රංචු මානසිකත්වය සහ දේශපාලනය

 ඡායාරූපය:

රංචු මානසිකත්වය සහ දේශපාලනය

පාස්කු ඉරිදා ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් සමාජය තුළ ඇතිවූ තිගැස්ම සමඟ ඇති කළ අනාරක්ෂිතභාවය යොදාගෙන රටේ එක් ප්‍රදේශයකදී සිය අවිඥානික මනස මුදා හැරි ජන රංචු විසින් සිදුකළ සැහැසිකම් (Mob Violence) පිළිබඳව පසුගිය දිනක කථා කළෙමි.

නූතන යුගයට එළැඹීමේදී මෙරට ජාතික දේශපාලනයට ආවේණික වූ එක් ලක්ෂණයක් වන්නේ මෙරට ප්‍රධාන දහරාවේ දේශපාලන සහ ආර්ථික ප්‍රභූ තන්ත්‍රය මේ අන්දමේ රංචු මානසිකත්වයෙන් කුඩා කණ්ඩායම් යොදවා ජාතිවාදී සහ ආගම්වාදී කලකෝලාහල සිදුකිරීම මඟින් තම බලය තහවුරු කර ගැනීමය.

මෙබඳු ජනරංචු ඉදිරියට පැමිණි ආකාරය පළමුව දැක ගත හැකිවන්නේ 1880දී කොටහේන ප්‍රදේශයේ පැවත්වූ බෞද්ධ පෙරහැරකට ක්‍රිස්තියානි මිනිසුන් විසින් පහරදුන් අවස්ථාවේදීය. බෞද්ධ සමාජයෙන් පැමිණි එවැනිම ජනරංචු විසින් ඇති කළ ප්‍රතිප්‍රහාර මාලාවක් ඒ සමඟ පැතිර ගියේය. කොළඹ නගරයට පැති කිහිපයකින් ගල් සහ මුගුරු පුරවා ගත් කරත්ත සහිතව පැමිණි ජනරංචු විසුරුවා හැරීමට පොලිසියට මැදිහත්වීමට සිදුවිය.

මෙසේ ඇරඹුණු ක්‍රිස්තියානි විරෝධය 1960 දශකය දක්වා ඉදිරියට ගියේය. 1955දී බෞද්ධ කොමිසන් සභා වාර්තාව සමඟ කතෝලික ආක්‍රමණයක් (Catholic Action) පිළිබඳ භීතියක් ඉදිරිපත් කරන ලදී. 1960දී ක්‍රිස්තියානි පාසැල් රජයට පවරා ගැනීම සඳහා මෙම තර්කය යොදා ගන්නා ලදී. යටත්විජිත පාලනයේ අනුග්‍රහයෙන් වැඩුණු සුළුතරයක් රටේ බලය තමන් අත තබා ගෙන සිටීම අවසන් කිරීමට එමඟින් හැකිවූ බව පෙන්වා දෙන ලදී. 1960 මැද භාගය වන විට කතෝලික ආක්‍රමණය පිළිබඳ කථාව සෙමින් සෙමින් දේශපාලනයෙන් ඉවත්ව ගියේය.

1915දී සිංහල සහ මුස්ලිම් කෝලාහලය ජනරංචු මඟින් ආර්ථික සහ දේශපාලන ප්‍රභූ තන්ත්‍රය මැදිහත් වූ ප්‍රථම අවස්ථාව වශයෙන් හැඳින්විය යුතුය. සිංහල බෞද්ධ ජනතාව තුළ ඇතිවෙමින් තිබූ ජාතිකවාදී ප්‍රබෝධය සිංහල වෙළෙඳුන් තමන්ගේ ව්‍යාපාරික ව්‍යාප්තිය සඳහා මේ කාලයේදී යොදා ගත්තේය. මුස්ලිම් වෙළෙඳ ව්‍යාපාර වර්ජනය කරන ලෙස ප්‍රසිද්ධියේ ඉල්ලා සිටින ලදී. 1915 මැයි මාසයේදී මුස්ලිම් ජන රංචුවක් විසින් ප්‍රචණ්ඩකාරී ලෙස මහනුවර වෙසක් පෙරහැරට සිදුකළ පහරදීමක් අවසන් වූයේ රට පුරා මුස්ලිම්වරුන්ට විරුද්ධව සිංහල සමාජයෙන් පැමිණි ජනරංචු විසින් ප්‍රචණ්ඩත්වය මුදාහැරීමය. මෙය මුස්ලිම්වරුන් හරහා තම පාලනයට එරෙහි කැරැල්ලක් ඇති කිරීමට බෞද්ධයන් දරන ලද ප්‍රයත්නයක් ලෙස විස්තර කරමින් ආණ්ඩුව යුද්ධ නීතිය පනවා පැන නැඟෙමින් තිබුණු මධ්‍යම පාංතික ජාතික ව්‍යාපාරය මර්දනය සඳහා එය යොදා ගත්තේය. මුස්ලිම්වරු බ්‍රිතාන්‍ය පාලනයට දැක්වූ පක්ෂපාතීත්වය සහ එය සමඟ පවත්වාගෙන ගිය සබඳතා අත්හැර දක්ෂිණංශික දේශපාලන නායකයන් සමඟ එක්වීමට මෙම සිද්ධිය බලපෑවේය. 1947දී සුලුතර මුස්ලිම් නායකයන් දක්ෂිණාංශික නායකයන් සමඟ නව පක්ෂයක් ගොඩනැඟීම දක්වා එය ඉදිරියට ගියේය. මුස්ලිම් නායකයන් සිංහල නායකයන් සමඟ දකුණේදීත් දෙමළ නායකයන් සමඟ උතුරු නැඟෙනහිරදීත් දේශපාලනය කිරීම නිදහසින් පසු සිදුවිය. එය අවසන් වූයේ දෙමළ බෙදුම්වාදී ව්‍යාපාරය ඇරඹී මුස්ලිම් කොන්ග්‍රසය පිහිටුවා ගැනීමෙනි.

නිදහසින් පසුව 1957 සහ 1958 ජාතිවාදී කෝලාහල, 1983 කළු ජූලිය යන අවස්ථාවල මෙම ජනරංචු ක්‍රියාත්මක වූ ආකාරය අපට නැවත දැක ගන්නට ලැබිණි. 1957 සිට 1983 දක්වා කාලයේදී සිදුවන්නේ මෙරට ප්‍රධාන සුළුතරය වන දෙමළ ජනයාට එරෙහිව ජන රංචු මෙහෙයවීමය. 1983 කළු ජූලියේදී දක්ෂිණාංශික දේශපාලන බලවතුන් මේවාට මැදිහත් වූ අන්දම පුළුල් වශයෙන් ප්‍රචාරය විය. කලාපීය සහ ජාත්‍යන්තර දේශපාලනයේ මැදිහත්වීම මෙරට දේශපාලනය වෙතට පැමිණීමට එය දඩමීමා කර ගන්නා ලදී. 1987දී ඉන්දියාව මෙරට දේශසීමාව උල්ලංඝණය කරමින් සිදුකළ මැදිහත්වීම අවසානයේදී මෙරට ජනාධිපතිවරයාගෙන් ලද ආරාධනාවෙන් සිදුකළ යුද මැදිහත්වීමක් දක්වා ඉදිරියට ගියේය. අපට තිස් අවුරුද්දක් අභ්‍යන්තර යුද්ධයකට සහ විවිධාකාර විදේශ මැදිහත්වීම්වලට මැදිහත්ව ගත කිරීමට සිදුවිය. මෙයට පෙරද සඳහන් කළ අන්දමට ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී මෙන්ම මාක්ස්වාදී නවීනත්ව ව්‍යාපෘති පරාජය කරමින් රට “නව ජාතිකවාදය” පදනම් කර ගත් රාජ්‍යයක් වෙතට ඇද ගෙන යාමට එම ක්‍රියාදාමය ආධාර කළේය.

පාස්කු ඉරිදා ප්‍රහාරය මෙන්ම මුස්ලිම් ජනයා ඉලක්ක කරගෙන සිදුවී තිබෙන ප්‍රහාරයන් මඟින් පෙන්වන්නේද මෙම දක්ෂිණාංශික ව්‍යාපෘතිය තවදුරටත් ශක්තිමත් වන ආකාරයයි. ජනරංචු දේශපාලකයන්ගේ අතකොලු බවට පත්වී තිබෙන බව පිටතින් බලා සිටින සියල්ලන්ට පැහැදිලිය. මේ පසුබිම දේශපාලන සංවාදය නව මාවතකට හරවමින් තිබේ. පසුගිය කාලයේ අත්සන් කළ ආරක්ෂක ගිවිසුම් එළිපිටට ගැනීම සිදුවෙමින් පවතී. නව ව්‍යවස්ථාවක් ගැන කථා කළ දේශපාලකයන් දැන් කථා කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදී නිදහස්කම්වලට පහර දිය හැකි ආකාරයට සකසා තිබෙන ප්‍රතිත්‍රස්ත පනත ගැනය. 13වන සංශෝධනයෙන් සිදුකළ බලය බෙදාහැරීම බලරහිත කරමින් කල් දැමූ පළාත් සභා ඡන්දය ගැන කිසිවකු කථා කරන්නේ නැත. ජනාධිපති විධායකය වෙනුවට කැබිනට් පාර්ලිමේන්තු ක්‍රමයක් ගැන කථා කළ කටවල් දැන් ඇරෙන්නේ මීළඟ ජනාධිපතිවරණය ගැනය. මේ අතර දේශපාලකයන්ගේ කාර්යාල ඇති ප්‍රදේශ අධිආරක්ෂක කලාප බවට පත් කරමින් තිබෙන අතර ආරක්ෂක වාහන පිරිවරාගෙන ගමන් කරන දේශපාලකයන් නිසා සාමාන්‍ය මහජනතාවට පාරේ කානුවලට බසින්නට සිදුවන තත්ත්වයක් ඇතිවී තිබේ. මේ සියල්ල මඟින් සිදුකරන්නේද ත්‍රස්තවාදීන් සිදුකළ දෙයමය. ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් පිළිබඳ අපේක්ෂාවට පහර වැදීමය.

මාතෘකා