කුණු කඳු මත සැතපෙමුද?

 ඡායාරූපය:

කුණු කඳු මත සැතපෙමුද?

ගත වූ ඉතිහාසය පුරාම විවිධ කාලවලදී අපේ රටේ විවිධ ප්‍රදේශවලින් කුණු එහෙමත් නැත්නම් කසළ සම්බන්ධ කතා අහන්න දකින්න ලැබුණා. ඒ හැම එකක්ම දූෂණයෙන් පිරි දුගඳ හමන ඒවා. බ්ලුමැන්ඩල් කුණු කන්දේ සිට අරුවක්කාලුව දක්වා දිවයිනේ සතර දිග් භාගයෙන් වාර්තා වූ මෙම කතාවලට කසළ කඳු නායයෑම් සහ ගිනි ගැනීම්, වාතය දූෂණය වීම නිසා ජනතාවට ඉන්න හිටින්නට නොහැකි වීම්, ජල මූලාශ්‍ර දූෂණය වීම්, වනජීවීන්ට කුණු කඳු මගින් ජීවිත තර්ජන එල්ලවීම් (මින් පෙර අභයභූමියේ සිට ඒ ගැන ලියා ඇත්තෙමි.), මනුෂ්‍ය ඝාතන වගේම කළු සල්ලි සංසරණය වීමත් ඇතුළත්. මීතොටමුල්ලේ අහිංසක වැසියන් තිස් තුන් දෙනකු පණපිටින් වළලා ඝාතනය කළ අපේ රටේ කසළ කළමනාකරණ ඔස්තාර්ලා දැන් අරුවක්කාලුවේ අසරණ ජනතාවගේ ජීවිත කුණු කන්දකට යටකරන්නට දරන උත්සාහය සහ එය සාධාරණීකරණය කරන ආකාරයත් ජුගුප්සාජනකයි. මේ අල්ලපනල්ලේ කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ කම්හල් භූමියක තිබී එක්සත් රාජධානියේ සිට 2017 හා 2018 අවුරුදුවලදී අපේ රටට ගෙන්වා ඇති කසළ බහාලුම් සිය ගණනක් සොයාගන්න ලැබීමත් පසුගිය දිනවල උණුසුම් මාතෘකාවක් වුණා.

අපි එදිනෙදා ජීවිතයේදී කසළ වශයෙන් පරිසරයට බැහැර කරන ද්‍රව්‍ය ජනනය වීම අවම කිරීම, ඒවා විවිධ ක්‍රම මගින් නැවත පරිහරණය කිරීම හා ප්‍රතිචක්‍රීයකරණය වැනි ක්‍රම මගින් කසළ ගැටලුවට සාර්ථක විසඳුම් සෙවීමට ලොව පුරා විවිධ රටවල්වල වගේම අපේ රටෙත් විවිධ පුද්ගලයන් සමත්ව තිබෙනවා. නමුත් තවදුරටත් එවැනි සාර්ථක කසළ කළමනාකරණ ක්‍රමවේද අපේ රටට ‘කුණුහරුප’ වෙලා තියෙන්නේ කසළ සමඟ රමණයේ යෙදෙන පිරිස, එහෙමත් නැත්නම් කසළ ප්‍රශ්නයක් ලෙසම පවත්වාගෙන යෑම මගින් තම සුඛ විහරණය සාදාගත් පිරිස මෙරට තුළ බලවත්වීම නිසා. ඒ වගේම තමන්ගේ නිවසේ ගොඩගැසෙන කසළ මහ පාරට හෝ අනුන්ගේ පිළිකන්නකට විසි කර තමන් කසළ ගැටලුවෙන් මිදුණු බව සිතා සැනසෙන ජනතාවත් මීට වගකිව යුතුමයි.

අපේ රට කුණු ගොඩක් වීමෙන් ප්‍රතිලාභ ලබන විවිධ පිරිස් සිටිනවා. පළාත් පාලන ආයතනවල කසළ එක් රැස් කරන කම්කරුවාගේ සිට රට කරවන පාලකයන් දක්වා පුළුල් පරාසයක පැතිරුණු පිරිස් ඒ අතරට අයත්. කුණු ට්‍රැක්ටරයේ හෝ ලොරියේ කම්කරුවන්ට නගරවැසියන්ගෙන් හිමි වන ‘සන්තෝසම’ අප නොසලකා හැරියත් ඒ හැර අතිවිශාල මුදල් ප්‍රමාණයක් මේ කසළ කඳු වටා එක්රැස් වී සිටින සෙසු පුද්ගලයන් අතර සංසරණය වන බව පෙනෙන්නට තිබෙනවා. ඔවුන් කපුටන් වාගේ කසළ ගොඩවල් වටා රොද බඳින්නේ ඒකයි. කසළ ප්‍රවාහනය සහ ගොඩ ගැසීම සඳහා අවශ්‍ය යාන වාහන සහ යන්ත්‍ර සූත්‍ර ලබාදෙන ව්‍යාපාරිකයන්, කසළ පිරවීම සඳහා ඉඩම් ලබාදී මුදල් උපයන පුද්ගලයන්, ඔවුන් අතර සම්බන්ධීකරණය සිදුකරන ප්‍රාදේශීය දේශපාලකයන්, මෙම කටයුතු නියාමනය කරන පාතාල කල්ලි නායකයන්, අල්ලස් මුදලට යටත්ව ව්‍යසනයන් සඟවමින් මුනිවත රකින නිලධාරීන්, පිටරටින් පවා කසළ මෙරටට ආනයනය කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති සකස් කරන ප්‍රතිපත්ති සම්පාදකයන්, තම පාර්ලිමේන්තු අසුන පවා පාවා දෙමින් කසළ කඳු සමඟ රමණයේ යෙදෙන්නන්ට අවශ්‍ය නීතිමය පසුබිම සකසා දෙන ජාතික මට්ටමේ දේශපාලකයන් වැනි එකී මෙකී නොකී විශාල පිරිසක් කුණු කඳු අරක්ගෙන සිටිනවා. මේ බහිරවයන්ගේ ධනෝපායන මාර්ග ඇහිරී යෑම වළක්වා ගැනීමට ඔවුන් තිරසර කසළ කළමනාකරණයක් සඳහා ඇති සියලු මාර්ග අහුරා දමනවා. ඒ නිසා නිකසළ රටක් නිර්මාණය කරගැනීමට නම් මෙම බහිරවයන්ගෙන් අපගේ කසළ කළමනාකරණය මුදා ගත යුතුමයි.

නමුත් මේ ගැන සාමාන්‍ය වැසියන්ට ගැඹුරු අවබෝධයක් වගේම උනන්දුවකුත් නැති බව කනගාටුවෙන් වුණත් කිව යුතුමයි. ඔවුන් තමන්ගේ කසළ තම හතර මායිමෙන් පිටතට විසි කර සැනසෙද්දී තක්කඩි දේශපාලකයන් සහ ප්‍රතිපත්ති සම්පාදකයන් පිටරට කුණු කඳුත් අපේ රටේ ගොඩගසාගෙන ඒ සමඟ රමණයේ යෙදෙන්නට සූදානම් බව සාමාන්‍ය ජනතාව දන්නේ නැහැ. ශ්‍රී ලංකාවේ ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ප්‍රතිපත්තිය අනුව වගේම උපද්‍රවකාරී අපද්‍රව්‍ය දේශසීමා හරහා ප්‍රවාහනය සහ බැහැර කිරීම පාලනය කිරීම පිළිබඳ බාසල් සම්මුතිය (1981) අනුවත් කිසිදු අපද්‍රව්‍යක් මෙරටට ගෙන්වීමට හැකියාවක් නැහැ. නමුත් පසුගිය රාජපක්ෂ පාලන සමයේ නිකුත් කළ ගැසට් නිවේදනයක් හරහා රේගු ආඥා පනත, විනිමය පාලන පනත, ආනයන අපනයන පාලන පනත වැනි අණ පනත්වල පාලනයෙන් තොරව භාණ්ඩ ආනයන හා අපනයන කිරීමට අවශ්‍ය නීතිමය පසුබිම සලසා දීම තුළින් විදේශීය රටවල කුණු කඳුත් අපේ රටට ආනයනය කරන්න මඟ පෑදුණා. ඒ වගේම වර්තමාන ආණ්ඩුව සම්බන්ධ සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුමටත් කසළ ආනයනය ඇතුළත්.

මේ ආකාරයේ අවිධිමත් කසළ බැහැරලීම් නිසා විවිධ සමාජාර්ථික සහ පාරිසරික ප්‍රශ්න රැසක් ඇති වෙන්න පුළුවන්. ඉහත සඳහන් කළ එවැනි ප්‍රශ්න හේතුවෙන් හුස්ම ගන්නට පිරිසුදු වාතය අහිමි වෙන්නේ අපටමයි, බොන්නට පිරිසුදු ජලය අහිමි වන්නේ අපටමයි, මැසි මදුරු මී උවදුරුවලින් රෝගී වන්නේ අපමයි. කොටින්ම කීවොත් ඉන්න හිටින්නට රටක් අහිමි වන්නේ අපටමයි. ඒ නිසා අපේ නිවෙස් තුළ ජනනය වන කසළ සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කර මේ ගැටලුවට විසඳුමක් සොයන්නට මුලපිරීම කාලීන අවශ්‍යතාවක්. අඩු තරමින් නිවෙස් තුළට අනවශ්‍ය දෑ රැගෙන ඒමෙන් වැළකීම හා අවශ්‍ය තරමට පමණක් එදිනෙදා අවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය රැගෙන ඒම, නැවත නැවත භාවිත කළ හැකි දෑ එසේ භාවිත කිරීම හා නිවසේ ජනනය වන කසළ වර්ගීකරණය කර පළාත් පාලන ආයතනයට ලබාදීම වැනි ක්‍රම මගින් අපට ඒ සඳහා ප්‍රවේශයක් ලබාගන්න පුළුවන්. ඒ වගේම මෙවැනි සංවේදී කාරණා සම්බන්ධයෙන් ලෝක ප්‍රවණතා සහ දේශපාලන අධිකාරියේ හැසිරීම ගැන අවධානයෙන් පසු වීමත් පුරවැසියන් හැටියට අපේ යුතුකමක් සහ වගකීමක්.

මාතෘකා