සාරි පොටේ පැටලීම!

 ඡායාරූපය:

සාරි පොටේ පැටලීම!

ගැහැනුන්ගේ ඇඳුම් ගැන අද වෙන කවදාටත් වඩා කතාබහක් ඇති වී තිබේ. බුර්කාව තහනම් කිරීමෙන් නොනැවතී හිජාබය සහ අබායා (හබායා) ඇඳුම නොඇඳ ඉන්නට ඇතැම් තැන්වලදී මුස්ලිම් ගැහැනුන්ට බල කෙරුණු අවස්ථාද ඉන්පසු රජයේ සේවයට සාරිය ඔසරිය අනිවාර්ය කරන චක්‍රලේඛයක් නිකුත් වී, ඉන්පසු එය හකුළා ගැනීමද පසුගිය දිනවල මාධ්‍යවල ජනප්‍රිය මාතෘකා බවට පත් විය.

සාරිය ගැන කතා කරන විට මගේ දිවි දියවැල් අතරින් මතුවන මතකයන් කිහිපයක් තිබේ.

නව යොවුන් වියේදී කවදා හෝ සාරියක් අඳින්නට මටද ආසාවක් තිබිණි. අම්මාගේ සාරි පටලවාගෙන කැඩපත ඉදිරියට ගොස් බලන්නට පුරුදු වූ කාලය මට මතකය. මුල් වරට ඥාතියකුගේ විවාහ උත්සවයකට මා ඇන්දේ ළා නිල්පැහැති සාරියක් ඉන්දියානු ක්‍රමයටය. එහෙත් මගේ ඥාතීන් වැඩි දෙනා මට කීවේ, මා හැදී වැඩුණු පළාතේ ගැහැනුන් අඳින්නාක් මෙන් මා ඔසරිය ඇඳිය යුතු බවය! එහෙත් මට දැනුණේ මට ඔසරිය කොහෙත්ම නොගැළපෙන බවය. මට නොගැළපෙන හෝ මා අකමැති ඇඳුමක් මා අඳින්නේ ඇයි? කෙසේ හෝ අන්තිමේදී ඔසරි ඇඳ ගත් ඥාතීන් රැසක් මැද මම ඉන්දියානු සාරිය ඇඳගෙන මගේ සාරි සටනේ පළමු වෙඩි මුරය පත්තු කළෙමි!

උසස් පෙළ නිම වී කෙටි කලක් ගුරු වෘත්තියේ නියැලුණු කාලයේ ඒ "මනබන්දනීය" සාරිය අනිවාර්යයෙන් ඇඳීමට සිදු විය. මුලදී ඉතා කැමැත්තෙන් සාරියෙහි පැටලුණත් යාර හයක් පමණ ඇඟ වටා ඔතාගෙන ගුරු පුහුණුවට යන්නට සිදු වූ කාලයේ පළමු වරට එහි රඟ තේරෙන්නට පටන් ගැනිනි. ඊළඟට දුෂ්කර පාසලක සේවය කළ කෙටි කාලය ඇතුළත උදේ පාන්දර නැගිට සාරිය දවටාගෙන, දුහුවිල්ලෙන් පිරුණු දුෂ්කර ගම්බද පාරක, ඩහදියෙන් නෑවෙමින් ගැස්සි ගැස්සී බසයේ ගිය කාලයේ සාරිය නිසා මගේ හොඳ පණ ගොස් හමාර වී තිබිණි.

සිත් ගත් තරුණයෙක්, සාරිය ඇන්දාම මා ලස්සන බවද මා එය ඇඳ සිටිනු දකින්නට ඇලුම් කරන බවද කීවේ ඒ කාලයේමය. එය අසා උදම් විය යුතු වුවත් මා කල්පනා කළේ වෙන දෙයකි. ඒ යම් හෙයකින් ඔහු හා විවාහ වූ පසුවත් ඔහුට සුන්දරව පෙනීම සඳහා දිගටම සාරිය දවටාගෙන සිටින්නට වේදැයි කියාය!! ඔවැනි කාරණා නිසා හෙම්බත්ව සිටි මා විවාහ වූයේ මට කැමති ඕනෑම ඇඳුමක් අඳින්නැයි කියා, ඊට තමන්ද ඇලුම් කරන බව කී පිරිමියකු සමඟය!

ඉන් පසු කලෙක, ගුරුකම අතැර අම්මාගේ විරෝධතා මධ්‍යයේ පත්තර කන්තෝරුවක වැඩට ගිය කාලයේ ඇගේ හිත සැනසීම පිණිස සාරි අඳින්නට වූ කාලයක්ද තිබිණි. එහෙත් ටික කලකින් හති වැටුණු මම කලිසමට බැස්සෙමි. අකමැති ඇඳුම් අඳිමින් විහින් දුක් විඳින්නේ මොනවාටද?

එහෙත් එකී සියල්ල මගේ පෞද්ගලික කැමැත්ත පිළිබඳ කාරණාය. සාරිය ඉතා කැමැත්තෙන් අඳින මිතුරියන් මට සිටින අතර කලිසම් සාය අඳින සැහැල්ලුවෙන්ම සාරි ඇඳගෙන කාර්යාලවලට යන කාන්තාවන්ද කොතකුත් දැක ඇත්තෙමි. ඒ ඔවුන්ගේ කැමැත්තය. ඊට මම ගරු කරමි. ඒ සමගම, සාරිය හෝ ඔසරිය යනු අලංකාර ස්ත්‍රී ඇඳුමක් බවද පිළිගනිමි. මේ ලියන මමද විශේෂ උත්සව අවස්ථාවලදී ඇතැම් විට සාරියෙන් සැරසෙමි. ඒ මගේ කැමැත්ත නිසා මිස කිසිවකුගේ බලහත්කාරය නිසා නොවේ.

පසුගිය දවස්වල මතු වූ මුස්ලිම් කාන්තාවන්ගේ ඇඳුම සම්බන්ධ කාරණාව දෙස මා බැලුවේද මේ දෘෂ්ටි කෝණයෙන්මය.

කවර හෝ මුස්ලිම් කාන්තාවකට යම්කිසි ඇඳුමක් ඇඳීම සඳහා ඇගේ සමාජයෙන් බල කිරීමක් සිදු කෙරෙනවා නම්, ගැහැනියක ලෙස මා සිට ගන්නේ ඇගේ පැත්තේය. අකමැති නම් ඒ ඇඳුම ප්‍රතික්ෂේප කිරීම ඇගේ කැමැත්තය!

එහෙත් කිසියම් මුස්ලිම් ගැහැනියක කිසිවකුගේ බලකිරීමට යටත් නොවී ඇගේ සංස්කෘතික ලක්ෂණ ප්‍රකට කරන ඇඳුමක් ඇයට වුවමනා පරිදි අඳින්නේ නම් මා සිට ගන්නේ යළිත් ඇගේ පැත්තේය. ඒ ද ඇගේ කැමැත්තය!

"මං අබායයි හිජාබ් එකයි අඳින්නේ මගෙ කැමැත්තෙන්. ඒක මට පහසු නිසා." යි මගේ මුස්ලිම් මිතුරියක මට වරෙක කීවාය. සාරිය නිතර අඳින මගේ සිංහල මිතුරියන්ට මෙන්ම මම ඒ මුස්ලිම් මිතුරියගේ කැමැත්තටද ගරු කරමි. වෛර්ණ හිජාබ්වලින් සහ සම්පූර්ණ සිරුර ආවරණය වන මුත් කාන්තා සිරුරේ ලාලිත්‍යය ඉස්මතු වන අබායා ඇඳුම් විලාසිතාවලින් සැරසුණු මුස්ලිම් මනාලියන්ගේ ඡායාරූප එකතුවක් මම වරෙක අන්තර්ජාලයෙන් නරඹා විස්මයට පත් වීමි. එහි විචිත්‍රත්වය මා දුටුවේ සිංහල හෝ දෙමළ සාරි විලාසිතා දකින ඇහෙන්මය.

"මගේ වයිෆ් සාරි ඔසරි අඳින්න දන්නෙ නෑ. එයාට සාරි ඇත්තෙත් නෑ. එයාට තියෙන්නේ සල්වාර්. රස්සාවට ඇන්දේ ඊට උඩින් අබායා, හිජාබ්. ඒ එයාට කැමති නිසා. දැන් එකපාරට සාරියට පුරුදු වෙන්නෙ කොහොමද?" රාජ්‍ය සේවයට සාරිය අනිවාර්ය කළ වෙලාවේ මගේ මුස්ලිම් මිතුරකු රාජ්‍ය සේවිකාවක වන සිය බිරිඳ මුහුණ දුන් දුෂ්කරතාව ගැන කීවේය." වහාබ්වාදී අන්තවාදීන් කළෙත් ගෑනුන්ගෙ ඇඳුම තීරණේ කරපු එක. දැන් මේ වෙන්නෙත් ඒකම නේද?" ඊට මොනවා කියන්නදැයි උත්තර නැතිව ඉන්නා වෙලාවේ වාසනාවට ඒ චක්‍රලේඛය අවලංගු කෙරුණු බව ආරංචි විය.

එහෙත් "මොනවා වුණත් ගෑනු ලස්සන සාරි ඇන්දාමය" වැනි අදහස් එහෙ මෙහෙ කැරකීම තවම නැවතී නැත. සාරි පොටෙහි තමන්ගේ ගැහැනු බලහත්කාරයෙන් පටලවන්නට තැත් කරන ඇතැම් පිරිමි තව සංස්කෘතියක ගැහැනුන්ගේ ඇඳුම් ගැලවීමට යෝජනා කරති.

වරද ඇත්තේ ඇඳුමෙහි නොවේ. ඒ බලහත්කාරය තුළය!

මාතෘකා