පිළිවෙත් වස්තුව

 ඡායාරූපය:

පිළිවෙත් වස්තුව

යටගියදවස සතරැස් නුවර මිත්‍ර නම් රජ්ජුරු කෙනෙකුන් රාජ්‍ය විචාරත්. ඒ රජතෙම හට මුහුකුරා ගිය දැනුමැති විකසිත් නම් මහමැත්තෙක් වියැ. ‍වේද ශාස්ත්‍ර, අර්ථ ශාස්ත්‍ර, රාජතන්ත්‍රාදී පරිනත බැවින්මැ මෙත්පල් තෙම හේ පුරෝහිත තන්ද තැබ්බවීයැ. විකසිත් තෙම අර්ථ සහිත ධර්ම සහිත කතිකාවම කරත්. ඒ තෙම කෞටිල්‍ය චානාක්‍යාදී බමුණු පඩුවනටද ගුරු තන්හි තැබීමටද යෝග්‍ය වන්නහුයැ.

මුහු සුසංයෝගී තන්ත්‍රය ඒ සතරැස් නුවර කේතුමතී නුවරටද නිගා දෙමින් මහත් ඉසුරින් ආඩ් වී එපවත් නුවරින් නුවර පතළවියැ.

මේ පවත් ඇසූ සවන් ඇති ලිච්ඡවී නම් නුවරෙක නරනිඳුන් සතරැස් නුවර බැලීමට සිත් ලා සිය පුත්‍ර තෙම බැනවීයැ.

"පුත නුඹ මෙරට කුමාර යැ අප පෙරාතූ රජුන් මෙන්මැ මාද අප නුවරට මහත් ඉසුරු ප්‍රාප්ත කළෙම්. ඉඳින් මතු කල නුඹදෑද මහත් ඉසුරු ප්‍රාප්ත කළ යුත්තාහුයැ. ඉදින් අප නුවරට නිගාවන මහත් ඉසුරුමත් රාජ්ජක් වේ. මා එනුවර දැකුමට රිස්සෙමි. පුත එව එහි යම්හ"යි වදාළහ.

ඒ ඇසූ කුමාර තෙම " පියාණන් වහන්ස.. ඒ කිනම් නුවරෙක් දැ" යි පිලිවිසීය.

"පුත එනම් සතරැස් නම් නුවරෙකි" රජතෙම පිළිවදන් දුන් කලැ කුමාර තෙම වහා සුපුෂ්පිත තඹරක් සේ හසකැන් පා

"වන්නාටය පියණෙනි... බෝ කල් මරා යා යුත්තේය. ඉඳින් කම් නැත යම්හ" පැවසීයැ.

ලිච්ඡවීහු නැව් නැග කල් මර මරා මහත් ආයසයෙන් සතරැස් නුවර බලා පිටත්වැ අවසන සතරැස් නුවර මුවදොර නැංගුරම්ලා හාත්පස පිරික්සූහ.

ලිච්ඡවි කුමාරතෙම හාත්පස පිරික්සා "අහෝ පියාණනී, සැබව මෙනුවරනම් මනායැ. සත් මහල් දස මහල් අවන්සැල් .... දෙව් ලොව දෙව්ලියන් මේ පුරගනන් බදුම විය යුතුයැ. මේ රථ වූ කී මනාකොට තැනූ සුවපහසු කුටි වැන්න...මේ සලුපිලි කසීසලු පරයයි..." කුමාරතෙම ඉසිඹුවක් නොගෙනම බිනූහ.

මුවදොර වටා නැගී සිටි සත්මාල් දසමාල් අවන්සැල් තුළින් මහත් ස්ඵෝටනයක් සම මහත් ආලෝක කදම්බයක් දුටු කුමරතෙම මා හඩින්

"පියාණනී, ඒ නම් මහත් ගිනි කෙළියකි. මෙනුවරුන් අවන්සැල් තුළ මහත් සොම්නසින් ගිනිකෙළි කරත්. මේවා ලිඡ්ඡවීනට ආගන්තුකයැ" කීහ.

පිය පුතු දෙදෙන පුරසිරි බලමින් යනුයේ එක් මංසංධියකට වන්හ.

එහි ජනතෙම දෙපිල්වැ කෙළි කරත්. ඒ දුටු ලිච්ඡවී කුමාරතෙම

"පියාණනී, ඒ යම් පන්දු කෙළියකි" පැවසීය. රජ්ජුරුවෝ එදෙස බලාහුන්වනමැ සිට

"පුත... ඒ පන්දුව මහාර්ඝයැ... දූම පන්දුවකැ.... ඉඳින් උනුනට පන්දු ඒ අත මේ අත යවත්. ... මෙහි ජය නිර්ණය කිමැ" විමසීයැ.

මඳක් බලාහුන් ඒ කුමරුන්

"පියරජුනි, දූමය අවසන් වන තන්හි එය අත්ල රඳවන්නෝ ඉවත් වෙති.... "යි පවසා

"පියාණනී.. . දැන් ඒ ජල කෙළියෙකි.... ජලය මධ්‍යයේම පන්දු කෙළි කරත්... පියාණනී දිටීද... දැන් උන් එකිනෙකා වැලඳගනී ... මේ මහත් ආදර්ශයකැ" කීහ.

ඊට රජ තෙම "පුත මේ කෙළි අපට ආගන්තුක වේ. තව තව බොහෝ දෑ දැනගනු රිස්සේ නම් මෙපුර වැස්සකුගේ උපකාර ඇවැසියැ... " යි පවසා වීථි සරමින් හුන් පුගුලකු ගිවිස්වා ඒ පුගුල් තෙම හා නික්මිණැ.

කුමරතෙම වැලිත් හඬනැඟීයැ

"අහෝ මේ කිමැ... මහා තටාකාංගනයෙක් මැදැ තැනූ මන්දිරයෙකි.... සගය ඒ කිමැ" ඇසීය.

"කුමරුණි.... මේ අප රාජ රාජ මහාමත්‍යාදින් කතිකා කෙරෙන තැන්යැ"පැවසීය.

"ඉඳින් මේ ජල තටාකය කිමැ.." රජතෙම විචාරහ.

"වහන්ස අප රජමැත්තෝ ජන සෙත පතා දූලි මඩ නොතකා වෙහෙසෙත්. ඉඳින් උන් ගත වැකෙන කප්පරක් මඩ දූලියෙන් පවිත්‍රව යාම් ඊම් කිරීමට මේ ජලතටාකාංගන මැද කෙරිණැ" පැවසීයැ.

"පුත බලව මේ මැති තෙම මෙබිම පිනින්ම පහළ වියැ.." රජ තෙම පැවසීය.

පිය පුතු දෙදෙන මෙනුවර සිරි බලත් කුමරතෙම මෙසේ පිළිවිසීයැ.

"සගය, මේසා ජනතෙම හික්මවනු වස් මෙහි රජතෙම පනවන දණ්ඩන කිම"

"කුමරුණි මෙහි කිසිත් දණ්ඩන නොවේ. සොරහු මැරහු උල තබන්නා වූ උල පොල්ගෙඩි ලෙලිගැසීම්හි යොදත්. පෝරකය ඔන්චිලි ක්‍රීඩාවේ යොදත්. විකසිත් බමුණුතෙම අනුසාසනයෙන්මැ යහකාර්‍යම සිදුවේ"පැවසීය.

ඊට රජතෙමේ

"දරුව ඒ බමුණුතෙම කොහි. උන් හා කතිකා රිස්සෙමි." පැවසීයැ.

ඒ පුගුල් තෙම අරලියා මලින් සුපුෂ්පිත් එක් මන්දිරයක් පෙන්වා පිටවූහ.

නේක ඇවිටිල්ලෙන් ආයාසයෙන් දොරටුපාලයන් කැමති කරවාගත් පිය පුත් දෙදෙන බමුණුතෙම අබිමුඛ වී

"බමුණාන තෙප පුර තන්ත්‍ර පිළිවෙත් අගනේයැ. ඒ අප තන්ත්‍ර පිළිවෙත් පරයයි. ඉදින් නුඹ තෙම රිස්සේනම් අපටද අර්ථ සහිත ධර්ම සහිත ඒ පිළිවෙත් රත්නය දෙසුව මැනැව" යි රජතෙම පැවැසීයැ.

ඊට ඒ විකසිත් බමුණුතෙම "වන්නාටයැ. තෙප පුර ජනී ජන කෙරේ සානුකම්පිකවම දෙසමි. එව අසව "යැයි පවසා අසුන් පැනැවීයැ.

"ඉඳින් අප නුවරද තව තවත් ඉසුරු ප්‍රාප්ත වෙව!" යි තුටු සිත් උපදවා තුටු පහටුව දෙසුම් අසන්නට රිසිවැ පිය පුත් දෙපළ අසුන් ගත්හ.

වැලිත් ලිච්ඡවීය බලා ගිය ලිච්ඡවී පියපුත් දෙපළ ලිච්ඡවී නුවර තවත් එක් සතරැස් නුවරෙක් කළහ....--

 

[සුසන්ත බණ්ඩාර]

 

මාතෘකා