 දත්ත අනුව ලංකාවේ අඩුබර දරු උපත් ප්‍රමාණය සියයට 15.7 කි. වයස අවුරුදු 5ට අඩු දරුවන් අතර වයසට සරිලන උස නොමැති වීම සියයට 17.3කි. කෘෂභාවය සියයට 15.1කි. රක්තහීනතාවය සියයට 15.1කි. මීට සාපේක්ෂව ගර්භණී මවුවරුද විවිධ පෝෂණ ඌණතාවයන්ට ගොදුරු වී සිටිති. තත්ත්වය මෙසේ නම් තවත් ඉදිරියට මෙවන් අවාසනාවන්ත මරණයන්ගේ වර්ධනයක් දැකිය හැකි වනවා හැර අඩු වීමක් නොවේ. ලංකාවේ සෞඛ්‍ය සේවාව යම් දියුණු තත්ත්වයක් අත්කරගෙන තිබුණද නූගත්භාවය විසින් හා ආදයම් බෙදී යාමේ විෂමතාව මෙවන් සමාජයීය ඛේදවාචක තීව්‍ර කරනු ලබයි.

ආගමික සංස්ථාවෙන් දරුවන් බෝ කරන්නට උපදෙස් දෙන අව්අස්සේම දරුවකු අඩු බරින් හා සංකූලතාවන්ගෙන් මියැදීම අහඹුවක් වන්නා සේම විශ්වවිද්‍යාල භූමියකින් පාවිච්චි කරන ලද උපත්පාලන කොපු තොගයක් හමුවීම නිසා ඇති වූ කතා බහද අහඹුවකි. එහෙත් ඉන් නැවත නැවත හෙළිකරන්නේ ලාංකික සමාජයේ ඇති පසුගාමී ස්වභාවයයි. විශ්වවිද්‍යාලවල කාන්තා විද්‍යාර්ථීන්ගේ කන්‍යාභාවය සෙවීමට උත්සුක වූ උදවිය උපත්පාලන කොපු දැක ‘විස්සෝප වීම’ අරුමයක් හෝ පුදුමයක් නොවේ. කරුමය වන්නේ මෙවැනි දේ උගත්, බුද්ධිමත් යැයි සම්මත සංස්කෘතික බිම්වලින් කාන්දු වීමයි. ලංකාව ධනවාදී ලිබරල් අර්ථ ක්‍රමයක් පවත්වාගෙන ගියද ලිබරල් සමාජයක ඇති අවම පුද්ගල නිදහස හෝ අයිතිවාසිකම් ආරක්ෂා වනු දක්නට නැත.

සමාජ මාධ්‍යයෙහි යම් ප්‍රකාශයක් කළා යැයි කියන වරදට ශක්තික සත්කුමාර ‘අයි.සී.සී.පී.ආර්’ පනත යටතේ අත්අඩංගුවට ගෙන මේවනතෙක් පසුවන්නෙ බන්ධනාගාරයේය. පුදුම සහගත ඉරණම වන්නේ ජාතිවාදය හා ආගම්වාදය පැතිරවීමේ උවමනාවෙන්ම වඳ සැත්කම් හාරදහසක් කළා යැයි ව්‍යාජ ප්‍රවාද ගෙතූ පුද්ගලයන් හා ආයතන මෙම පනතට නොපෙනීමයි. වරක් බ්‍රෙෂ්ටි මෙසේ ප්‍රකාශ කළේය. “සාමය උදා වී ඇත. උඹලා පරිස්සමින් හිටපල්ලා.” පවතින ලිබරල් නිදහස් අවකාශයේ පිනුම් ගසමින් ජාතිවාදී, ආගම්වාදී, වර්ගවාදී ප්‍රකාශ කරන්නවුන් නිදැල්ලේ සිටියදී පවතින සංස්ථාවන් ප්‍රශ්න කරන, බුද්ධිමය පෙළඹවීමක් ඇති කරන්නාවූ නිර්මාණකරුවන් පුද්ගල නිදහස ආරක්ෂා කිරීමට ඇති පනත්ම දඩමීමා කරගෙන සිරගත කිරීමයි. මෙම ‘ප්‍රකාශන නිදහස’ යන්නට ‘වල්බූරු නිදහස’ යන්න කිසි විටෙකත් සමපාත නොවන බවද කවුරුත් දැනගත යුතුය. “තමන්ගේ සැරයටිය කැරකැවිය හැකි වන්නේ අනෙකාගේ නහය දක්වා පමණක්ය.” යන කියමන වැදගත් වන්නේ එවන් පසුබිමකය.

ආගමික සංස්ථාව දැන් දැන් ඔවුන්ගේ සීමාව පසුකරමින් “අනෙකාගේ නාස් ඇට කඩමින්” හිඳියි. රාජ්‍යයද රාජ්‍යයේ සීමාව නොදැන ආගමික සංස්ථාවන්හි පිළිකන්නේ ළගිමින් බල පොරයක නිමග්න වී සිටී. කෞටිල්‍ය, සමූහාණ්ඩුව, කුමාරයා ආදී රාජ්‍ය පාලනය සම්බන්ධ උපදෙස් ඇතුළත් ග්‍රන්ථයන්හිද මෙවන් දීග කෑමක් ගැන නොකියැවේ. එක් අතකින් “ධනවාදය අභිමුව සියලු ශුද්ධ දේ කෙළෙසේ.” යනුවෙන් වරක් කාල් මාර්ක්ස් ප්‍රකාශ කළාක් මෙන් මේ අලකලංචි ගැන විස්සෝප වීමෙන්ද පළක් නැත. කරුමය වන්නේ ඒ න්‍යායට අනුවම සමාජවාදයද කෙලසී ඇති බවයි. ‘ශුද්ධ සිංහල’ භාවිතා කරන ඇතැම් වාමාංශික නායකයන් දෙස බැලීමෙන් වුවද එය තහවුරු වේ.

කල් යල් නොයවා රාජ්‍යයේ සීමාව හා ආගමික සංස්ථාවේ සීමාවේ වැටඉණි මායිම් කළ යුතුය. පල්ලිය හා රාජ්‍ය අතර පැවති යුද්ධයේදී “දෙවියන්ගෙ දේ දෙවියන්ට දීපල්ලා - සීසර්ගෙ දේ සීසර්ට දීපල්ලා” යනුවෙන් ප්‍රකාශ කළාක් මෙන් ලංකා රාජ්‍ය ආගමෙන් දික්කසාද විය යුතු දිනය අත ළගටම පැමිණ ඇත. “ළදරුවන් නොමැති ගෙවල්වල නාකි දණ ගානවා.” වැනි සිදුවීම් අසන්නටත් දකින්නටත් හැකි වන්නේ එසේ නොවන විටය.

[ගාමිණී බස්නායක]

මාතෘකා