කියන්නා කෙසේ කීවත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුය

 ඡායාරූපය:

කියන්නා කෙසේ කීවත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුය

ශ්‍රී ලංකාව ගෝලීය ඉස්ලාම් ත්‍රස්තවාදයේ යුද බිමට ස්ථාවරව ඇදී යෑමේ අනතුරින් මිදෙන්නේ කෙසේද යන්න අප ඉදිරියේ ඇති අභියෝගය බව පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳව සිදු කළ පළමු සාකච්ඡාවේදී අප ඉදිරිපත් කළ අදහස විය. ඉස්ලාම් අන්තවාදය මුස්ලිම් සමාජයෙන් ඉවත් කිරීමට එහි මනෝ විද්‍යාත්මක පදනම පරාජය කිරීම අවශ්‍ය බවත් ඒ සඳහා දේශීය මුස්ලිම් සමාජය දරන උත්සාහයට සහාය දීම අවශ්‍ය බවත් එහිදී වැඩි දුරටත් පෙන්වා දුන්නෙමි.

දැන් පෙනෙන අන්දමට ලංකාවේ දේශපාලන නායකයන් සැලකිය යුතු පිරිසකට අවශ්‍යව තිබෙන්නේ එය නොවේ. ඔවුන්ට අවශ්‍යව ඇත්තේ බොර දියේ මාළු බෑමටය. එමඟින් තමන්ගේ බල අභිවර්ධනය සලසා ගැනීමටය. ඔවුහු සියුම් ලෙස මුස්ලිම් භීතිකාවක් මවමින් සිංහල සමාජය තුළ ජාතිවාදය නැඟිටුවීමට උත්සාහ කරති. එම සිද්ධියෙන් පසුව දිග හැරෙන විවිධ දේශපාලන ජවනිකා දෙස බලන විට අපට පෙනෙන්නේ එයයි.

පාර්ලිමේන්තුව තුළත් එයින් පිටතත් පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව දිග හැරෙන ජවනිකා පෙන්වන්නේ දේශපාලකයන් සිය බල ව්‍යාප්තිය ගැන වැඩි සැලකිල්ලක් දක්වන ආකාරය මිස අන් කවරක්වත් නොවේ. තමන්ගේ කුණු රෙදි ඔවුහු ප්‍රසිද්ධියේ සෝදති. ජාතික ආරක්ෂාව ඔවුන් එකිනෙකා දෙසට යොමු කරන පාපන්දුවක් වී ඇත. පාර්ලිමේන්තුවෙන් පිටත සිදුවන්නේද එම බල අරගලයේම දිගුවකි.

ටික දිනකට පෙර සිංහල ජාතිය වඳ කිරීමට මුස්ලිම් වෛද්‍යවරයකු සිසේරියන් සැත්කම් යොදා ගත් බවට ඉදිරිපත් වූ චෝදනාව මඟින් ඇති කරන ලද ආන්දෝලනය තවමත් ඉදිරියට යමින් තිබේ. අධිකරණ සහ පරිපාලන පරීක්ෂාවකට ලක් කළ යුතු සිද්ධියක් පිළිබඳව සමහරු දැනටමත් නඩු අසා තීන්දු දී ඇත. එය පෙළපාළි, විරෝධතා, පෝස්ටර් සහ උපවාසවලද මාතෘකාවක් වී ඇත. මුස්ලිම් කාන්තාවන් අඳින බුර්කාව තහනම් කිරීමට ඇරඹුණු උද්ඝෝෂණය දැන් සමස්ත රාජ්‍ය සේවාවේ පිරිමින් සහ ස්ත්‍රීන්ගේ ඇඳුම නියම කරන චක්‍රලේඛයක් දක්වා දුර ගොස් ඇත.

ත්‍රස්තවාදී ප්‍රශ්නය අමතක කරන තරමට දේශපාලකයන් සිය බල අරගලයේ නිරත වන අතර රාජ්‍ය පරිපාලකයන් එයට අඩව් අල්ලන බව පෙනේ. ඔවුහු “රෝමය ගිනි ගනිද්දී නීරෝ නමැති පාලකයා වීණා වාදනය කරමින් සිටි බවට”අප අසා ඇති කතන්දරය යළි සිහිපත් කරති. බහු ජනතාව පෙන්නුම් කරන්නේ බෞද්ධ කතා වස්තුවක එන තල් අත්තකට බෙලි ගෙඩියක් වැටුණු ශබ්දයට දිව ගිය වන සතුන් ඇති කළ කලබැගෑනියයි. අසන්නෝ සිහිබුද්ධියෙන් නොව, විපරීත බුද්ධියෙන් අසන බව පෙනේ. ඔවුහු හිස් ලූලූ අත දිව යති. අවිඥානක මනස මුදා හැරෙන රංචු මානසිකත්වයට ජනතාවද ඇදී යමින් සිටිති. අවසානයේ සිදුවන්නේ දේශපාලකයන්ට මාළු බෑමට සුදුසු කෙම්බිම් කරා ජනතාව දක්කාගෙන යෑමය.

නිදහස ලබා වසර හැත්තෑවක් ගතවීත් අප තවම විචාර බුද්ධියෙන් ක්‍රියා කරන ජනතාවක් බිහි කර ගැනීමට අසමත් වී සිටින බව පැහැදිලි කර ගැනීමට මේ සිදුවන දේවල් ප්‍රමාණවත්ය. ජාතිවාදය තවමත් ඔවුන්ව ඇද ගන්නා දෘෂ්ටි වාදයයි. 1915 සිංහල - මුස්ලිම් කෝලාහලය, 1958 ජාතිවාදී කෝලාහලය, 1983 කලු ජූලිය යන අවස්ථාවලදී අප දුටු ආකාරයටම ජාතිවාදය සිංහල සමාජයේ ක්‍රියාත්මකය. හාස්‍ය දනවන දෙය වන්නේ 1983දී සිංහල සමාජයේ ජාතිවාදයෙන් බැට කෑ දෙමළ ජනතාවගෙන් සමහරුන්ද දැන් මෙම මුස්ලිම් විරෝධයට එක් වී සිටීමය. උතුරු පළාතේ තාවකාලිකව නැවතීමට ගෙන ගිය අහමදියා අනාථයන් සහ ඇෆ්ගනිස්ථාන අනාථයන් එම ප්‍රදේශවලට වැද්ද ගැනීමට සමහර දෙමළ දේශපාලකයෝ සහ පරිපාලකයෝ විරෝධය පෑහ. මේවායින් පෙනෙන්නේ සිංහල සමාජය මෙන්ම දෙමළ සමාජයද ජාතිවාදී මුස්ලිම් විරෝධයට සම්බන්ධ වී සිටින ආකාරයයි. ඔවුන් සියලු දෙනා පෙන්වන්නේ ජන රංචු හැසිරෙන විට පිළිබිඹු කරන මානසිකත්වයයි. මෙහි ප්‍රතිඵලය වන්නේ මුස්ලිම් සමාජයේ එක් කොටසකට ඇතුළු වූ ත්‍රස්තවාදී මනෝභාවය දිගටම ජීවත් කරවීමය.

තමන් ඉදිරියට පැමිණෙන කට කතාවක් හෝ පුවත් වාර්තාවක් හෝ සමාජ ජාල ප්‍රකාශනයක් හෝ විචාර බුද්ධිය යොදා විමසා බලා එය වටහා ගැනීමට උත්සාහ කරන්නේ නැති ජනතාවක් සිටින විට වාසිය සැලසෙන්නේ කපටි දේශපාලකයන්ටය. ඔවුහු තමන්ට කත් අදින මාධ්‍යයන් යොදාගෙන තමන්ට අවශ්‍ය පරිදි සිද්ධීන් නිර්මාණය කරමින් ජනතාව කලබල කරවන අතර එම බොර දියේ මාළු බාති. මේවා පාර කපන්නේ අවසානයේ අපේ ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාව මර්දනය කිරීමටය.

ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමට 2015දී ඉදිරියට පැමිණි සටන් පාඨ වෙනුවෙන් කිසිවකු අද පෙනී සිටින්නේ නැත. විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සහ දූෂණ නැති කර යහපාලනය රජ කරවීමට දුන් පොරොන්දු බලයේ සිටින අයට මතක නැත. කල් දැමූ පළාත් සභා ඡන්දය විසින් “බලය බෙදා හැරීම” අවලංගු කාසියක් බවට පත් කරනු ලැබ ඇති බව කිසිවකුට නොපෙනෙයි. මීළඟ ජනාධිපතිවරණය “ජාතික ආරක්ෂාව පළමුව, ප්‍රජාතන්ත්‍රවාදය පසුවට.” යන සටන් පාඨය ඉදිරිපත් කළහොත් අප නම් පුදුම වන්නේ නැත. වසර තුන්දහසකට පෙර ප්ලේටෝ ඇතෑන්ස්හි ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් සිදු කළ පහත ප්‍රකාශය අදටද වලංගු බව සඳහන් කළ යුතුය.

“රංචු මානසිකත්වය විසින් දේශපාලන බුද්ධිය යටපත් කරනු ලැබූ විට සහ ජනප්‍රියවාදී ඒකතාන්ත්‍රිකයන් ජනතාවගේ මනස අල්ලා ගත් විට ප්‍රජාතන්ත්‍රවාදය ඒකාධිපතියන්ට මාර්ගය පාදා දෙයි.”

මාතෘකා