ආනන්ද ‘නිවන’ දුටුවාද?

 ඡායාරූපය:

ආනන්ද ‘නිවන’ දුටුවාද?

“නිවන් ගියා වගේ... නිවනක් නෑ වගේ...” කියමන් නිරතුරුවම අසන්නට ලැබේ. සැනසීම ඇත්තේ ‘නිවන’ ළඟා කර ගැනීමෙන්ය කියා ඉගැන්වීමක් තිබේ. මේ නිසාම ‘නිවන’ ළඟා කර ගන්න එක එක දේවල් කරනු දක්නට ලැබේ. සමහරු මංමාවත් දිගේ සිගමන් යදින උදවියට රුපියලකින් දෙකකින් සංග්‍රහකොට ප්‍රාර්ථනා කරන්නේ නිවන් යෑමය. ඇතැම්හු සිවු පසයෙන් දාන මානාදිය දෙන්නේ නිවන් යාම සඳහාය. භක්තිය වැඩිකමට උපාසක අම්මලා “නිවන් පුරේ යන්න ඕනෑය” කියනු දක්නටද ලැබේ. අවුරුද්දෙන් හරි අඩක් වෙහෙස මහන්සි වී අස්වනු ගෙට ගන්නා ගොවි මහත්වරුන් කියන්නෙත් “අපොයි යන්තං ඇති නිවන් ගියා වගෙයි.” කියාය. අස්වැන්න දකින ගොවි මහත්වරුන්ගේ හිසේ මල් පිපෙන්නේත් “නිවන් ගියා වගේ” සුවයක් එක් කරමින්ය. සීල, සමාධි, ප්‍රඥා මාර්ගයේ අවසන් ඵලය වන්නේත් ‘නිවන’ කියලායි බොදු ඉගැන්වීම. ගෙදර ඉන්න දූලා පුතාලා දීගතලා දුන් පසුව “යන්තං ඇති නිවන් ගියා වගේ” කියන මාපියෝද ඇත. එමෙන්ම කරදරකාර දරුවන් වෙනුවෙන් පසුතැවෙන දෙමාපියන් “නිවනක් නෑ වගේ, කරදර කරදර ඉවරයක් නෑ” කියයි.

විභාගවලට මුහුණ දෙන දුවා දරුවන් සෑම විටකම මුමුණන වචනයක් වන්නේ “නිවනක් නෑ, විභාග විභාග ඉවරයක් නෑ” වැනි වදන්ය. එලෙස අපහසුවෙන් සූදානම් වන විභාගයකින් සමත් වීමත් දරුවන්ට සේම දෙමාපියන්ටත් ‘නිවන් යාම’ තරම් සැනසීමකි. ඉතා අපහසුවෙන් මහජන ඡන්දයෙන් පාර්ලිමේන්තුවට යන මන්ත්‍රීතුමන්ලාද “යන්තං නිවන් ගියා වගේ” යැයි කියයි. ඒ වගේම කරදරකාර දේශපාලනඥයින් ඡන්දෙයන් පරාජයට පත් වූ විට “අපෝ ඇති යන්තං. දැන් නම් නිවන් ගියා වගේයි.” කියමින් ජනතාව සතුටු වෙති.

සුවිසල් කන්දක් තරණය කරන උදවිය කඳු මුදුනට නැඟ “ඇති යන්තං නිවන් ගියා වගේ.” කියයි. දැඩි රෝගාබාධයකින් පෙළෙන රෝගියකු ඉන් සුව වූ විටක “නිවන් ගියා වගේ” කියා මුමුණන අවස්ථාද ඇත. කරදරකාර ඥාතියකු නිවසෙහි ලැගුම්ගෙන සිට ඉන් ඉවත්ව ගිය විටද “නිවන් ගියා වගේ” වැනි යෙදුම් භාවිතා කරයි.

නිවන ඒ තරම් මිහිරිය. සුවදායකය. බොදුනුවන්ගේ ඒකායන අරමුණ නිවන් යාමයි. ඒ සඳහා අරි අටක මඟ අනුදැන වදාරා ඇත. ඒත් දැං දැං නිවන් යාම සඳහා වෙනයම් ක්‍රම සොයා ගෙන ඇති බව දක්නට ලැබේ. ඇතැමුන් තම නිවස, දේපොළ, ව්‍යාපාර, යානවාහන යනාදිය හරිහම්බ කරගන්නේ නිවන් යාම සඳහාය. ඇතැමකු අයථා ආකාරයෙන් හරිහම්බ කරන කළු සල්ලි සුදු කිරීම සදහා සන්දර්ශනාත්මක පිංකම් කරන්නේත් නිවන් යෑමටය. ඇතැමෙක් ලෝකයේ ඇති සෙසු සෑම මාංශයක්ම අනුභව කරමින් හරක් මස් නොකන්නේ නිවන් යෑම සඳහාය. ඇතැමුන් තමන්ට වාසි සහගත දේශපාලන පක්ෂය හෝ පුද්ගලයා බලයට ගෙන ඒමට දඟලන්නේ නිවන් දැකීම සඳහාය. ඇතැමකු දැනට ලැබී ඇති දේශපාලන බලය ආරක්ෂා කර ගැනීමට සූදානම් වන්නේ නිවන් යන්නට සිතාගෙනය. තවත් පිරිසක් ලෝකයේ උසම පිළිම සාදමින්ද ආගමික ස්ථාන සාදමින්ද සූදානම් වන්නේ නිවන් යෑම සඳහාය. එසේත් නැතිනම් අනෙකාගෙන් තම ආගම හෝ ජාතිය මුදවා ගැනීමටත් ආරක්ෂා කර ගැනීමටත් කටයුතු කරන්නේ නිවන් යෑම සඳහාය.

බුදු දහමෙහි නම් නිවන උපමා කර ඇත්තේ දැල්වෙමින් තිබූ පහන් දැල්ලක් නිවී යාමකටය. එහි ඇත්තේ ශූන්‍යත්වයයි. එහි වෙනයම් ඇලීමක් ගැටීමක් දක්නට නොලැබේ. එහෙත් ඇති තරම් වස්තුව රැස් කරමින්, ඇති තරම් බලය රැස් කරමින් යන්නා වූ නිවනක් ගැන සිතා ගැනීමට නොහැකිය. සියල්ල අත්හැරීම සියල්ලෙන් මිදී අභිනිෂ්ක්‍රමණය කිරීම නිවන් මඟ නම් බොහෝ ලෞකික දේ ගොඩ ගසා ගැනීමෙන් ඇති නිවන කුමක්දැයි සිතා ගත නොහැකිය. ඇති තරම් ජාතිවාදය වපුරමින් ඇති තරම් අන්තවාදය වපුරමින් ලබන්නා වූ නිවන කුමක්දැයි නැවත සිතා බැලිය යුතුය. නිවන සිංහලයාට හෝ බෞද්ධයාට පමණක් සීමා වූවක් නොව, ලෝ සතුන් සියලු දෙනාම වෙනුවෙන් වූ සැනසීමකි. එය දෙමළ ජාතිකයාටද මුස්ලිම් ජාතිකයාටද වෙනත් ආගම් අදහන්නවුන්ටද ආගම් නොඅදහන්නවුන්ටද පොදු වූ අයිති විය යුතු සැනසීමකි. ඒ නිවන ඇත්තේ ලෝකෝත්තර සීමාවේ නොව, ලෞකික ලෝකයේය. මේ දැන් දැන්ම ළඟා කර ගත යුතු සීමාවකය. සැබෑ නිවීම ඇත්තේ ජාති, ආගම්, කුල, වර්ග බදා අල්ලාගෙන තැවීමෙන් නොවේ. සියල්ල අතහැර මනුෂ්‍යත්වය වෙනුවෙන් කටයුතු කිරීමෙන්ය.

[ගාමිණී බස්නායක]

මාතෘකා