තවත් දවසක්

 ඡායාරූපය:

තවත් දවසක්

‘‘කියන දේ තේරෙන්නේ නැද්ද? මම කියලා මොකද කරන්නේ? අපි වැඩ කරන්නේ චක්‍රලේඛවලට අනුව. කරන්න කිසිම දෙයක් නැහැ මට!”

එළියෙන් ඇසුණු ගෝරනාඩුවට මා කාර්යාලයේ කරමින් සිටි වැඩත් මොහොතකට නැවතුණා. මේ සේවා පියසේ රජයේ සේවකයන් වූ අපි පස් දෙනෙක් වැඩ කරනවා - ග්‍රාම නිලධාරී, සමෘද්ධි නිලධාරී, කෘෂි පර්යේෂණ සහකාර නිලධාරී, පවුල් සෞඛ්‍ය නිලධාරිනී සහ සංවර්ධන නිලධාරිනී. මින් කවරෙක් එසේ කතා කළාද කියා මා දන්නේ නැහැ. ඒත් එසේ කථා කරන්න බොහෝ විට හේතු තියෙනවා. මේ දවස්වල අපි හැමෝම කාර්යබහුලයි. හැම දෙනාම ඉන්නේ දරාගත නොහැකි තරම් පීඩනයක. එහෙම වෙලාවට ඇතැම් අය කළ නොහැකි දේ කරන්න කියා අපට බල කරනවා. ඒක කොච්චර සාධාරණද කියලා එයාලාම තමයි තීරණය කරන්න ඕන. රාජකාරිය කොච්චර හොඳට කළත් දේශපාලන හෙංචයියන් නැති ප්‍රශ්න ඇති කරනවා. ඔවුන්ට ඕනෑ දේශපාලනඥයන් ලවා ඔවුන්ගේ පක්ෂයේ පිරිසට සංවර්ධන ව්‍යාපෘති දියත් කරගන්න. ඒවා පොදු කටයුතු නෙවෙයි, ඉතා පෞද්ගලික අවශ්‍යතාවලට රජයේ මුදල් යෙදවීම්. මෙහෙම දේවල් ක්ෂේත්‍ර නිලධාරීන්ගේ කටයුතු අවුල් කරනවා. මොකද ඔවුන් කියන දේ නොකළොත් ඔවුන් අපෙන් දේශපාලන පළිගැනීම් කරන්න හදනවා. එයින් අපි පත් වෙන්නේ ඉතා අසරණ තත්ත්වයකට. මොකද අපිත් රැකියාවෙන් ජීවත් වන පිරිසක් නිසා. අපේ රාජකාරිය ජනතා සේවය තමයි. ඒත් අපට කළ හැකි දේ රාජ්‍ය චක්‍රලේඛවලට යටත්. අපට එක් එක් දේශපාලනඥයන්ගේ ඡන්ද ගොඩ වැඩි කරගන්න උදවු වෙන්න බැහැ.

“මිස් තේ එකක් බොමුද?”

මා පියවි ලොවට ආවේ විනීතාගේ කටහඬින්.

“කවුද විනීතා ඒ ගෝරනාඩු කළේ?”

“අර හැමදාම කරදර කරන කොන්ත්‍රාත්කාරයා. මිස් දන්නවාත් ඇති. පුවක්ගස්දෙණියේ ආණ්ඩුවේ කොන්ත්‍රාත් කරන ජයරත්න. මනුස්සයා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශෙ වැඩ කරන මුණසිංහලාගේ ගෙදරට යන පාර කාපට් කරලා දෙන්නලු.”

සංවර්ධන නිලධාරීන්ට වඩාත්ම කරදර කරන්නේ කොන්ත්‍රාත්කාරයන් බව මා දන්නවා. මමත් ඔවුන්ගෙන් අනන්තවත් බැට කන නිසා.

“ඒ මදිවාට හොරහේනෙ සීතාත් ඇවිල්ලා අයිඩෙන්ටිය හදාගන්න.”

“ඉතින්?”

“උප්පැන්නේ හදාගන්නේ නැතිව අයිඩෙන්ටිය ගන්න බැහැ කියල ග්‍රාමසේවක රාලහාමි කොච්චර කිව්වත් සීතා ඒක හදා ගන්නේ නෑනේ.”

රජයේ කන්තෝරුවලට එන බොහෝ දෙනා හැසිරෙන්නේ සාමාන්‍ය බුද්ධියවත් නැතිවද කියාත් මට වෙලාවකට හිතෙනවා. ඔවුන් බලන්නේ හැම දේම එක තැනකින් ඉක්මනින් කරගන්න. එහෙම කරන අවස්ථාත් ඇති. ඒත් අපේ රාජ්‍ය සේවය පිළිබඳව ඔවුන්ට පූර්ව අවබෝධයකුත් තිබිය යුතුයි.

“මිස්, මම තේ එකක් අරන් එන්නම්.”

විනීතා කන්තෝරු කාමරයෙන් බැහැර වුණේ පරිසරයේ දොම්නස් බව පහ කරන්නදැයි මට සිතුණා. ඇයට රාජකාරි පරිසරය හොඳ මට්ටමින් තබාගැනීම ගැන ඉවෙන් ලත් අවබෝධයක් තියෙනවා. මම පුටුවෙන් නැඟිට ග්‍රාම නිලධාරී මහතාගේ කාමරයට ඔබ්බෙන් ටීපෝවේ වූ පත්තරය අතට අරගෙන නැවත කාමරයට ආවා. පත්තරයේ සිත සසල කරවන පුවත් සිරස්තල කියෙව්වත් එහි පුවත් මුළුමනින් කියවීමට හිත හරි නැති බවක් මට හැඟුණා. මම නැවත ටීපෝව වෙත ගොස් පත්තරය තබා ආපසු ආවා. කාමරයට ආවා විතරයි, එළියෙන් කටහඬක් ඇසුණා. “මිස්, ඇතුළට ආවට කමක් නැද්ද?”

හිස එසවූ විට දුටුවේ විනීතා කියූ සීතා.

“එන්න. ඇවිත් වාඩි වෙන්න.”

සීතා මා ඉදිරියේ වාඩි වූයේ හිතේ තිබූ සාංකාව සඟවාගෙන දෝයි මට සිතුණා.

“මොකෝ සීතා මේ පැත්තේ?”

“අනේ මිස්, මගේ අයිඩෙන්ටිය හදා ගන්නයි ආවේ. මම පොළට යනකොට මගේ පර්ස් එක නැති වුණා. ඒකේ තමයි අයිඩෙන්ටි කාඩ් එක තිබුණේ. මට ඒක හදා ගන්න විදිහක් නැතිවයි ඉන්නේ..... මගේ උප්පැන්නේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා මිස්.”

ඇගේ දෑස කඳුළින් තෙත් වෙමින් බිමට බර වුණා.

“මොකක්ද ප්‍රශ්නෙ? පුළුවන් උදව්වක් මම කරලා දෙන්නම්.” මම ඇයට පැවසුවා.

“මිස්.....” ඇය තෙපරබාන්නට වුණා.

“ඔව්....”

“මිස්.... අපේ ආච්චි අපේ අම්මා පොඩි කාලෙම මැරිලා. අම්මායි, පුංචි අම්මායි දෙන්නා සීයා හොස්ටල් නතර කරලා උගන්නලා තියෙන්නෙ.... අපේ අම්මා තාත්තා එක්ක විවාහ වෙලා තියෙන්නේ හිතුවක්කාරෙට. ඒ දෙන්නා නීතියෙන් විවාහයකට ගිහිනුත් නැහැ. ඒක හින්දා උප්පැන්නේ පියාගේ තීරුව නංගිගෙයි මගෙයි දෙන්නාගෙම ඉරකින් කපලයි තියෙන්නේ. ඒ වුණාට තාත්තාගේ වාසගම අපි පාවිච්චි කරනවා. බැංකුවල, අධ්‍යාපන සහතිකවල හැම දේකම ඒ වාසගම තියෙනවා. ඒත් අයිඩින්ටියට ඒක දාන්න බැහැ කියලා ග්‍රාම සේවක මහත්තයා කියනවා මිස්.”

ඇගේ ගැටලුව මට තේරුණා. මේ මට මෙහෙම කෙනෙකු හමු වූ මුල්ම අවස්ථාව නෙවෙයි. මෙහෙම වෙලාවක රාජ්‍ය නිලධාරීන් විධියට අපට කළ හැක්කේ කුමක්ද? ඇත්ත වශයෙන් නීතියට අනුව මෙහිදී ඇය වෙනුවෙන් කළ හැකි දෙයක් නැහැ. කළ හැකි එකම දේ සීතා අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්වරයා හමුවට යවා උපදෙස් ලබාගන්නැයි කියා සිටීම පමණයි. මොකද ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් කෙරෙන වැඩවලටත් පූර්ව කොන්දේසි තියෙනවා. මම සීතාට කරුණු කාරණා සාවධානව පහදා දුන්නා. ඇය කියා සිටියේ අලුතින් ලැබුණු රැකියාවක් සඳහා ඇයට ඉක්මනින් ජාතික හැඳුනුම්පත ලබාගත යුතු බවයි. රැකියා ස්ථානයට නොපමාව හැඳුනුම්පත ලබාදෙන ලෙස පවසා ඊට ඇතුළු වන ලෙසත් ඒ අතර කාලයේ හැඳුනුම්පත සකසා ගන්නා ලෙසත් මා ඇයට පැහැදිලි කර දුන්නා.

සීතා පිටත්ව ගියේ මුලින් මා ළඟට ආ තරම් සිත් විස්සෝපයෙන් නෙවෙයි. ක්ෂේත්‍ර නිලධාරීනුත් කන්තෝරුවල රාජ්‍ය නිලධාරීනුත් අතර වෙනසත් මෙයදැයි ඇය ඈතට යනු දුටු මට සිතුණා. ඇත්තටම මිනිසුන්ගේ හදවතට අමතමින් ඔවුන්ගේ ප්‍රශ්න නිරාකරණය කිරීමට සහාය වීම අපගේ රාජකාරිවලටත් දිරියක් නොවේද? මම ආපසු ලිපිගොනුවල වැඩ ඇරඹීමට නැඹුරු වෙද්දීම විනීතා තේ බන්දේසිය රැගෙන එනු මට පෙනුණා.

මාතෘකා