අමු කතා

 ඡායාරූපය:

අමු කතා

ආධුනික ප්‍රබන්ධකරුවන්ගේ දැකිය හැකි මූලික දුර්වලතාවක් නම් ඔවුන්ගේ ප්‍රබන්ධයේ අමු බවයි. එනම් අත්දැකීම් ඒ ලැබූ සැටියෙන්ම බැවහැර බසකින් ඉදිරිපත් කිරීමයි. මේ, පුවත්පතට එවූ ආධුනිකයකුගේ කෙටිකතාවක ආරම්භයයි:

“සැලුන් එකේ පුටුවෙ ඉඳගත්තු ගමන් බාබර් සිල්ක් රෙද්ද බෙල්ල වටේ එතුව. චීස් චීස් ගාලා සුවඳ වතුර ස්ප්‍රේ එක ඔළුවට ගැහුව... ඩ්ර් ඩ්ර් මැෂිම කැරකි කැරකි ඔළුව දිගේ දිව්ව... සනීපයක් ඇඟ දිගේ දුවගෙන ඇවිත් හෑල්ලුවක් දැනුණ. කණ්නාඩියෙන් මං දැක්කෙ අතීත සිහින මායාවක්. එකපාරටම ෆෝන් එක රින්ග් වුණා. සාක්කුවට අතදාලා බෙල්ල හැරෙව්ව..

“අප්පා මහත්තය ඉවරයි...වැඩේ කෑව... කොන්ඩෙ ඉවරයි... මොකද්ද මහත්තය කෙරුවෙ..? ඔය මගුල් ඔබ ඔබා කොන්ඩ කපන්ඩ පුළුවන්ද? දැං මොකද කරන්නෙ? මේ බලන්ඩ මහත්තය...

“අප්පා තමුසෙ ඔච්චර දැක්කෙ නැද්ද මට කෝල් එකක් එනව...

“මහත්තය කෝල් ගන්ඩයි කොන්ඩෙ කපන්ඩයි දෙකක් බෑ.. දැලිපිහිය තිබ්බ නං මහත්තයගෙ බෙල්ල ඉවරයි...මැෂිම හින්ද බේරුණා.....”

මේ කතාවේ රචකයා මේ ආකාරයේ කෙටිකතා තුනක් එවා තිබූ අතර ඒ තුනම ඔහු පොතක් ලෙස පළ කිරීමටද පිළියෙළ කර තිබුණි. මෙකල කෙනෙකුට කවර හෝ කෘතියක් පළ කරගැනීම ඉතා පහසු කටයුත්තක් නිසා ඉදිරියේදී මින් පොතක් පළ වුවද අරුමයක් නැත. කෙසේ වුව මේ කතා අත්දැකීම් අමුවෙන් වැමෑරීමත් බව අවබෝධ කරගැනීම දුෂ්කර නොවේ.

අමු ප්‍රබන්ධයේ ගැටලුව ඒවා භාව සන්තර්පනය නොව භාව ප්‍රකෝපනය කිරීමය. එහි වේදයිතයන් රස බවට පෙරළී නැති අතර රස වෙනුවට ඇත්තේ හුදු භාවය. මෙවිට පාඨකයාට කතාකරුවා හා හෘදය සංවාදයක නියැලිය නොහැකි සේම අනුභූතීන් හැඟීම්වලින් ග්‍රහණය කරගැනීමද දුෂ්කර වේ. අවසානයේ පාඨකයාට එහි කල්පනා ලෝකයට ඇතුළු වීමටද නොහැකි වේ. ප්‍රතිඵලය ප්‍රබන්ධයේ කාර්යභාරය අහෝසි වීමයි.

මෙසේ කෙනෙකු අමු අත්දැකීම් ඉදිරිපත් කිරීමට හේතු තිබේ. මූලික හේතුව ප්‍රබන්ධකරුවා ලියද්දී අත්දැකීම් තුළම සිර වී සිටීමය. නැතහොත් අත්දැකීම්වලින් බැහැර වී නොසිටීමය. කෙනෙකු අත්දැකීමක සිර වන්නේ ඔහු යමක් අත්දුටු ඇසිල්ලේ ලිවීම නිසාය. ප්‍රබන්ධය යනු සත්‍යය නොවේ. නමින්ම කියවෙන පරිදි ප්‍රබන්ධය මායාකාරී ගොඩනැඟීමකි. පාඨකයාට සත්‍ය අත්දැකීමක් කියවීමටද වුවමනා නැත. ඔහුට වුවමනා වන්නේ රස වින්දනය ඔස්සේ ජීවිතාවලෝකනයක් ලැබීමටය. එය නිර්මාණාත්මක ගොඩනැඟීමක් විය යුත්තේ ඒ සඳහාය. අත්දැකීම් ඒ ලද ඇසිල්ලේ අමුවෙන් ලිවීමෙන් එය කලාත්මක නිර්මාණයක් ලෙස ගොඩනොනැඟෙන අතර ඉන් ජීවිතාවලෝකනයක් වීමටද ඉඩක් නැත. කෙසේ වුව කතාකරුවකු අත්දැකීම්වලින් දුරස් වීමට ඔහු අත්දැකීම් කාලයේ වැලිතලාවට යට කළ යුතුම නැත. ලේඛකයා පළපුරුදු සහ ප්‍රබල පරිකල්පන ශක්තියක් ඇත්තෙක් නම් ඔහුට අත්දැකීම ලැබූ ඇසිල්ලේ වුව අත්දැකීමෙන් බැහැර විය හැකිය. බැහැර වී ප්‍රස්තුතය දෙස දුර සිට බැලිය හැකිය. අනෙක වරක් ලියනගේ අමරකීර්ති හුවා දැක්වූ පරිදිම ලියද්දී සිදු වන්නේ කතාකරුවා අත්දැකීම රැගෙන පරිකල්පනයේ ජලාශයකට පැනීමය. එවිට අත්දැකීම අලුත්ද, පරණද යන්න වැදගත් නොවේ. එහෙත් පොදු තත්ත්වය නම් ඔහු අත්දැකීම ලැබූ ඇසිල්ලේ ඒ නොලිය යුතු බවය.

තරුණ ලේඛකයන් තුළ අද දැකිය හැකි බරපතල ගැටලුවක් නම් ඔවුන් තවකෙකුගේ කතා රීතියක් අනුකරණයට ලොල් කිරීමයි. නිදසුනකට සයිමන් නවගත්තේගමගේ ‘සංසාරාරණ්‍යයේ.... ’ කතා රීතිය අනුගමනයට ඇතැමුන් දක්වන ලෝලය දැක්විය හැකිය. සයිමන් නවගත්තේගමගේ කතා රීතිය වලංගු ඔහුට පමණක් බවත්, තවෙකෙකුට වලංගු වන්නේ තමාගේ අභ්‍යන්තරයෙන් ‐ තමාගේ කතාවෙන් ‐ පැනනඟින කතා රීතිය බවත් ඔවුනට අවබෝධයක් නැත - පුද්ගලයන් එකිනෙකාගෙන් වෙනස් වන්නේ නම් ඔවුනොවුන්ගේ ආඛ්‍යාන රීතීන්ද එකිනෙකට වෙනස් විය යුතුය. කෙසේ හෝ මෙම අනෙකා කොපි කිරීමේ උත්සාහයද අමු ප්‍රබන්ධ බිහි වීමේ මඟකි. කොපි කරන්නා සැම විටම හැරෙන්නේ තමා තුළට නොව තමාගෙන් බැහැරටය. එවිට ඔහුගෙන් ආත්ම කථනයක් නොසිදු වන අතර වැඩියක්ම ඔහු අතින් අලුත් දෙයක් සොයාගැනෙන්නේ නැත - තමා ප්‍රබන්ධයෙන් ගෙනහැරපාන ප්‍රශ්නයට පිළිතුරු සොයාගැනෙන්නේ නැත.

මුලින් කී ලෙස අද පොත් පළ කරගැනීම ඉතා පහසු කටයුත්තකි. එනිසා කෙනෙකුට මුද්‍රිත අකුරේ අගය ගැන, එහි බලපෑම ගැන වැටහීමක් නැති අතර ලියවෙන්නේ කුමක්ද එය ඉක්මනින්ම පොතක් ලෙස මුද්‍රණය වීමය, ඔහු අතින් සිදු වන්නේ. අමු ප්‍රබන්ධ බිහි වීමේ ඊළඟ හේතුව එයය. ආධුනිකයන් ප්‍රබන්ධ පළ කිරීමේදී ඉක්මන් නොවිය යුතු යැයි අද කියති. එහි අදහස ප්‍රවීණයන් ඊට ඉක්මන් විය යුතු බවද? ඇත්ත වශයෙන් ප්‍රබන්ධකරණයේදී ආධුනික ‐ ප්‍රවීණ භේදයක් නැත. කවර ප්‍රවීණයකු වුව ප්‍රබන්ධකරණයට අවතීර්ණ වන්නේ ආධුනිකයකු ලෙසය. ඔහුගේ පළමු පොත ඉහළම සාහිත්‍ය සම්මානවලින් පිදුම් ලැබූවත් ඔහුගේ ඊළඟ පොත අසාර්ථක විය හැකිය. එනිසා ප්‍රවීණයකුට වුව ප්‍රවීණයකු ලෙසින් ප්‍රබන්ධකරණයට අවතීර්ණ විය නොහැකිය. එහිදී ඔහු ආධුනිකයෙකි. ජපන් නවකතාකරු හරුකි මුරකාමි පවසන්නේ ඔහු ලියන කවර ප්‍රබන්ධයක් වුව ඔහු ලියන්නේ මේ තමාගේ මුල්ම කෘතිය සේ සිතාගෙන බවය. කෙනෙකු කතාකරුවකු හෝ කවියකු ලෙස නමක් ගොඩනඟා ගත් පසු තමන් ලියන දෑ කිසිවකුට විවේචනය කළ නොහැකි යැයි, කිසිවකුට සංස්කරණය කළ නොහැකි යැයි සිතීම අමු ප්‍රබන්ධ බිහි වීමට මූලික හේතුවකි.

තවද කෙනෙකු තුළ නිසග පරිකල්පන ශන්තියක් වෙනුවට අර්ධ, ව්‍යාජ පරිකල්පන ශක්තියක් පැවතීමද මෙහිලා ප්‍රබල සාධකයකි. අර්ධ පරිකල්පන ශක්තිය ඇත්තෙකු අතින් නිබඳව සිදු වන්නේ අසංයත වියවුල් කල්පනා ලෝකයක් බිහි වීමය. එය කතාකරුවා තමාගේ පුද්ගලික ‘ඇරියස්’ පිට කිරීමට දිග හළ ව්‍යාකූල කල්පනා ලෝකයකි. අර්ධ පරිකල්පිත ලේඛකයන් ප්‍රබන්ධකරණයේ/ කාව්‍යකරණයේ නියුතු වන්නේම පෞද්ගලික න්‍යායපත්‍ර ප්‍රචාරය කිරීමටය. එනම් සමාජ සංස්කෘතියට පහර ගැසීම, ආගම හෙළාදැකීම, තමා අනුගත දේශපාලනය එසවීම ආදිය සඳහාය. එක් ටියුෂන් ගුරෙකුගේ ‘නිර්වාණ’ නම් නවකතාව මීට දිය හැකි හොඳ නිදසුනකි. එවැනි කෘතියක් උසස් පාඨකයකුට රස වින්දනය කළ නොහැක්කේ එහිදී පාඨකයාගේ සංවේදීභාවය බිඳකුදු නොසලකා ඇති බැවිනි.

සාහිත්‍යයේ ඇත්තේ හෘදය මූලික දේය. එහිදී ලේඛකයා හා පාඨකයා අතර ඇත්තේ හෘදය සංවාදයකි. එවැනි හෘදය සංවාදයක් වීමට නම් කතාකරුවකුගෙන් ලියවිය යුත්තේ ඔහුගේ හෘදය සසල කළ අත්දැකීමකි. එහෙත් අද සසලකර අත්දැකීම්වලින් ප්‍රබන්ධකරණයට අවතීර්ණ වනවා වෙනුවට දක්නට ඇත්තේ බුද්ධිය සෙලවූ කාරණාවලින් ප්‍රබන්ධයට අවතීර්ණ වීමය. ප්‍රතිඵලය පෙර කී අමු කතා ප්‍රබන්ධ ලෙසින් කලඑළිදැකීමය.

අමු බව යනු අත්දැකීම ඕනවට වඩා වැඩියෙන් ඉදිරිපත් කිරීම පමණක් නොවේ, ඒ ඕනවට වඩා අඩුවෙන් ගෙනහැරපෑමද අමුකමකි. අනෙක් අතට පෙර කී බුද්ධිවාචක කරුණුවලින් ප්‍රබන්ධය පිරවීමද අමු කතාවක් බිහි වීමේ ලකුණකි.

අවසාන වශයෙන් අමු බව යනු ප්‍රබන්ධයෙන් බැහැර දේකි. ප්‍රබන්ධයෙන් බැහැර දේ ප්‍රබන්ධකරුවකුට ගෙනහැපෑ නොහැකිය. එනයින් අමු කතා ලියන්නේ ප්‍රතිභා හීනයන් යැයි කිව හැකිය. කෙනෙකු සැබෑ ප්‍රතිභාවක් හිමි කෙනෙකු නම් ඔහු ප්‍රබන්ධයක අමු තැන්, කලාත්මක තැන් මැනවින් දනී. එනිසා ප්‍රබන්ධයක් ලියවෙද්දී ඔහුගෙන් අමු දේ ලියවුණත් එය පළ වීමේදී ඒ දේවල් සංස්කරණය වේ. ඒ අතින් සිංහල සාහිත්‍යයේ ප්‍රබන්ධ ලෙසින් අමු කතා බිහි වේ නම් එහි අදහස සිංහල සාහිත්‍යකරණයේ ඊට නුසුදුස්සන් නියැලෙන බවය. එය නම් ප්‍රබන්ධයේ පිරිහීමක් සේම පොත් කර්මාන්තයේද පිරිහීමකි.

[රවින්ද්‍ර විජේවර්ධන]

මාතෘකා