ගසක් වෙන්න

 ඡායාරූපය:

ගසක් වෙන්න

ඉහට හෙවණක් තනන්නට සිතමි..

සොයා ලී දඬු උපන් ගමට යමි..

සමවියේ කොස් ගසක් ළඟ හිඳිමි...

මිතුර නුඹ, අද ඉතින් නගරයට එක්ක යමි

මුල් පාද ගනු පිණිස බිම කණිමි

මුල්ම පමණක් නොව බොහෝ දේ දකිමි..

එක තනේ උරා බී ලොකු මහත් වූ එකට

අත තියන්නේ කොහොම සහෝදරයිනි තොපට

යන්ට යමි හිස් අතින් හැරී යළි නගරයට

ගේ දොරක් නැතත් හැකි ඉන්ට නුඹෙ හෙවණ යට

- රත්න ශ්‍රී විජේසිංහ - ආපසු හැරී ඒම (වස්සානෙන් පසුව)

එක්සත් ජාතීන්ගේ සංවිධානය මඟින් අප වෙසෙන පරිසරය පිළිබඳ ප්‍රත්‍යවේක්ෂා සහගතව බැලීම සඳහා සෑම වසරකම ජුනි 5 වැනිදා ලෝක පරිසර දිනය නම් කර තිබේ. මෙවර එදින පණිවිඩය මඟින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් අන්තෝනියො ගුටාරේස්. "මේ එළඹ ඇත්තේ තීරණාත්මක කාලයකි. ලෝක රාජ්‍යයන්ට මට දීමට ඇති පණිවිඩය ඉතා පැහැදිලිය. පරිසර විනාශ කරන්නන් සඳහා බදු ගසන්න. ෆොසිල ඉන්ධන භාවිතය අවසන් කරන්න. එමෙන්ම නව ගල්අඟුරු බලාගාර ඉදිකිරීම නවත්වන්න. අපට අවශ්‍යව ඇත්තේ හරිත ආර්ථිකයක් මිස අඳුරු ආර්ථිකයක් නොවේ." යනුවෙන් පාරිසරික හානි සිදු කරන රාජ්‍ය ක්‍රියාකාරකම් ඉතා තීරණාත්මක අවධියකට පත්ව ඇති බව අවධාරණය කළේය.

මානවයින් යනු පරිසරය විසින් නිර්මාණය කළ සේම පෙරළා පරිසරයද හැඩගනුවනු ලබන ජීව කාණ්ඩයකි. මානවයාට අවශ්‍ය භෞතික පෝෂණය ලබාදෙන්නේද ඔවුන් ඥානනය කරන්නේද, සදාචාර සහ සමාජීය මෙන්ම අාධාත්මික වර්ධනය ඇති කරන්නේද ඔවුන් වෙසෙන පරිසරය විසින් යැයි පැවසීම අතිශයෝක්තියක් නොවේ. තම දීර්ඝකාලීන සහ පීඩාකාරී පරිනාමය ඉතිහාසය පසු කළ මානව වර්ගයා දැන් ගතකරමින් සිටින්නේ විද්‍යාව සහ තාක්ෂණයේ ඉතා ශීඝ්‍ර ත්වරණයක් සහිත කාල පරිච්ඡේදයකි. එවැනි පසුබිමක මානව වර්ගයා තමන් අවට පරිසරය විවිධාකරයෙන් සහ පාලනයක කළ නොහැකි මට්ටමින් රූපාන්තරණයකට ලක්කරමින් සිටියි. තමන් පය ගසා සිටින භූමිය විනාශ කරන ජාතියක් වෙත්ද එම ජාතිය තමන්ගේම මිනීවළ කැණ ගනී. යම් භූමියක ඇති වනවැස්ම එකී භූ පිරිසර කලාපයේ දිවිගෙවන මානවයාට අපට සුපිරිසිදු වාතය ලබාදෙන එකී භූමියේ ඇති පෙණහලු වෙතියි තියඩෝ රූස්වෙල්ට් නම් ඇමරිකානු ජනාධිපතිවරයා කළ ප්‍රකාශය මඟින් එකී මානව ක්‍රියාකාරීත්වයෙහි ත්‍රීවතාව අවබෝධ වනු ඇත.

මිනිසා සහ ගහකොළ පිළිබඳ මනා දෘෂ්ටාන්තයක් ශෙල් සිල්වස්ටීන්ගේ ‘the giving tree and the boy’ නැමැති කතාවෙන් පිළිබිඹු කරයි. මෙම කතාවෙහි ඇති සාරය මඟින් පෙන්නුම් කරන්නේද මානවයා සහ පරිසරය අතර පැවති ඒක පාර්ශ්වික ගනුදෙනුවය. එනම් කිසිදා වෙහෙසට පත් නොවී සත්වගට සෙත් සැලසූ ස්වභාවධර්මය නැමැති දායකයාද, ඒ පිළිබඳ කෘතඥපූර්වක නොවී අනවතරව එහි පෝෂණය උරාබී වැඩුණු මානව වංශය නැමැති ග්‍රාහකයා පිළිබඳ දෘෂ්ටාන්තයක්ද එතුළ අන්තර්ගතය. සැබවින්ම එකිනෙකා මත පවත්වන මෙම සහපරායත්තතාව මේ වන විට තීරණාත්මක අඩියකට පත්ව ඇත. ගස්කොළං සහිත ස්වභාව පරිසරය මානවයා වෙත තම නොයෙක් ඵල දායද කරමින් සිටී. එම දායාද ලබාගත් මානව වංශය එම දායාද වලින් පොෂණය වී වැඩෙමින් වියපත්ව අවසානයේ කිසිවක් කරකියාගත නොහැකි මහල්ලෙක් බවට පත්වෙයි. ඒ හා සාපෙක්ෂව පලවැල නෙළා ගන්නට ඉඩහරින ගස, තම අතුපතර කපා ගැනීමටද අනතුරුව තම කඳ ලබාගැනීමටද ඉඩ ලබාදීමෙන් අනතුරුව කොටයක් බවට පත්වූවා සේම, වත්මන වන විට අපව රැක බලාගත් පරිසරය බෙහෙවින්ම වියපත් වෙමින් ඇත. තවදුරටත් එයට පෙර මෙන් නැවුම් වාතයෙන් අපගේ පපුකුහර පුරවා ලීමට නොහැකිය. වස විසෙන් තොර පළවැලින් හෝ සිහිල් පැනින් අපව සතපවාලීමට නොහැකිය.

සැබවින්ම මෙම ගස සහ ළමයා පිළිබඳ දෘෂ්ටාන්තය මඟින් ස්වභාව ධර්මය මාතෘත්වයට නැඟීමද සිදු වෙයි. එමඟින් එලෙසම ස්වභාව ධර්මය සහ පාරිසරිකව විනාශකාරී මානව කෙන්ද්‍රවාදය අතර පවතින පරස්පරතද නිරූපිතය. සැබවින්ම ගොස් කොළං වලින් වැටෙන පත්‍ර අහුලාගන ඔටුනු තනා කරනු ලබන කෙළි සෙල්ලම් මඟින් නිරූපණය අප කුඩා කල සිටම නිරූපණය කර ඇත්තේද මෙම ස්වභාවධර්මය අභිබවා එය තුළ අධිපති බවක් හිමිකරගන්නා රංගනයම නොවේද? අනෙක් අතට අප පරිසරයට කර ඇත්තේ අප වර්ගයා විසින් අප එකිනෙකාට මේ දක්වා සිදුකරගත් දෙයම නොවේද? අපි එකිනෙකා අතර පවත්වා ඇත්තේ කෙතරම් විනාශකාරී ගණුදෙනුවක්ද අප අවට පරිසරය දෙස බලද්දී වුව පෙනෙන්නේ එකී ක්‍රියාකාරකම්වල ප්‍රතිබිම්බයක් නොවෙද?

මෙලෙස අප තවදුරටත් ක්‍රියාකළහොත් අපට දිවිගෙවීම සඳහා සමාජයක් නොමැති වනු ඇත. අප අවට පරිසරය විනාශ කරන්නේ නම් අපට දිවිගෙවීම සඳහා සමාජයක් ඉතිරිනොවනු ඇති බව මාග්‍රට් මීඩ් නම් මානවවිද්‍යාඥ වරිය වරක් පැවසුවේ එනිසාය. අනෙක් අතට අපි සියලු දෙනාම මනා නිවසක් තනා ගැනීමට සිහින දකිමු. එහෙත් අප දිවිගෙවන්නේ අප විසින් විනාශ කරගත් ග්‍රහලොවක නම් එම ග්‍රහලොව එබඳු සිහින නිවසක් තැනීමේ අර්ථයක් ඇත්ද?

අප බෞද්ධ සම්ප්‍රදාය මඟින් මානසික ඒක්‍රාග්‍රතාවෙන් යුත් මිනිසා සම කරන්නේද දසත අතුපතර විසිරුණ ගසකටය. මලින් හා පලතරුවලින් පිරුණු එම ගසකට කුරුල්ලෝ පලතුරු කෑමටත් පැමිණෙති. සත්තු එහි සෙවණ යට විවේකය සොයති. එහෙත් ගස ඒ කිසිවක් නොදනී. ඒ අනුව ගස් හා වැල්වලින් යුත් පරිසරය, එය තුළ වඩාත් සාර්ථකව පැවතීමේ යථාර්ථමය ස්වභාවය අපට මානාව අවබෝධ කර දෙයි. අනෙකාගේ පැවැත්මට ගරු කරන්න, නොඇලී දිවිගෙවන්න එය අපට උගන්වයි. පරිසරය අපට ලබාදෙන දෙයට පෙරළා කෘතගුණ සලකන්න. එය සුරැකීමට නොහැකි නම් අවම වශයෙන් එය විනාශ නොකරීමට වග බලාගන්න.

මාතෘකා