පැණි පට්ටෙකුත් ඇන්න වර

 ඡායාරූපය:

පැණි පට්ටෙකුත් ඇන්න වර

කිතුල් පිටි පොදියක් තිබිලා උදැහැනැක්කෙම ඒක පතු ගා ගත්තා පොල් කිරිත් එක්කාසු කරලා. කරඳමුංගු කුඩු ඩිංගිත්තකුයි මුද්දරප්පලම් ටිකකුයි දාලා කිතුල් පැණිත් එක්කාසු කරලා ගත්තම මොන වාගෙ තලපයක්ද කියලා කොහොමට කියන්ඩද? අපිට ඉතිං ගෝල්ඩන් සිරප් හරි මේපල් සිරප් හරි නැතුවට ඇති කාරියක් නැහැ පදමට උණු කරාපු කිතුල් පැණි තියෙනවා නම්.

ඉස්සර නම් තිබ්බෙ කිතුල් පැණි පට්ට නැත්තං පැණි මුල්. එව්වා හැඩෙන් ලබු ගෙඩි පොඩි වාගේ. පුවක් කොළ පත්වල පැණි දාලා උණ්ඩි වෙන්ඩ ගෙඩියක් වෙන්නැහේ බැඳලා. තාම කටුවන පැත්තෙ එහෙම කරක් ගැහුවොත් ඔයාකාර පැණි මුල් ඇහැ ගැටෙන්ඩ ඉඩ තියෙනවා. පුවක් කොළ පොතේ හීන් සිදුරු තියෙන හින්දා කාලයක් යද්දි පැණි මුලේ ඩිංගිත්තන් හකුරු කැට උපදින්ඩත් පුළුවන්. ඔයි සිංහරාජ අඩවියේ වාගෙම, මහ සිරිපාද හිමෙත් අද්දර ගම්වල ඇත්තො පැණි කරුමාන්තෙ කරනවා බඩ රස්සාවට.

මං උපන්න ඌවේ පැණි රස්සාවට නම ගිය පළාත තමයි මස්පන්න- බඹරපාන ගම්. එව්වයෙ හිටිය පුරාණ මිනිස්සු මහනුවර රජ්ජුරුවන්ට සුදු හකුරුත් හැදුව කියනවානෙ. හකුරු සුදු කරන්ඩ අන්නාසි කොළ ඉස්මත් යොදා ගත්ත කියලා මට කිව්වෙත් බඹරපානෙ ඇත්තෙක්. එහේදි තමයි මං කෑවෙ අතට ගත්තම දියවෙලා වැක්කෙරෙන තරමට ළපටි කිතුල් හකුරු. ඉතිං ඉස්සර කාලෙ පැණි මුල් ගෙනැව්වම එල්ලලා තිබ්බෙ දුමේ කණුවක. වෙන එහෙ මෙහෙ හංගන්ඩත් බෑ ඕක මීයො කපලා පැණි බොන්ඩ ඉඩ තියෙනවා නෙව. දැන් අපිට පැණි කිව්වම මතක් වෙන්නෙ කිරි කෑම විතරක් වුණාට ඒ කාලෙ කොයියම්ම වුණත් රස කැවිල්ලක් හදන්ඩ ගත්තෙ සීනි නෙවෙයි කිතුල් පැණි. කැවුම් හදද්දි, හැලප හදද්දි විතරක් නෙවෙයි බත් පිටිවලින් හරි ඉරුං පිටිවලින් හරි අග්ගලා හදද්දිත් කිතුල් පැණි දාපු අපේ ගම්වල මිනිස්සු බැදපු කොස් ඇට වණේ දාලා කොටලා හදපු අග්ගලාවලටත් කිතුල් පැණි එක්කහු කෙරුවා. කැවුම් හදලා පැණි මුට්ටියක පොගන්ඩ දාලා තිබ්බම ඕං පැණි කැවුම්. බාගෙදා ප්‍රතිකාල්ලුන්ටත් දෙන්ඩ ඇත්තෙ ඔය වාගෙ හදාපු පැණි කැවුම් වෙන්ඩ ඇති.

මටත් ඔයි වාරෙ අවාරෙ ගියපු ගමන්වලදි පැණිත් එක්ක කන්ඩ හම්බු වෙච්චි කෑම ජාතිත් හුඟයි. පාන්, රොටී, කිරිබත්, පිට්ටු විතරක් නම් මදැයි ගලබැද්දෙදි මඤ්ඤොක්කා තම්බලා කන්ඩ දුන්නෙත් පුසුඹ ඉවසන්ඩ බැරි තරම් කදිම කිතුල් පැණිත් එක්ක වෙච්ච කොට. අනේ මෙහෙම ලියද්දි මතකෙට එනවා බණ්ඩාරෙත් එක්ක අපි කොල්ලො නඩයක් පීල්ලෙ කැලේ බඹර වදයක් කපාලා ඒ පැණිවල පොඟවලා පාන් කාපු හැටි. ඉස්සර පානුත් රහයි. ඒවා හදපු දර පෝරණුව අයිති වැවතැන්නෙ බක්කරේ උන්නැහැට. දැන් උන්දැලා මැරිලා පෝරණුත් වැහිලා. ඒත් අපේ මතක තාම පණ ගැහෙනවා. අල්ලට පැණි ඩිංගක් වක්කොරගෙන ඒක ලෙව කකා තේ කහට බීපු මතකත් මේ විසිතුරු අස්සෙ හීනියට හිනා වෙනවා.

ආව කාරිය වෙන එකක් වුණාට පැණි ගැන කතාව අහක තියලා දුවන්ඩ හිතුණෙ නැතුං හින්දාම තල් පැණි ගැනත් ඩිංගිත්තක් හරි කියන්ඩ ඕන. මං කාලෙකට ඉස්සර ගියා යාපනෙන් එපිට පණ්ඩිත්තිරිප්පුවට. එයි දේසේ මිනිස්සු පැණි කරුමාන්තෙට උපන් හපන්නු. මෙ ගංවල වාගෙම කුලය තමයි බඩ රස්සාවෙ උරුම තීන්දුව දෙන්නෙ. ඉතිං තල් තෙලිදිය වෑහෙන මුට්ටියේ අඩි පල්ලෙ හුණු ඩිංගක් තියනවා එව්වා පැහිලා රා වෙන එක වළක්කගන්ඩ. එහෙම බාන තෙලිදිය උණු කරලා තමයි පැණි හදාගන්නෙ. තෙලිදිය බෝතල තුන හතරක් උණු කෙරුවම පැණි බෝතලයක් උපය ගන්ඩ පුළුවන්. පැණි බෝතල තුන හමාරක්වත් වුවමනයි හකුරු කිලෝ එකක් තනා ගන්ඩ. කිතුල් කරුමාන්තෙදිත් අනුපාතෙ ඔය වාගෙ එකක් මයෙ හිතේ. ඉතිං මක්කටද ඉවිලි ගැන ලියද්දි පැණි ගැන කතාවක්. එහෙම හිතන්ඩ ඕන නෑ ආයුබෝවන්ඩ. අර තලප ඉවිල්ල හින්දා පැණි ගැන කියන්ඩම වුණා. අනික අපේ ඉවිලි ගැන කතා දමද්දි පැණි පැත්තකින් තියන්ඩ බෑ. හීන් හැරේ කියන්නම් පැණි දාලා මසුත් උයාපු අපේ ඉතිහාසෙ ගැනත්. මං වංගියක් කිව්වෙ හකුරු එක්කහු කරලා ඌරු මස උයාපු වග.

ඇත්තටම අද කියන්ඩ හිටියෙ රොටි ගෙඩි ගැන. පැණිත් එක්කත් කන රොටී දැන්නෙ තිරිඟු පිටියෙන් තනන්නෙ. හැබැයි මං හිතන්නෙ පොල් දාලා හදන රොටී තියෙන්නෙ අපේ රටෙයි බාගෙදා කේරල දේසෙයි විතරක් වෙන්ඩෑ. ඉස්සර ඉතිං තිරිඟු පිටි කොහෙන් හොයන්ඩ කියලයෑ. කුරක්කන් පිටි, හාල් පිටි, ඉරුං පිටි, හල් පිටි, මඩු පිටි වගේ ජාති තිබ්බා රොටී පුලුස්සගෙන කන්ඩ. හැබැයි මේ හැම වරිගෙකම රොටී කබලෙදි කැඩෙන්ඩ තියෙන ඉඩ වැඩියි. ඒ හින්දා සීරුවට තුනී කරගත්තෙ කැන්ද කොළයක, කෙහෙල් කොළයක නැත්තං අඩු ගාණෙ හල්මිල්ල කොළයක උඩිස්සෙ. රොටී කනවනම් අඹුවට නැන්දම්මා වගෙ ලුණුමිරිස සැරට තියෙන්ඩම ඕනෑ. එහෙ මෙහෙ යද්දි මං දකිනවා ගලේ රොටී කියලා ලියලා තියෙන බෝඩ් ලෑලි. එව්වයෙ තියෙන්නෙ ළිපක් උඩ බාවපු ගල් පතුරක පුලුස්සන රොටී. හේන්රැකිල්ලෙ දඩයම් පැදිල්ලෙ කාපු ගලේ රොටී එයිට වෙනස්. ඒකෙදි කෙරුවෙ ගල උඩ ගින්දර මැලේ ගහලා පැලෙන්ඩ රත්වුණාම බෝලත්තෙන් ගල අතු ගාලා වඩාගෙන හිටපු රොටී උඩ අතුරාලා පුච්ච ගත්ත එක. හා ආයෙ වංගියක් එඤ්ඤං ඉතුරු හරිය කියන්ඩ.

[ලසන්ත ද සිල්වා]

මාතෘකා