ජීවිතේ පහසු කරන සැලසුම්

 ඡායාරූපය:

ජීවිතේ පහසු කරන සැලසුම්

ජීවිතය පහසුවෙන් සහ අර්ථවත්ව ගත කිරීමට වගේම කුඩා සහ විශාල ඉලක්ක ජයගැනීමට පහසු ක්‍රමයක් ලෙස මම පොතක් (Journal) පවත්වාගෙන යනවා. අද මම කියන්නේ ඒ ගැනයි. මම හිතනවා මෙය බොහෝ දෙනකුට ප්‍රයෝජනවත් වේවි කියා. හැම අවුරුද්දකම මුල මම අදාළ අවුරුද්ද සඳහා ඒ විදිහට Journal එක සකස් කරගන්නවා. ඒ පොත පහත ආකාරයෙන් කොටස්වලට බෙදලයි තියෙන්නේ.

Wish list - සපුරා ගත යුතු දේ

මේ අවුරුද්ද තුළදී සපුරා ගත යුතු ඉලක්ක, කරන්න හිතාගෙන ඉන්න දේවල්, ගෙදරට හෝ අපි වෙනුවෙන් වෙනම අලුතින් මිලදී ගත යුතු භාණ්ඩ ආදී සියලු දේවල් මේ කොටසේ ලැයිස්තු ගතකර තිබෙනවා.

Good things happened - අපට සිදුවූ සහ අප විසින් සිදුකළ යහපත් සහ සුබවාදී දේවල්

මේ අවුරුද්ද පුරා අපට සිදුවූ සහ අප විසින් සිදු කළ වඩා වැදගත් සහ සුබවාදී සිදුවීම් සියල්ල ඒ දවස අවසානයේ ඒ අදාළ කොටසේ ලියා තබනවා.

Books to read - මා විසින් කියවිය යුතු පොත්

මේ අවුරුද්ද තුළ කියවිය යුතු පොත් ගැන ලියන්නේ මේ කොටසේ. කවුරුහරි කිසියම් පොතක් හොඳ යැයි නිර්දේශ කළොත් මං ඒ පොතේ නම සහ කතෘ මේ ලැයිස්තුවට ලියා තබනවා. එවිට අවුරුද්ද පුරා පොත් මිලදී ගන්නා විට ප්‍රමුඛතාව දෙන්නේ ඒ ලැයිස්තුවටයි.

Books that I have read - මා කියවූ පොත්

පොතක් කියවා ඉවරවූ සැණින් ඒ පොතේ නමත් කතුවරයාගේ නමත් මේ කොටසේ සඳහන් කර ගන්නවා.

Films to watch - නැරඹිය යුතු චිත්‍රපට

හොඳ යැයි සම්මත සහ නිර්දේශ කරන චිත්‍රපට නරඹන නිසා ඒවා මේ කොටසේ ලියා තබනවා. අවශ්‍ය වෙලාවට ඒවා භාගත කරගෙන විවේක තිබෙන වේලාවට නරඹනවා.

මම මේ Journal එක වඩා සංකීර්ණ කරගෙන නැහැ. ඒ නිසා ඒක දිගටම පවත්වා ගෙන යෑම අසීරු හෝ සංකීර්ණ නැහැ. ජීවිතේ එදිනෙදා වැඩ අතරම මෙයත් කරගෙන යන නිසා මේ Journal ලිවීම මනසට කරදරයක් කරගන්නේ නැතුව එය විනෝදයක් විදියට කරගෙන යන්න පුරුදු වෙලා ඉන්නවා. එයින් එක්තරා විනෝදයක් වගේම වසරේ ඉලක්කයන්ද පහසුවෙන් සපුරා ගන්න පුළුවන්කම ලැබී තිබෙනවා.

ගොඩක් දෙනා අවුරුද්ද මුලදී නොයෙක් නොයෙක් අරමුණු සහ ඉලක්ක ගැන සිතුවත් මාස කිහිපයක් යන විට ඒවා අමතක කර දමන්නේ ජීවිතේට එන නොයෙක් බාධා, කරදර සහ ප්‍රශ්න නිසයි. නමුත් මගේ අත්දැකීම අනුව නම් මෙවැනි Wish List එකක් ලිවීම මඟින් අඩු තරමේ තමන්ගේ අරමුණු සහ ඉලක්කවලින් සියයට 50ක්වත් සපුරා ගැනීමේ හැකියාව ලැබෙනවා. ඒ වගේම Wish List එකේ යම්කිසි දෙයක් ඉටු කරගත් සැණින් ලැයිස්තුවේ අදාළ ස්ථානයෙන් එය කපා දමනවා. එවිට ඒ දේ සපුරාගැනීම ගැන පුදුමාකාර සතුටක් සැනසීමක් හිතට දැනෙනවා.

අපි නිතර අහලා තියෙන කියමනක් තියනවා “count your blessings” කියලා. ඒ කියන්නේ තමන්ට සිදුවූ යහපත් දේවල් ගණන් කරන්න කියා. ඒත් ඇත්තටම බොහෝ අය කරන්නේ තමන්ට සිදුවූ යහපත් දේවල් නොව සිදුවූ අයහපත් දේවල් ගැන කියමින් නිතර නිතර මැසිවිලි නැඟීමයි. එයට විකල්පයක් විදිහටයි මම මගේ Journal එකේ “Good things happened - අපට සිදුවූ සහ අප විසින් සිදු කළ යහපත් සහ සුබවාදී දේවල්” කියලා කොටසක් ඇතුළු කළේ. ඇත්තටම මෙවැනි දෙයක් ඔබත් ලියන්න ගත්තොත් වැටහේවි ජීවිතේ අපට වෙන අයහපත් දේවල්වලට වඩා සෑහෙන්න වැඩි ප්‍රමාණයක් සහ අවස්ථාවන් තිබෙන්නේ යහපත් සහ සුබවාදී දේවල් බව.

ඒ වගේම Journal එකක් හදාගත්තට වැඩක් නැහැ එය පවත්වාගෙන යන්නේ නැත්නම්. ඒ කියන්නේ එහි ලියා තිබෙන ඉලක්ක, අරමුණු ගැන බලන්නේ නැත්නම් සහ ලියන්න ඕන දේවල් නිතර නිතර එහි සටහන් කරන්නේ නැත්නම්. ඒ නිසා තමන්ට පහසු විදිහට computer ඒකේ හරි phone එකේ හරි තමන්ගේ Journal එක පවත්වාගෙන යන්න පුළුවන්. මගේ ක්‍රමය පොතක්. මොකද එය මට ලේසි විදිහ නිසයි.

මේ Journal එක තමන්ගේ ඇස් මානයේ තියාගන්න තරමට හොදයි. මම මගේ Journal එක තියාගෙන ඉන්නේ මම වැඩ කරන මේසේ උඩයි. තමන්ගේ පහසුව තකා තමන්ගේ ඇඳ ළඟ, hand bag එකේ, laptop bag එකේ වගේ ඕන තැනක තියා ගන්න. ඒ වගේම නිතර නිතර එය පාවිච්චියට ගන්න. යාවත්කාලීන කරන්න. මෙය තමන්ගේ පෞද්ගලික දෙයක් නිසා අනික් අයට පෙන්නන්න අවශ්‍ය නැහැ. මම කිව්වේ බිරිඳ - ස්වාමියා ගැන නෙවෙයි පිටස්තර අයට. මොකද තමන්ගේ සහ තමන්ගේ පවුලේ ඉලක්ක සහ අරමුණු, රුචි අරුචිකම් බොහොම පෞද්ගලික ඒවා නිසා.

දැන් Journal එකක් ලියන්නේ නැති අය ඊළඟ අවුරුද්ද

උදා වෙනකම් ඉන්න ඕන නැහැ මේක පටන් ගන්න. මේ අවුරුද්දේ තව මාස 6ක් ඉතිරිවෙලා තියන එකේ ඒ මාස 6ට සරිලන විදිහට Journal එකක් ලියන්න පටන් ගන්න පුළුවන්. “Late is better than never- ප්‍රමාද වෙලා හරි කරන එක හොඳයි නොකර ඉන්නවට වඩා” කියලා කියනවනේ. ඒ නිසා ඔබත් උත්සාහ කරන්න.

වෘත්තීය පුහුණු උපදේශිකා [ගංගා නානායක්කාර]

 

මාතෘකා