බුනින්ගේ පෙම්වතියන්

 ඡායාරූපය:

බුනින්ගේ පෙම්වතියන්

ඉවාන් බුනින් යනු සාහිත්‍යය සඳහා නොබෙල් ත්‍යාගය හිමිකර ගත් ප‍්‍රථම රුසියානු සාහිත්‍යවේදියාය. 19 වැනි සියවසේ රුසියන් ජනතාවගේ සාම්ප්‍රදායික ජන ජීවිතය සහ ඔවුන්ගේ සිතුම් පැතුම් බුනින්ගේ නිර්මාණ ඔස්සේ වඩාත් හොඳින් නිරූපණය විය. සිය රචනා සඳහා ඔහු යොදා ගත් රිද්මානුකූල භාෂා ව්‍යවහාරය රුසියන් සාහිත්‍යයට අලංකාරයක් එක් කළේය.

කුඩා රුසියන් ගම්මානයක් වන යෙල්ට්ස්හිදී 1870 වසරේ ඉවාන් බුනින් උපත ලැබීය. ඔහු අධ්‍යාපනය ලැබුවේද යෙල්ට්ස්හි පාසලකිනි. පාසල් අධ්‍යාපනයෙන් පසුව ලිපිකරුවකු, පුස්තකාලයාධිපතිවරයකු ලෙස විවිධ රැකියාවල නිරත වූ ඔහු 1889 - 1892 අතර කාලයේදි ඔර්ලොව්ස්කායි වෙස්ටිනික් (Orlovsky Vestinik) යන පුවත්පතේ සේවය කළේය. ඒ අතරතුර පුවත්පත්වලට කවි, කෙටි කතා, විචාර ලියුවේය. ඔහුගේ පළමු පොත කවි පොතකි. ස්ටිකවේරේනියා (Stikhotvoreniya) නම් වූ එය 1891දී ප්‍රකාශයට පත් කෙරිණි. රුසියාවේ විවිධ පෙදෙස්වල සංචාරයේ නිරත වෙමින් නිර්මාණකරණයේ යෙදුණු ඔහු අතින් පසු කාලයේ විශිෂ්ට සාහිත්‍ය කෘතීන් රැසක් බිහි විය.

බොහෝ නිර්මාණකරුවන්ගේ මෙන්ම බුනින්ගේ පෞද්ගලික ජීවිතයද සරල රේඛියව ගලා ගිය එකක් නොවීය. ඔහුට සිය ජීවිත කාලය තුළ පෙම්වතියන් හතර දෙනකුගේ ආදරය ලැබුණේය. විවිධ කාලවලදී බුනින්ගේ ජීවිතයට එකතු වූ ඔවුහු මේ ගත්කරුවාගේ ජිවන ලලසාව පුබුදු කළහ.

බුනින්ගේ ප්‍රථම ප්‍රේමය වන්නේ වේවරා පාස්චේන්කෝය. වෛද්‍යවරයකුගේ දියණියක වූ ඇය ඔහු සේවය කළ පුවත්පතේ සෝදුපත් බලන්නියක ලෙස කටයුතු කළාය. වේවරා විවාහ කර ගැනීමට විසි හැවිදිරි වියේ පසුවූ බුනින්ට අවශ්‍ය විය. එහෙත් ඇයගේ පියා මෙම සම්බන්ධයට දැඩි ලෙස විරුද්ධ වූ අතර ඔහුට අවශ්‍ය වූයේ සිය දියණිය ධනවතකුට විවාහ කර දීමටය. විවාහ නොවන නමුත් බිරිඳකගෙන් ඔහුට ඉටුවිය යුතු යුතුකම් කිරීමට වේවරා පොරොන්දු වන අතර ඔවුන් එකට ජිවත් වීමට පටන් ගනී. නමුත් ඔවුන් දෙදෙනාගේ සම්බන්ධතාවය කෙමෙන් කෙමෙන් පිරිහී යයි. පසුව වේවරා බුනින්ගේද සමීපතම මිතුරකු වූ ධනවත් අර්සිනෙයි බේබේකොව් සමඟ විවාහ වෙයි. සිය ප්‍රථම ප්‍රේමය බිඳ වැටීමෙන් පසු ඉවාන් බුනින් දැඩි ලෙස අපේක්ෂාභංගත්වයට පත් විය.

ඉන් ටික කලකට පසු 1898දී බුනින්ට දහ අට හැවිදිරි ග්‍රීක ජාතික රූමත් තරුණියක වන අන්නා ටසාක්නිව මුණගැසෙන අතර කෙටි ඇසුරකින් පසුව ඔවුන් විවාහ වේ. එහෙත් කෙටි කලකින්ම ඔවුන් අතර නොගැලපීම් මතුවන අතර විවාහ වී වසර එකහමාරකින් ඔවුන් වෙන් වී ජිවත් වීමට තිරණය කරයි.

බුනින්ට 1906දී සිය සමීපතම මිතුරකු හා ප්‍රසිද්ධ රුසියන් ලේඛකයකු වන බෝරිස් සයිට්සේව්ගේ නිවසේදී වේරා මියුරොම්ට්සේවාව මුණගැසෙයි. ඉවාන් බුනින් නම් කීර්තිමත් ලේඛකයා දුටු වහාම ඇය ඔහු කෙරෙහි පෙමින් බැඳේ. බුනින් මියයන තෙක්ම ඇය ඔහු අතනොහැර සිටි අතර තම සැමියාට බෙහෙවින් ළෙන්ගතු භාර්යාවක්ද වෙයි. කෙසේ වෙතත් බුනින්ගේ සමීපතමයන් පවසන්නේ වේරා බුනින්ගේ ලලසාත්මක පෙම්වතියක නොවූ බවයි.

මේ දෙදෙනා එකතුව ඊජිප්තුව, සිරියාව, පලස්තීනය, ඇල්ජීරියාව ටියුනිස්, සිලෝන්, කැප්රි යන රටවල්වල සංචාරය කළහ. බුනින් සිය සමකාලීන ලේඛකයින් මෙන් නොවී විප්ලවයට විරුද්ධ විය. ඔහු එය වරක් හැදින්වූයේ “ලේ වැකි උමතුවක්” ලෙසිනි. විප්ලවයෙන් පසු බුනින් හා වේරා ඔඩේසා වෙත ගොස් එහි වසර දෙකක් ජිවත් වෙති. පසුව කොන්ස්තන්තිපෝල් වෙත ගොස් පසුව ප්‍රංශයට සංක්‍රමණය වේ. ඔවුන් ජිවත් වීමට තෝරා ගන්නේ දකුණු ප්‍රංශයේ ග්‍රේස් නම් පෙදෙසයි.

1922දී ඔවුන් නිත්‍යනුකුලව විවාහ වන විට දෙදෙනා දහසය වසරක් එකට ජීවත් වී තිබිණි. වේරා නිරන්තරයෙන්ම බුනින්ගේ සාහිත්‍ය කටයුතු සඳහා උපකාර කරයි.

මේ අතර තරුණ රුසියන් කිවිඳියක වන ගලීනා කූස්නෙට්සෝවා සිය සැමියා සමඟ ග්‍රේස් වෙත පෞද්ගලික සංචාරයක් සඳහා පැමිණෙයි. එහිදී හමුවන බුනින් සමඟ ඇය පෙමින් බැඳේ. බුනින් ඇයට වඩා දෙගුණයක් වැඩිමහල් විය. සුන්දර ගලීනාගේ පෙමට නතු වූ ඔහුට තමාට බිරිඳක් සිටින බවද අමතක වේ. මේ අතර ගලීනා සිය සැමියාව අතහැර බුනින්ගේ නිවසට පැමිණෙයි. ඇයගේ පැමිණීමෙන් කලබල වන වේරාට බුනින් පවසන්නේ ඇය තමන්ගෙන් සාහිත්‍යය ඉගෙනීමට පැමිණි සිසුවියක බවයි. මෙය විශ්වාස කරන වේරා ඇයටද සිය නිවසේ රැඳීමට ඉඩ දෙයි. කලක් ගතවන විට ගලීනා සහ වේරා හොඳ මිතුරියන් බවට පත් වෙයි.

බුනින්ට සාහිත්‍ය වෙනුවෙන් නොබෙල් ත්‍යාගය හිමිවන්නේද මේ දිනවලය. එයින් ලැබුණු මුදලින් ඔහු සිය පෙම්වතියන් දෙදෙනාටම සංග්‍රහ කරයි. මේ ජිවන රටාව දෙදරීමට ලක්වන්නේ ගලීනා බුනින්ගේ දීර්ඝකාලීන මිතුරකු වන ෆියදොර් ස්ටීපන්ගේ සොහොයුරිය වන මාගෝට් ස්ටීපන්ට සමීප වීම නිසාය.

බුනින් පළමුව මෙය හුදු මිතුරුකමක් ලෙස සිතන මුත් එය ඊට එහා ගිය සම්බන්ධයක් බව පසුව ඔහුට වැටහේ. තම පෙම්වතියගේ මේ අමුතු සම්බන්ධතාවය නිසා ශෝකයටත් කෝපයටත් පත්වන බුනින් ඇය සමඟ කලහ කරගන්නට පටන් ගනී. මේ ගැටුම කූටප්‍රාප්තියට පත්වන්නේ මාගෝට්ද ග්‍රේස් වෙත පදිංචියට පැමිණීමෙනි. කෙසේ වෙතත් එම යුවළ නඩත්තු කිරීමටද බුනින් පියවර ගනී. මේ වන විට බුනින්ට නොබෙල් ත්‍යාගයෙන් හිමි වූ මුදල්ද වැය වී තිබූ අතර අගහිඟකම් ඔවුන්ගේ ජීවිත වෙළාගෙන තිබිණි. මේ අතර ගලීනා සහ මාගෝට් එම නිවස හැර යයි. ඒ වන විට ඔවුන් අට වසරක් බුනින්ගේ සෙවනේ ගෙවා තිබිණි.

එහෙත් බුනින්ට කෙදිනකවත් ගලීනාව අමතක කිරීමට හැකි වූයේ නැත. දරිද්‍රතාවයෙන් සහ රෝ දුක්වලින් පිරී තිබූ ඔහුගේ අවසන් කාලය බොහෝ දුක්ඛිත විය. එහෙත් ඔහු අවසන් කාලයේදි ජීවිතය දෙස උපේක්ෂාවෙන් බලන්නට උත්සහ කළ බව ඔහුගේ මෙම කියමනින් පෙනේ.

“දෛවය විසින් ලබා දෙන සතුටත් අහිමි වීමේ වේදනාවත් ඔබ සැබෑවටම විඳින්න ගන්නේ මහලු වියේදීය.”

1953 වසරේදී මේ මහා ලේඛකයා මියගොස් තිබුණේ නින්දේදීම සන්සුන් අයුරිනි. ඔහුගේ මරණින් අට වසරකට පසු වේරා මියගිය අතර ගලීනා ඔහුගේ මරණයෙන් 23 වසරකින් පසු මිය ගියාය. ඔහු සමඟ ගෙවූ මතකයන් ඇසුරින් ඇය ලියූ ‘ග්‍රේස් ඩයරි’ නම් කෘතිය පසු කලෙකදී ‘His wife Diary’ නමින් සිනමාවටද නැගිණි.

මාතෘකා