රාමු බිඳිය යුතුය ...

 ඡායාරූපය:

රාමු බිඳිය යුතුය ...

“ලෝකය වනාහී දාං ලෑල්ලක් වන්නේය. ඉත්තන් වනාහි අපගේ දෛනික ජීවිතයේ හැසිරීම් වන්නේය. ක්‍රීඩාවේ රීති වනාහී අප ස්වභාව ධර්මයේ නීති යනුවෙන් හඳුන්වනු ලබන දේය. අනිත් පැත්තේ සිටින ක්‍රීඩකයා අපට නොපෙනී සැඟවී සිටින්නේය. නමුත් ඔහු සාධාරණව යුක්ති සහගතව, එමෙන්ම ඉවසීමෙන් ක්‍රීඩා කරන බව අපි දන්නෙමු.” පවුලෝ කොයියෝ ආලෝකයේ රණකාමියාගේ අත්පොතෙහි හක්ස්ලිගේ වදන් උපුටා දක්වන්නේ එලෙසින්ය. සැබවින්ම ජීවත්වීම යනු ක්‍රීඩාවකි. සැඟවී සිටින ක්‍රීඩකයා සැමවිටම මනා අධ්‍යනයකින් යුතුව ජයග්‍රාහකයාගේ ගමන වැළැක්වීමට උත්සාහ දරයි. එහෙත් සංග්‍රාම ජයගන්නෝ සැමවිටම අනෙකාගේ නොපෙනෙන සැලසුම් පිළිබඳ සාවධානයෙන් සිටිති. දාං ලෑල්ලක් මත තම ඉත්තන් පාර සාදාගන්නේ යම් ප්‍රමාණයක කැපකිරීම් මතය. එය ප්‍රදානය කරන්නේම ලබාගැනීමේ චේතනාවන් මතය.

සෑම දිනක්ම අලුත් සංග්‍රාමයක් දොරට තට්ටු කරමින් උදා වෙයි. එය අභියෝගාත්මකය. යමකු තමාට වාසි සහගත ලෙස ලබා ගැනීමට හෝ යමක් තමාට වාසි සහගත ලෙස දීමට හෝ සැවොම පොරකති. එකෙක් යමක් ලබාගැනීමටද තවකෙක් එය ලබාගැනීම වැළැක්වීමටද කැපවීමෙන් කටයුතු කරයි. ඔවුන්ගේ අපේක්ෂාව ලාභ ලැබීමේ අරමුණින් කුමක් හෝ සිදු කිරීමයි. ලෝකයේ කිසිවකු සැමවිටම නිවැරදි නොවෙයි. බොහෝ දෙනෙක් ගමන් කරන්නේ තමාගේ නොවන කිසිවෙක් විසින් නිර්ණය කරන ලද මාර්ගයකය. අපට අයිති යැයි සිතූ සැම දෙයක්ම අහිමිවීම හෝ පරාජය වීමේ නිමේෂය දුක්බර වුවද එම මොහොත ගෙවී ගතවෙන සෑම නිමේෂයකම මිනිසා ඔහු තුළ සැඟවුණු ශක්තිය සොයා ගැනීම අරඹයි. එය සොයාගත්තෝ තවකකු මවිතයට පත් කරමින් තම ආත්ම ගෞරවය වඩවා ගන්නා අතරම පරාජයට පත්වූවෝ ජයග්‍රාහකයන්ගේ අවමන් බස් අසමින් ළතවෙති.

මිනිසා වැඩිපුරම සවන් දිය යුත්තේ තම හෘද ස්පන්දනයටය. එහෙත් ඔහු නොකරන්නේද එයමය. සමාජයේ නොරිස්සුම්සහගත සිදුවීම් කොතෙක් තිබුණද තම හෘද ස්පන්දනයට සවන්දෙන්නෝ ජීවිතයේ අභියෝග ජය ගනිති. ඔවුහු තම රාමුන් තුළට සිදුවීම් අන්තර්ගත කරමින් යථාර්ථය අවබෝධ කර ගනිති.

මිනිසා තම ඉන්ද්‍රියන් මඟින් බාහිර ලෝකය හා සබැඳි විවිධ සිදුවීම්, විෂයයන් සහ වස්තු පිළිබඳ සංවේදනා ලබා ගනියි. එහෙත් අප ඒවා මනස තුළට කාවද්දා ගන්නේ එකිනෙකාට වෙනස් අයුරිනි. මන්දයත් මිනිසා තම මනස විවිධ ආකෘති සහ අච්චුවලට අනුව හැඩ ගසාගෙන තිබේ. කුඩා කල සිට එකිනෙකා දැන උගත් ආකාරය, වැඩිහිටි දෙමාපිය ආගමික ඇසුර, අධ්‍යාපන රටාව, රටෙහි දේශපාලන ස්වභාවය සහ එහි සංස්කෘතිය ආදිය මඟින් ඇති කරන මතවාද මිනිස් මනස කෙරෙහි විවිධ දෘෂ්ටීන් ඇති කරයි. මිනිසා මුහුකුරායත්ම එම දෘෂ්ටිවාදයන් මඟින් මිනිස් චින්තනය මෙහෙයවන තත්ත්වයට පත් වේ. එනිසා මිනිසා සත්‍ය දකින්නේ තම තමන්ට නිර්මාණය කර දුන් ආකෘති සහ අච්චුවලට දමාගෙනය. පරම සත්‍ය කුමක් වුවද තම තමා හුරු වූ හැඩගැසීම් අනුව මනසට ග්‍රහණය කරගනී. දීර්ඝ කාලයක් නිදහස් චින්තනයක් නොමැති කුමන ජන සමාජයක් වුවද මෙම හැඩගසාලීමේ බලහත්කාරයට යටත් වෙයි. එහෙත් එසේවූ කිසිවකු තමන් අච්චුවක සිරවී ගොඩනැඟී ඇති බව නොදනියි.

සමාජයේ ඇති ඇත්ත අප මනසට අයත් ආකෘති සහ අච්චු අනුව හැඩ ගස්සවා ගැනීමෙන් අපට ලැබෙන්නේ සත්‍යයේ විකෘතියකි. දැනුම අප ලබාගන්නේ මෙවැනි සැකැස්මකට අනුවය. කාන්ට්ගේ දර්ශනය අනුව “අප අවට දකින ප්‍රපංචයන්ගේ යථාතත්ත්වය තේරුම් ගැනීම වනාහී හුදෙක් අපට සිදුවන දෙය පිළිබඳව තත්වාකාරයෙන් අවබෝධ කරගැනීමකි.” එහෙත් එය මිනිසා විසින් අවබෝධ කරගත යුතු නම් ඔහු විසින්ම කාලාන්තරයක් නිර්මාණය කරගත් අච්චු තමා විසින්ම ඉවත හැලිය යුතුය. නැතහොත් කුමන සිදුවීම සිදුවුණද එය විශ්ලේෂණය වන්නේ තම අච්චුවට අනුවය. සිද්ධිය කුමක් වුවද විශ්ලේෂිත ප්‍රතිඵලය අච්චුවට අනුව ඒකාකාරීව බිහිවෙයි. එවන් පොදු ලක්ෂණ සහිත සෑම මානවයකුම සිතන්නේ අන් සිතුවිල්ලට වඩා තමන් නිවැරදි බවය. දිනපතා අප ලබන්නේ ජීවත් වීම පිණිස පළපුරුද්දකි. එය බොහෝවිට බාහිරයෙන් හුරු පුරුදු නිශ්චිත දෙයක් සංවේදනය කර අභ්‍යන්තර අච්චුවලට දමා තම රාමුවට අනුව අවශෝෂණය කර ඉන් බුද්ධිමය චින්තනයක් ලබා පුරුදු මතවාද යළි සමාජගත කිරීමකි. එය සමාජීය මත වෙනුවෙන් නිෂ්පාදනයක් වුවද නිෂ්පාදනය වන්නේ ජීවිත කාලය පුරා කවුරුන් හෝ සැකසූ තමාගේ රාමුවෙනි.

එකෙනෙකාගේ මතවාදයන් ගොඩනැඟෙන්නේ අවබෝධය, විශ්වාසය සහ ආකල්ප මතය. එය නිශ්චිත යමක් සමාජය තුළ ගොඩනංවයි. යම් මතවාදයක් යනු සමස්ත සමාජයටම බලපෑම් ඇති කිරීමේ සාධකයකි. එය බලපෑමක් වන්නේ සමාජයේ සක්‍රිය පිරිස් එය පිළිගැනීමෙනි.

මිනිසා වෙනස් කටයුතුවල යෙදුණත් ඔවුන් කොතන කුමක් හෝ එකම වේදිකාවකට ගොඩවෙති. යමකු කියන හා දනවන්නට උත්සාහ කරන කතාවට වඩා මිනිසා ඔහු සතු සහජ ඥානය භාවිතා කළයුතු කාලය එළැඹ තිබේ. අප එකිනෙකා නොදන්නවා වුවද එහි ඇත්තේ මිතුදමකි .තමන් දකින කෝණය අනුව පෙනීමේ රටාවද එහි හැඩයද වෙනස්ය. ඒ සඳහා ඔබ සුදුසු කෝණය සොයා ගත යුතුය. අප සියලුදෙනා රාමු සහ අච්චුවලින් මිදිය යුතු කාලය එළැඹ තිබේ. ගෞරවාන්විත බව මෙහිලා අතිශය වැදගත්ය. ඒ සඳහා ඔබ සාධාරණව, යුක්ති සහගතව මෙන්ම ඉවසීමෙන් ක්‍රීඩා කළ යුතුය.

මාතෘකා