හේතුඵල වාදය සහ සමාජය

 ඡායාරූපය:

හේතුඵල වාදය සහ සමාජය

ක්‍රි: පූ: හයවන සියවසේ ලොව පහළ වූ බුදුරජාණන් වහන්සේගේ ප්‍රධානතම ඉගැන්වීම හේතුඵල වාදයයි. හේතූන්ගෙන් හටගන්නා සියල්ල හේතු නැති කිරීමෙන්ම භංග වේ. (හේතුං පටිච්ච සම්භූතං හේතු භංගා නිරුජ්ඡති) හේතුඵල ධර්මය බුදුරජාණන් වහන්සේගේ ප්‍රධානතම ඉගැන්වීම බව තහවුරු කරන මුල්ම අවස්ථාව උන් වහන්සේගේ පළමු ශ්‍රාවක පිරිස වන පස්වග මහණුන් අතර වැඩසිටි අස්සජී තෙරුන් වහන්සේ සහ උපතිස්ස පරිබ්‍රාජකයා අතර සිදුවන හමුවයි.

බුදුරජාණන් වහන්සේගෙන් පළමුව දහම් අවබෝධ කළ ශ්‍රාවක පිරිස අතර වැඩසිටි අස්සජී තෙරණුවෝ පිණ්ඩපාතයේ වඩින අතර උපතිස්ස පිරිවැජියා හමුවෙති. එම පිරිවැජියා අස්සජී හිමිගෙන් විමසනුයේ ඔබ විශ්වාස කරන දාර්ශනිකයාගේ මූලිකම ඉගැන්වීම කුමක් ද යන්නයි. ඊට ලබාදෙන පිළිතුර ඉතාම කෙටි ගාථාවකි.

යේ ධම්මා හේතුප්පභවා තේසං හේතු තථාගතෝ ආහ.

එහි තේරුම හේතූන් නිසා හටගන්නා යම් ධර්මයක් වේද එම හේතූන්ගේ ස්වභාවය තථාගතයන් වහන්සේ පැහැදිලි කරන්නාහ යන්නයි.

එම ගාථා පාඨයෙන්ම දහමෙහි හරය වටහා ගන්නා උපතිස්ස පිරිවැජියා බුදුන් සරණ යන අතර පසුව සාරිපුත්ත (සැරියුත්) නාමයෙන් ප්‍රසිද්ධ වෙයි.

අවිද්‍යාව (වැරදි දැනුම) නමැති හේතුවෙන් සත්ත්වයා සසර සැරිසරන බව පෙන්වා දෙන බෞද්ධ දර්ශනය එම අවිද්‍යාව දුරුකරන මාර්ගය ලෙසට චතුරාර්ය සත්‍ය ධර්මය උගන්වයි. ලෝකෝත්තර විමුක්තිය ගවේෂණය කරන ගවේෂකයා හේතුඵල ධර්මය තේරුම් ගැනීමට ඥානය මෙහෙයවන අතර එයින්ම චතුරාර්ය සත්‍යයට ළඟාවෙයි.

ලෝකයෙහි යථාර්ථය වූ ද අතිශය දාර්ශනික වූද එම ඉගැන්වීම අභියෝගයට ලක්කළ හැකි දෙවියකු, මාරයකු, බ්‍රහ්මයකු, ශ්‍රමණයකු හෝ කිසිවකු ලොව පහළ නොවන බව බුදුන් වදාළේ එය පරම සත්‍යම බැවිණි.

අදින් වසර දෙදහස් පන්සියයකට පෙර දේශිත එම සත්‍යය ඉක්මවාලිය හැකි කෙනකු මෙතෙක් බිහිනොවූ අතර අනාගතයෙහිද බිහිවන්නේ නැත. ඊට හේතුව නම් ලොව ඇත්තේ එකම සත්‍යයක් (ඇත්තක්) පමණක්ම බැවිණි.

ලෝකෝත්තර ඥානය උදෙසා වදාළ එම ධර්ම න්‍යාය ලෞකික ජීවිතයේ ඇතිවන ගැටලු නිරාකරණය සඳහා ද භාවිතයට ගත හැකිය.

හේතුඵල ධර්මය මඟින් පෙන්වා දෙනුයේ ගැටලුවක් හටගැනීමට ඉවහල් මූලිකම කරුණ පිළිබඳ අවධානය යොමුකර ඊට‍ පිළියම් යොදන ලෙසයි.

මේ සත්‍ය‍ය තේරුම් ගැනීමට නූතන උපමාවක් දැක්විය හැකිය. දියවැඩියා රෝගියකුගෙන් බාහිර සංකූලතා රාශියක් ප්‍රකට වෙයි. උදාසීනත්වය, නිදිබර ගතිය, සුව නොවන තුවාල හට ගැනීම ආදිය ඒ අතර මූලිකවම දක්නට ලැබෙයි. උදාසීනත්වය, නිදිබර බව තුවාල ආදියට කරන ඖෂධ ඵල රහිත ය. එම බාහිර සංකූලතා සඳහා ප්‍රධානතම හේතුව වන දියවැඩියාව යටපත් කිරීමෙන් ඉහත සංකූලතා ඉබේම සුවපත් වෙයි.

එම න්‍යාය සමාජය විෂයයෙහිද එළසම උපකල්පනය කළ හැකිය. සිතා බලන්න, ලාංකික සමාජය රෝග රාශියකින් පීඩා විඳියි. වර්තමානයෙහි උත්සන්නතම රෝගය අන්තවාදයයි. ජන වර්ග අතර බෙදීම්, නීතියෙහි බිඳවැටීම, පිරිහී ගිය ආර්ථිකය, සෞඛ්‍ය, අධ්‍යාපනය ආදී සෑම තත්ත්වයකටම බලපාන ප්‍රධාන හේතුවක් ඇත. එය පරාධීන දේශපාලනයයි. එම ප්‍රධාන හේතුව හෙවත් පිළිකාව සුව නොකර සමාජය වෙළා පවතින බාහිර උපද්‍රව සඳහා කරන ප්‍රතිසංස්කරණ ගඟට කපන ඉණි සේම අපතේ යයි.

එම ප්‍රධාන හේතුව තේරුම් ගැනීමට සාමාජිකයා සබුද්ධික විය යුතුය. අභියෝගයද එයමය. මන්දයත් නූතන දේශපාලනය යනු සාමාජිකයා සබුද්ධික වීම වැළකීම බැවිණි.

නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය යනු සාමාජිකයාගේ කැමැත්තෙන් පාලකයකු පත්කර ගැනීමයි. සාමාජිකයා නූගත් වන තරමට පාලනයට තෝරාගන්නේද නූගතකුමය. වර්තමාන ලාංකික සමාජය මුහුණ දී ඇති අර්බුදය එයයි. සමාජය සබුද්ධික කරන සාහිත්‍ය කලාවන් සේම ආගමික වටපිටාවද බිඳ වැටී ඇත. මෙබඳු තත්ත්වයකදී ඇති විකල්ප මොනවාද? ඇති එකම විකල්පය යම් පමණකින් හෝ දේවල් විග්‍රහ කිරීමට සමත් සබුද්ධික සාමාජිකයන් ජාති ආගම් කුල ආදී භේද ඉක්මවා සංවාදයට එළඹීමයි.

එම සංවාදයට බරපතළ අභියෝගයනට මුහුණ දීමට සිදුවෙයි. ඒ මන්දයත් සමාජයම දරුණු රෝගයකින් පෙළෙන බැවින් එම තුවාලයේ සැරව ඉවත් කිරීම රෝගියාට වේදනා ගෙන දෙන බැවිනි. එම වේදනාව ඉවසා සිටීමට දිය හැකි එකම ඔසුව විශ්වාසීභාවයයි.

එබඳු විශ්වාසයක් තැබිය හැකි පිරිසක් නූතන සමාජයෙන් සොයා ගැනීම ම බරපතළ අභියෝගයකි. එහෙත් ගැලවීමට අන් මඟක් නැත. මෙබදු ගැටලුවලට මුහුණදුන් ජන සමාජ ගලවා ගැනීම සඳහා එලස පෙරට පැමිණි උතුම් මිනිසුන් පිළිබඳ තොරතුරු ඉතිහාසයෙහි ඇත.

ඉන්දියාවේ පහළ වූ මහත්මා ගාන්ධි, සිංගප්පූරුවේ ලී ක්වාන් යූ, දකුණු කොරියාවේ පාර්ක් හිල් වැනි අය උදාහරණ ලෙස දැක්විය හැකිය.

නූතන දේශපාලනඥයකු හෝ පූජක කණ්ඩායමක් හෝ සමාජය පවතින උවදුරින් ගලවා ගනු ඇතැයි සිතීම ම මුළාවකි. එම බලවේග පවතින දුෂ්ට ලක්ෂයේම දැති රෝද බවට පත්ව ඇත. සමාජය ගැඹුරින් කියවා තේරුම් ගැනීමට හේතුඵල ධර්මය බදු න්‍යායන් උපයෝගී කරගත යුතුයැයි යෝජනා කරනුයේ එබැවිනි.

මාතෘකා