සිවුර සහ සෙංකෝලය

 ඡායාරූපය:

සිවුර සහ සෙංකෝලය

නූතන භික්ෂුවගේ ස්වභාවය තේරුම් ගැනීමේදී ඒ හා අනුරූප අගනා සෙන් කතාවක් මතකයට නැඟේ. එක්තරා පන්සලක සිටි නායක හිමිනමක් තම ශිෂ්‍ය හිමියන්ට කතා කොට මල බැඳුණු බාල්දියක් පෙන්වා එහි මලකඩ ඉවත්කොට රැඟෙන එන ලෙස පැවසුවේය. හෝරා කිහිපයකට පසුව ශිෂ්‍ය හිමිනම බාල්දියේ කොක්ක පමණක් රැගෙන යළි පැමිණියේය. "නායක හිමියනි මළකඩ සියල්ල ඉවත් කළ විට ඉතිරි වූයේ මෙය පමණයි." විස්මයට පත්ව සිටි නායක හිමියන්ට ශිෂ්‍ය හිමිනම පැවසුවේය. කනගාටුවෙන් වුව කිව යුත්තේ ලාංකීය භික්ෂුවගේ තත්ත්වයද මෙම මල බැඳුණු බාල්දිය හා සම වන බවයි. කිසිවකු එය සුද්ද කිරීමට උත්සහ කළොත් කොක්කද ඉතිරි වේදැයි සැක සහිතය. තත්ත්වය එබඳු වුවද මෙරට සංඝ සංස්ථාව ඓතිහාසිකව උරුම කොට ගෙන තිබෙන සහජ දේශපාලනික අධිකාරීත්වය නොතකා නොහැරිය හැකි සාධකයකි.

මෙවන් පසුබිමක රට ගමන් ගත යුතු මඟ සඳහා උපකාරී කර ගත යුතු ප්‍රතිපත්ති මාලාවක් සකස් කිරීම සඳහා මෙම දිනවල ජාතික විද්වත් භික්ෂු සභාව මඟින් ගිහි පැවිදි දෙපක්ෂයේ අදහස් ලබාගනිමින් සිටී. උන්වහන්සේලාගේ අපේක්ෂාව වී ඇත්තේ දසරාජ ධර්මය ප්‍රමුඛකොටගත් පාලන ප්‍රතිපත්තියක් අනුගමනය කරන නව පාලකයකු බලයට පත් කර ගැනීමය. මෙය උන්වහන්සේලා මත පැටවූ ඓතිහාසික වගකීමක් බවද මෙහිදී අවධාරණය කෙරිණි. ඒ පිළිබඳ සොයා බැලීමේදී එහි යම් සත්‍යතාවක්ද ඇති අතර එය රජුට සිය අධිකාරී බලය පවරන ලද්දේ සංඝයා විසින් බවට වන ඓතිහාසික සම්ප්‍රදාය මත පිහිටා කළ අවධාරණයක් ලෙසද ගිණිය හැකිය. එනම් දේශපාලන බලය සඳහා ආගමික අනුමැතිය ලැබීමේ සම්ප්‍රදාය අතීතය තුළ පැවති රාජ්‍ය ත්‍රන්තය විසින් පිළිගත් බවට නිශ්ශංක මල්ල‍ගේ උතුරුවාසල අභිලේඛනයේ සඳහන් "අපක්ෂපාතී රජ කෙනෙකු ලබා ගැනීම බුදුවරයෙකු ලබාගැනීම වැනි" යැයි සඳහනින් හා අභයගිරි විහාර අභිලේඛනයේ "මහා සංඝයා විසින් තම පාත්‍ර හා සිවුරු ආරක්ෂා කරවා ගැනීම සඳහා පිරිනමන ලද රාජ්‍යත්වයට පත්වීමෙන් පසු අභිෂේක මංගල උත්සවය පවත්වන දිනයේදී මහා සංඝයාට මෙහෙ කිරීම සඳහා සුදු හිස් වෙළුම ගා ගැනීමට පුරුදුව සිටියහ." යන සඳහනින්ද පැහැදිලි වෙයි.

භික්ෂූන් වහන්සේලා මෙම අධිකාරී බලය පිළිබඳ කෙතරම් අධිනිශ්චයට පත්ව ඇත්ද යත් රාජ්‍යත්වය සංඝයා විසින් පිරිනමන ලද තාවකාලික නිලයක් වශයෙන් සැලකීමේ සම්ප්‍රදාය සහ එය ක්‍රියාවට නැංවීමට යෑමෙන් ඉතිහාසයේ අවස්ථා දෙකකදී මෙරට සමාජය දේශපාලනය අර්බුදයට ගියේය. ඉන් පළමු අවස්ථාව නම් සද්ධාතිස්ස රජු මියයෑමෙන් අනතුරුව ඔහුගේ අනුප්‍රාප්තිකයා වශයෙන් ඔහුගේ වැඩිමහල් පුතා වූ ලඤ්ජතිස්ස වෙනුවට ථුල්ලත්තන බලයට පත් කිරීම සඳහා භික්ෂූන් වහන්සේ කටයුතු කිරීමය. දෙවන අවස්ථාව නම් පළමුවැනි විජයබාහු මිය ගිය මොහොතේ ඔහුගේ ප්‍රතුයා වූ වික්‍රමබාහු වෙනුවට ජයබාහු පත්කිරීමයි. අනතුරුව වික්‍රමබාහුගේ රාජ්‍යත්ව උරුමය සහ අයිතිවාසිකම නොතකා කටයුතු කිරීමට මෙරට භික්ෂූන් වහන්සේලා කටයුතු කළහ. එම ක්‍රියාමාර්ගයෙන් පසුව රටේ ඉතා දීර්ඝ කාලයක් තිස්සේ සමාජ දේශපාලනික වියවුල් සහගත තත්ත්වයක් ඇති විය. ඒ මෙරට සිටි භික්ෂූන් වහන්සේලා රාජ්‍යත්වය උරුමය තීරණය කිරීම සඳහා ස්වයංව පවරාගත් අධිකාරී බලය පිළිබඳ අධිනිශ්චය තත්වයකට පත් වීමේ ඛේදවාචකයයි.

‍මෙලෙස පැවත ආ සංඝ සම්ප්‍රදාය සතු මෙම අධිකාරීත්වය මෑත කාලීනව නැවත වරක් සංකේතීයව ප්‍රකාශයට පත් වූයේ වල්පොල රාහුල, යක්කඩුවේ පඤ්ඤාරාම සහ කිරිවත්තුඩුවේ පඤ්ඤාසාර ආදි හිමිවරුන් විසින් ඉදිරිපත් කළ විද්‍යාලංකාර ප්‍රකාශනය හරහාය. එමඟින් භික්ෂුවගේ නූතන උරුමය වශයෙන් "ආගම දියුණුවට ක්‍රියාකිරීම භික්ෂුවට අයිති යුතුකමක් ලෙස කවුරුත් පිළිගනිති. ආගම දියුණුව පවතින්නේ එය අදහන රටවැසියාගේ දියුණුව උඩම බව පැහැදිලිය. එබැවින් භික්ෂු ජීවිතයට කැළලක් නොවන පරිද්දෙන් අපේ රටවැසියගේ යහපතට හේතු වන යම් වැඩපිළිවෙළක් වේ නම් එහි නම දේශපාලනය හෝ කුමක් හෝ වේවා එහි යෙදීම භික්ෂුන්ට සුදුසුමය" යන අදහස කුළුගැන්විණි.

එහෙත් මෙම ප්‍රකාශනයේ අධිකාරී බලය පිළිබඳ ප්‍රභාව වියැකී යෑමට මත්තෙන් 1947 මැතිවරණයේදී භික්ෂූන් දෙකඩ වූ අතර විශාල පිරිසක් වාමාංශික මතවාදය සමඟ පෙළ ගැසෙද්දී හේනපිටගෙදර ඥානසීහ හිමියන් ඩී. එස්. සේනානායකගේ වේදිකාවට නැඟ ඔහුව අගමැති කිරීම සඳහා කටයුතු කළේය. එලෙස කටයුතු කළේ, ඥානසීහ හිමියන් විසින් යෝජනා කරන ලද රත්නපුර භික්ෂු විද්‍යාලය ඉදිකර දෙන බවට ඩී. එස්. සමඟ පැමිණි එකඟතාවකින් අනතුරුවය. ඔහු තම රැස්වීම්වලදී පෙර රජ කල මෙන් බුද්ධ සාසනය දියුණු කරන බවටද ප්‍රතිඥාවක් ලබාදුන්නේය. හේනපිටගෙදර ඥානසීහ හිමි තම ඉල්ලීම ඉටු කරවා ගැනීම සඳහා, ඩී. එස්. අගමැති වීමෙන් අනතුරුව ඔහුව මුණ ගැසුණේය. නමුත්, "හාමුදුරුවනේ ඔය වැඩේ ආගමික වැඩක්. ආගමික වැඩවලට වියදම් කිරීමට ආණුඩුවට බැහැ. ආණ්ඩුවට ආගමක් නැහැ. බුද්ධං සරණං ගච්ඡාමි කියනවා මිස ආණ්ඩුව සරණං ගච්ඡාමි කියන්නේ නෑ නොවැයි" පවසමින් එම ඉල්ලීම මඟ හැර ගියේය.

ඈත අතීතයේ සිටම මෑත අතීතය දක්වා සංඝ සංස්ථාව මෙලෙස රැවටීමට ලක්විය. උන්වහන්සේලාට කතිකාමය තලයේ පවතින පූර්ණ සංඝ අධිකාරීත්වයක් ගොඩනඟා ගැනීමට නොහැකිව පවතින්නේ සහ මෙලෙස රැවටීමට ලක්වීමට සිදුව තිබෙන්නේ සංස්ථාවක් වශයෙන් එය විවිධ කල්ලි කණ්ඩායම් බවට පත්ව ඇති නිසාය. සැබවින්ම එම කණ්ඩායම් සියල්ලක්ම තමන්ගේ අධිකාරී බලය පිළිබඳ අනවබෝධයෙන් අනුන්ට දිය අඳින මලබැඳුණු බාල්දි බවට පත්වීම පමණක් උරුමය කොටගෙන සිටී. සැබවින්ම නූතන භික්ෂුවගේ උරුමය වී ඇත්තේද එයම බව මැනවින් පෙනෙන කරුණකි.

[දිනේෂ් දේවගේ]

මාතෘකා