දරුවන් කාගෙද ?‍

 ඡායාරූපය:

දරුවන් කාගෙද ?‍

එක්වරම මගේ ගමන හරස් කළේ හඳුන්කූරු මිටියක් රැගත් කුඩා අතකි. බැලූ බැල්මට අවුරුදු දහයක දරුවන් දෙදෙනෙකි.

“පුතාලා මොකද මේ පාරේ ?”

මගේ පැනයට පිළිතුරක් නැත. ඔවුන් හඳුන්කූරු ගන්නවා දැයි අසයි.

“ඉස්කෝලේ යන්නෙ නැද්ද?” මා නැවත විමසුවේ අසල මොවුන්ගේ මව හෝ පියා ඇතැයිදැයි විමසිල්ලෙන් බලමිනි.

“ඉස්කෝලේ නිවාඩු”

“කවදද පටන් ගන්නේ ?”

“පහළොව”

“පුතේ, ඔයාලගෙ වයසේ දරුවෝ මෙහෙම වෙළෙඳාම් කරන එක තහනම්. පොලිසිය දැක්කොත් හරි කිව්වොත් හරි ඔයාලව අල්ලගෙන යයි. තනියමද ආවේ” මා කියද්දී ඔවුන් මගෙන් ඈත්වී ගියේ, “චැහ්” කියා මවෙත සිනහවක් වීසි කරමිනි.

වගේ වගක් නැතිව නැවත පදික වේදිකාව පුරා දුවමින් හඳුන්කූරු විකුණමින් ඔවුහු ඉදිරියටම ගියෝය. ඔවුන් වෙළෙඳාමට පුරුදු කර ඇතිවාට සැක නැත. නීතියෙන් නම් මෙවැනි දරුවන් වෙළෙඳාමේ යෙදවීම හෝ මෙහෙකාරකමේ යෙදවීම කළ හැකි නොවේ. එහෙත් මේ වන විට අගනුවර හන්දියක් ගාණේ දරුවන් කරපින්නාගෙන මහ අව්වේත් වැහිබර කාලයේත් අම්මලා හිඟා කති. දරුවන් සිටින්නේ තද නින්දේය. මේ ඔවුන්ගේම දරුවන්දැයි සැක සහිතය. හන්දිවල මාර්ග සංඥා එළි මාරුවෙද්දීම වාහනවල වීදුරුවලට තට්ටු කරමින් පාරවල් පුරා ඇවිදින්නේ විවිධ වූ ආබාධ සහිත පුද්ගලයන්ය. ඇතැම් තැනක දරුවන් කරපින්නාගත් මවුවරුන්ය.

රටක යාන්ත්‍රණය එහි පුරවැසියන්ට අවශ්‍ය සුව සහන ලබා දීමය. රටේම මිනිසුන් මේ දේශපාලකයන් පත් කර එහි යවන්නේ රටේ සම්පත් රැකගෙන මිනිසුන් වෙත සේවා සපයන්නටය එහෙත් අපේ රටේ මේ තත්ත්වය සපුරා වෙනස් වී තිබේ. මෙලෙස දරුවන් අපයෝජනය වීම දරුවන් වහල්කමේ සහ හිඟා කෑමේ යෙදවීම නවත්වන්නට කටයුතු කළ යුත්තේ කවුරුන්ද?

බිළිඳුන් හාමතේ මිය යනවා යැයි හඬක් නැගෙන්නේ ඔය අතරය. දැන් වැටහෙන්නේ ඒ බිලිඳා දැඩි පෝෂණ ඌනතාවලින් මෙන්ම උපත් ආබාධවලින්ද පෙළුණු බවත් ප්‍රදේශයේ පවුල් සෞඛ්‍ය සේවිකාව ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලය මේ දරුවා ගැන සොයා බැලූ බවත්ය.

අපි කුඩා කල දුටු “ඉතියෝපියාවේ සාගතයට අසුවුණු පණ ඇති මිනිස් ඇට සැකිලි” සිහිවන දරුවන් අප වාට්ටු තුළ දැක ඇත. එහෙව් බිලිඳුන් දෙදෙනෙක් අප වෙත ගෙන ආවේ උපන් බරට වඩා අඩු බරක් සමඟිනි. මාසයක් පමණ වාට්ටුවේ නවත්වාගෙන වෙදකම් කළ ඒ බිලිඳුන් දෙදෙනාගේ මව සහ පියා මානසික රෝගයකින් පෙළේ. දරුවන් දෙදෙනාට පිටි කිරි හැන්දකට වතුර වැඩි ප්‍රමාණයක් මිශ්‍ර කර පොවා ඇති බවක් කියැවේ. පැහැදිලිවම ඔවුන් හට මේ දරුවන් හරි හැටි බලා කියා ගත නොහැකිය. ඔවුන් දරුවන් වදන නමුත් හරි හැටි හදන්නේ නැත.

ඇතැමෙක් දරුවන් ඔහේ අතැර යති. පරිවාස බාරයට පත්වන එවැනි දරුවන් ළමා නිවාසවල ගාල් වෙන්නේ නොයකුත් අකටයුතුකම් මැදය. මොවුන් රටට සමාජයට බරක් වෙන්නේ ඒ ආකාරයෙනි.

දරුවන් සියලුදෙනා අයිති රජයට බව මා නිතර අසන දෙයකි. මවුපියන් විරුද්ධ වූ විට පවා දරුවාගේ දිවි රැක ගැනීමට අපට ක්‍රියාත්මක විය හැක්කේ එහෙයිනි. එහෙව් රටේ අද ඇසෙන්නේම දරුවන්ට සිදුවන අකටයුතුකම්ය. මේ රට අප ගොඩනැඟිය යුතුම යැයි මට සිතේ. එසේ කළ හැක්කේ ඒ සඳහා වුවමනාව තිබෙන පිරිසකගේ දායකත්වයෙන් මිසක රස්සාවක් අවැසි නිසා පුටු රත්කරන නිලධාරීන් මඟින් නොවේ. රූපවාහිනියේද සමාජ ජාලාවලද අසරණ සරණ ව්‍යාපෘති බොහෝය. එක වේලක් කා ජීවත්වෙන පිරිසද බොහෝය.

පාසල්වල උදෑසනම ක්ලාන්ත වන ළමයින් හට බත් එක දෙන්නට බොහෝ ගුරුවරු පුරුදු වී ඇති බව වත්සලා ගුරු මෑණියෝ ලියා තිබෙනු දුටුවෙමි. බොහෝ පාසල්වල තත්ත්වය එසේය. කුඹුරු වැඩ කාලයේදී දරුවන් පාසල් නොඑන බව තවත් ගුරු මෑණියන් කෙනෙක් ලියා තිබිණ.

උදෑසන රැස්වීමේදී ක්ලාන්ත වී පැමිණෙන බොහෝ දරුවන් පවසන්නේ ඔවුන් උදෑසන ආහාරය නොගන්නා බවය. නිසි පෝෂණයක් නොලබන දරු පරපුරක් මතුවට බෝ නොවන රෝග වැලඳ ඔත්පල වීමේ අවදානමක පවතී. කහට කෝප්පයකින් කුසගින්න නිවා ගන්නා දරුවන් ඒ අතර හමුවේ.

අපි අවාසනාවන්තම මවුපිය යුගයට පැමිණ ඇති බව වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා ඔහු කළ කතාවක කියයි. අපි සිටින්නේ අවාසනාවන්තම පුරවැසි යුගයේ යැයි මම කියමි. රටක් විනාශ වෙන්නට අවැසි බොහෝ දෑ අද අපි දකිමින් සිටින්නෙමු. දරුවන් රටක අනාගතය තීරණය කරන්නාවූ ප්‍රබල සාධකයකි. රටේ දුවා දරුවන්ට ආහාර වේලක් නැතිවෙනවා හෝ අවශ්‍ය ආරක්ෂාව සහ සුව සහන නොලැබෙනවා කියන්නේ ඒ රාජ්‍ය යාන්ත්‍රණයේ අවුලකි. බොහෝ වැඩිහිටියෝ අද ආර්ථික යුද්ධය නමැති පඹගාලෙහි පැටලී සිටිති. පොත්පත්, ඇඳුම් පැලඳුම් යන මේවා සිහිනයක් වූ දුවා දරුවෝ අප රටේ සිටිති. වගකිව යුතු පාලකයිනි, මේ රටේ මිනිසුන් සහනයක් ලබන්නේ කවදා දැයි මම ඔබෙන් අසන්නෙමි.

[වෛද්‍ය බෝධිනී සමරතුංග]

මාතෘකා