සභ්‍යත්වයන් අතර ගැටුම වෙනුවට සංවාදයක් ගොඩනඟමු

 ඡායාරූපය:

සභ්‍යත්වයන් අතර ගැටුම වෙනුවට සංවාදයක් ගොඩනඟමු

යටත් විජිතවාදය විසින් ලෝකය පුරා ගැටුම් මත ඉදිරියට යන දේශපාලනයක් ව්‍යාප්ත කෙණෙි. එම දේශපාලනය විසින් අපවාද ගිල ගැනීමේ ප්‍රතිවිපාකය වූයේ වම සහ දකුණ වශයෙන් බෙදුණු සහ ජනවාර්ගිකත්වය අනුගමනය කළ දේශපාලනයක් ඇතිවීමත් ජාතිවාදී ප්‍රචණ්ඩත්වයට සහ ජනරංචු සැහැසිකම්වලට අප සමාජයද වරින් වර ගොදුරු වීමත්ය.

පළමු සහ දෙවන ලෝක යුද්ධවලදී සිදුවූ අති විශාල මනුෂ්‍ය ඝාතන නිසා ‘සාමය’ සහ ‘මානව අයිතිවාසිකම්’ වැදගත් සලකා බැලීම් බවට පත්වූවත් න්‍යාය වාදයන් දෙකක් මුල් කර ගෙන බල කඳවුරු දෙකකට බෙදී පවත්වා ගෙන ගිය ‘සීතල යුද්ධයක්’ ඇති විය. එය විසින් අභ්‍යන්තර ගැටුම් ලොව පුරා ව්‍යාප්ත කළේය. මේ කාලයේදී සීතල යුද්ධයේ ප්‍රධාන සහ කලාපීය බලවතුන් පිටුපසින් සිට මෙහෙයවූ ‘ප්‍රතියුක්ත යුද්ධයකට’ (Proxy War) අපද පැටළුණි. අප බෙදුම්වාදයක් සමඟ යුද වැදී සිටියද ඇත්ත වශයෙන්ම අප පැටලී සිටියේ සීතල යුද්ධ අවශ්‍යතා විසින් බාහිර බලවේග විසින් ප්‍රවර්ධනය කළ අභ්‍යන්තර යුද ගැටුමකටය. සෝවියට් දේශය බිඳ වැටී අමෙරිකානු එක්සත් ජනපදය දුර්වල ආර්ථික බලයක් බවට පත් කරමින් සීතල යුද්ධය අවසන්වීමෙන් පසුව මෙබඳු අභ්‍යන්තර ගැටුම් නිමා කිරීමේ ලෝක ප්‍රයත්නයක් ඇතිවිය.

මේ අතර සමහර බටහිර සමාජ විද්‍යාඥයෝ ලෝක බල අරගලයක් නව ආකාරයකින් ඉදිරියට යෑමේ ඉඩකඩ ගැන ද සොයා බැලූහ. මෙහිදී කැපී පෙනුණු සාකච්ඡාවක් වන්නේ 1996දී අමෙරිකානු දේශපාලන විද්‍යාඥ සැමුවෙල් හන්ටින්ටන් විසින් ඉදිරිපත් කළ සභ්‍යත්වයන් අතර ගැටුම (Clash of Civilization) පිළිබඳ සාකච්ඡාවය. මීළඟ යුගයේදී ප්‍රධාන සභ්‍යත්වයන් අතර ගැටුමක් ලෝකයේ ඇතිවන බවට ප්‍රවාදයක් එහිදී ඔහු විසින් ඉදිරිපත් කරන ලදි.

මෙම ප්‍රවාදය අද ‘නව ජාතිකවාදය’ ප්‍රවර්ධනය කරන බටහිර බලවතුන් විසින් අනුගමනය කරන බවක් පෙනේ. නව ජාතිකවාදය යනු තෝරා ගත් සුළුතර ජන කණ්ඩායම් සහ සංක්‍රමණිකයන් සතුරන් ලෙස හඳුනා ගනිමින් ප්‍රධාන ජාතිකත්වයේ ජාතිකවාදයට ප්‍රමුඛස්ථානය දෙන ජාතිකවාදයක් ජාතික රාජ්‍යය විසින් වැලඳ ගැනීමය. මෙම නව ජාතිකවාදී සංකල්පය දැන් අමෙරිකා එක්සත් ජනපදය, මහා බ්‍රිතාන්‍යය, රුසියාව සහ යුරෝපයේ බොහෝ රටවල දේශපාලනයට ඇතුළු වී ඇත. සභ්‍යත්වයන් අතර ගැටුමක් පවත්වා ගැනීමට උත්සාහ කිරීම එම රටවල ජාතික දේශපාලනයේ මෙන්ම ඔවුන්ගේ සහභාගීත්වයෙන් ජාත්‍යන්තර දේශපාලනයේද දැකිය හැකිය.

පාස්කු ඉරිදා සිදුකළ ත්‍රස්තවාදී ප්‍රහාරයට පසු අපේ දේශපාලන නායකයන්ගේ චර්යාව පෙන්නුම් කරන්නේද ‘සභ්‍යත්වයන් අතර ගැටුම’ අපේ දේශපාලනය තුළද පවත්වාගෙන යෑමට දරන උත්සාහයකි. ඔවුහු ප්‍රධාන ජාතිකත්වයේ ජාතිකවාදයට සුළුතර ජනකොටස් යටත් කිරීමට ලැබී තිබෙන අවස්ථාවක් ලෙස මෙම අර්බුදය යොදා ගන්නට උත්සාහ කරති. ඇති වී තිබෙන අවිනිශ්චිත පරිසරය තුළ දුර්වල පාර්ශ්වය වන මුස්ලිම් ප්‍රජාව බිය ගන්වමින් ඔවුන් මත තමන්ගේ බලය පැටවීමට සමහර නායකයන් ක්‍රියා කරනු දැකිය හැකිය. මේ මඟින් සිංහල සමාජයේ ජාතිකවාදී මානසිකත්වය තමන් වෙත දිනා ගැනීම සඳහා තරගයක්ද ඇතිවී තිබේ. මෙම දේශපාලනය දෙස බලන විට පෙනෙන්නේ ජාතික සංවේදනය ඇවිස්සෙන කණ්ඩායම්වාදය උත්සන්න කිරීමට ඔවුන්ට අවශ්‍යව තිබෙන බවය.

අපට පෙන්වා දීමට තිබෙන්නේ රටක් ඉදිරියට යන්නේ සමාජයේ තිබෙන ආගම් සහ සංස්කෘතික සභ්‍යත්වයන් අතර ගැටුම් තුළින් නොවන බවය. මිනිසුන් අතර පවතින ආර්ථික අසමානතා වෙනස් කිරීමට පුළුවන්කමක් තිබුණත් ඔවුන්ගේ සංස්කෘතික අනන්‍යතාවන් එසේ වෙනස් කළ නොහැකිය.එම නිසා සභ්‍යත්වයන් මුල් කරගෙන ගැටුම් ඇති කිරීමෙන් සිදුවන්නේ පුළුල් පුරවැසි සමාජය තුළ භේද භින්නතා ඇති වී දිග්ගැසෙන ගැටුම් ඇති වීමය.

අන්තවාදී ලෙස කල්පනා කරන මූලධර්මවාදී කණ්ඩායම් සෑම සභ්‍යත්වයක් තුළම පැන නැඟීමට පුළුවන. එවිට ඒවාට මුහුණ දිය යුත්තේ ඉතා ප්‍රවේශමිනි. එම කණ්ඩායම අයත්වන සභ්‍යත්වයට අයත් සියලු දෙනා එහි වගඋත්තරකරුවන් බවට පත් කිරීමට උත්සාහ නොකළ යුතුය. එයින් සිදුවන්නේ එම සමාජය තමන්ගේ ග්‍රහණයට ගැනීමට අන්තවාදයට ඉඩ ලැබීමය. එබඳු අන්තවාදයන්ට සාර්ථකව මුහුණ දිය යුත්තේ ඔවුන් අයත්වන සභ්‍යත්වයේ අන්තවාදී නොවන සාමාජිකයන්ගේ සහයෝගයද ලබා ගැනීමෙනි.

මෙයින් අදහස් කරන්නේ අන්තවාදයන් යොදා ගෙන සභ්‍යත්වයන් අතර ගැටුම් උත්සන්න කිරීම නොකළ යුතු බවය. අවශ්‍ය වන්නේ සභ්‍යත්වයන් සමගත් ඒවා අතරත් සාමකාමී සංවාදයක් ගොඩනැඟීමය. ඒ තුළින් විවිධ සංස්කෘතීන්ට සහයෝගයෙන් පොදු සමාජය තුළ ජීවත්වීමට අවශ්‍යවන සමාජ සම්මුතියක් නිර්මාණය කිරීමට උත්සාහ කිරීමය. ශ්‍රී ලාංකේය ජාතිය ජාතිය ගොඩනැඟීමේ ක්‍රියාදාමය යනුවෙන් අදහස් කරන්නේ එයයි.

අපට කියන්නට තිබෙන්නේ ආගම් සහ ජාතිකත්වයන් විසින් නියෝජනය කරන සභ්‍යත්වයන් අතර ගැටුම වෙනුවට ඒවා අතර සංවාදය තෝරා ගැනීමට කාලය එළඹ ඇති බවය. නිදහසින් පසු යුගයේ අපේ රටේ ඇතිවූ සභ්‍යත්ව අතර ගැටුම් අපට කියා දෙන පාඩම එයයි. සභ්‍යත්වයන් අතර නිර්මාණශීලී සංවාදයක් ඇති කර ගැනීමත් එය සාමකාමී ලෙස කළමනාකරණය කර ගැනීමත් අප ඉදිරියේ තිබෙන අභියෝගය බව ආගමික, දේශපාලන හා පරිපාලන නායකයන් මෙන්ම සෑම පුරවැසියකු විසින්ම වටහා ගත යුතුය.

මාතෘකා