වැඩ නැති ගැහැනු

 ඡායාරූපය:

වැඩ නැති ගැහැනු

 

'වැඩ' යනු ගැහැනු යන නාම පදය සමඟ ඈදී තිබෙන්නකි. ගෘහය තුළ පමණක් නොව ආදායම් උපයන්නියක ලෙසද වර්තමාන ගැහැනිය ද්විත්ව භූමිකාවක් රඟදක්වන්නේ වැඩ සමඟිනි. කලබලකාරී නූතන ලෝකය රැකවරණ ආස්ථානයේ සිට පෝෂණ ආස්ථානය වෙත ගැහැනියගේ භූමිකාව එසේ රැගෙන යෑම ඇයට අපමණ වැඩ කරන්නට හේතු පාඨ සපයන්නේය. මේ අතරේම කවි සමය එළිදැක්වූ ලෙසම තවමත් සමාජය ගැහැනියගෙන් ලාලිත්‍යයත් සුන්දරත්වයත් නොඅඩුවම බලාපොරොත්තු වන්නේය. කොයිතරම් වැඩ අධික වුවද සුන්දරව සිටින්නට අකමැති ගැහැනියක මේ මිහිමත ඇතැයි සිතිය නොහැකිය.

නමුත් සුන්දරත්වය පවත්වා ගැනීම හා වැඩ කරන්නේ යැයි බාහිර සමාජය විසින් විශ්වාස කිරීම අතර ඇදහිය නොහැකි පරස්පරයක් පවතී. ඒ මෙසේය. ගැහැනියක සුන්දරව දිස්වීම ප්‍රියකරන බාහිර ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයම එම සුන්දර ගැහැනිය වැඩ කරන ගැහැනියකැයි විශ්වාස නොකරයි. මනාව නඩත්තු කළ නිය, ආලේපන ගැල්වූ මුහුණ, නවීන විලාසිතාවේ ඇඟලුම්, වෙනස් කළ හිසකෙස් විලාසිතා, ඉංග්‍රීසි ඌරුවේ කතාබහ යනාදී නූතන ගැහැනියකගේ මෙවලම් සමඟ ඇය වෙහෙස වී නිවසේ වැඩපල කරන්නියකැයි යන යෙදුම සමඟ අතාර්කික කරන්නේ ඇය ඇසුරු කරන බාහිර ලෝකයම විසිනි. නමුත් එය සත්‍යයක්ද?

සාම්ප්‍රදායික ගැහැනිය නිවසට කොටුවී සිටින්නීය. එය ඇගේ දෝෂයක් නොව ඇය වටා පරිසරය එසේ පවතින්නට ඇයගේ ලෝකය නිර්මාණය කළ නිසාය. බොහෝ විට නිවසේ වැඩපල පමණක් ඇය සතු ලෝකය වේ. මුළුතැන්ගෙය හා ගෙවත්ත වැඩියෙන්ම ඇසුරු කරන ස්ථාන වේ. මේ අතර රැඳෙන ඇයට නූතන ගැහැනිය සේ සමාජීය ජීවිතයට අවශ්‍ය අලංකරණ මෙවලම් හදිසියේ සහභාගී වන උත්සවයකට මිස අන් යමකට උවමනා නොවේ. බොහෝ නිවාසගත ගැහැනුන්ගේ පොදු තත්ත්වය මෙසේ වුවද ඊට වෙනස්ව නූතන ලෝකය හා මුහුව ආත්ම තෘප්තිය පිණිස අලංකරණය හා වැඩ යන දෙකම සමබරව ඉටු කරන්නියන්ද දුලබ නොවේ. එවැනි දිදුලන චරිත ගැන ඇතැම් මුහුණපොත සටහන්ද සාක්ෂි දෙනු ඇත.

නිවසේ ආර්ථිකයට උරදෙන සමාජීය ජීවිතයට විවෘත නූතන තරුණ ගැහැනියට සිය කටයුතු ඉටු කරගන්නට සිදුවන්නේ පහසුකාරක මෙවලම් සමඟිනි. එසේ නොවුණහොත් දෛනික කාලය කළමනාකරණය කරගැනීමේ ගැටලුවකට අනිවාර්යෙන්ම මුහුණ දෙන්නට සිදු වන්නේය. උදෑසන නැගිටින ඈ දඩිබිඩියේ විදුලි කේතල රත් කරන්නීය. රයිස් කුකරය දල්වන්නීය. පෙරදින කපා කොටා සකස් කළ හෝ කලින් පිසූ ආහාර ආහාරයට සුදුසු සේ දඩිබිඩියේ සකසන්නීය. වැකියුම් ක්ලීනර්, විසබීජ නාශක, සේදුම් කාරක, සුවඳ දියර ආදී එකී මෙකී නොකී දේ හා ගෘහයේ පවිත්‍රතාව පවත්වාගෙන යන්නීය. ඇඟලුම් රෙදි සෝදන යන්ත්‍රයට දමා සෝදා වේළා නවා පිළිවෙළට අසුරන්නීය. සති අන්තය අන්තර්ජාලය පිරික්සා විවිධාකාර අතුරුපස, ප්‍රධාන මෙනුවලින් පුරවා රස ආහාර සකසන්නීය. ඒ අතරේ ඉඩ ලැබෙන ඇසිල්ලේ තොල් නිය සායම් ආලේප කොට පහසුව පිණිස වෙනස් කළ හිසකේ ගැට ගසා හෝ ලිහා දමා කාර්යාල, ආයතන වෙත දිවයන්නීය. යනෙන පහසුවට හැකිනම් කුලී රථ සේවාද ලබාගන්නීය. මවුපියන්ගේ යුතුකම්ද පහසු ක්‍රම ඇසුරෙන් කෙසේ හෝ අඩු නැතිව ඉටු කර දෙන්නීය.

ඇගේ බාහිර ස්වරූපයන් දකින කාර්යාලයීය සගයෝ, යනෙන මඟ හමුවන ගැහැනු පිරිමි, අසල්වාසීන් පමණකුදු නොව නෑදෑ හිත මිතුරන් පවා "අනේ එයාට නම් මොකද ශෝක් එකේ ඉන්න බැරි. ගෙදර වැඩ නැතුව ඇති. බලන්නකෝ නියපොතු. වැඩ කරපු පාටක් පේන්නෙවත් නෑ" ආදී ලෙස මැසිවිලි නඟති. සුන්දරත්වය, විනෝදය, විවේකයට වඩා නිවසේ හෝ දරුවන්ගේ වැඩට නැහීගෙන සිටීම යුතුකමක් බවද නූතන ගැහැනියට පුනපුනා මතක් කර දෙති. නමුත් එසේ කියන පිරිමිම උදේ සිට රෑ වෙන තුරු නිදන ඇඳුමෙන් දවස ගෙවන තම බිරින්ඳෑවරුන්ට සාප කරයි. එසේ කියන ගැහැනුම පිරිසුදුකම පිළිවෙළ ගැන අන්‍යයන්ට දේශනා දෙයි.

සැබෑවටම වැඩ නැතැයි සිතන නූතන ගැහැනියකට බාහිර මිනිසුන් සිතනවාට වඩා කප්පරකට වැඩ ඇත්තේය. ගෘහයේත් රැකියාවේත් ඉහළ අධ්‍යාපනයේත් වැඩ කරගන්නේ ඇයම මිස ඒවා අන් අය ඇයට කරදෙන ඒවා නොවේ. වැඩ නැතැයි ඔබ සිතන ගැහැනිය අනේක වැඩ තනිව කරගෙන සුන්දරට දිස්වීම ගැන සැබවින්ම ප්‍රශංසා කළ යුතු මිස තැන තැන විචාරය කිරීම සාධාරණදැයි සිතිය යුතුය.

ලෝකය දියුණු වන්නට තැනූ උපකරණ පාවිච්චි කර වැඩ පහසු කරගත් පමණින් ඇය වැඩ නැති ගැහැනියක වන්නේ නැත. තැන තැන ඕපදූප බෙදමින් කාලය කා දමා, වැඩ වවාගෙන, උදේ සිට රෑ වන තුරු කොස්සත් ඉදලත් අල්ලාගෙන ඉඳ, මහා වැඩක නියැළී මෙන් දවසම විඩාපත් හා අපිළිවෙළ මුහුණෙන් සිටි පමණින් වැඩ ඇති ගැහැනු වන්නේද නැත. එමෙන්ම නූතන ගැහැනියගේ සමහර පුරුදුද සැමවිටම යකා කියන තරම් කළු නොවන වර්ගයේ ඒවාද වේ. මුහුණුපොත හෝ වෙනත් විනෝදාංශයක විවේකය හදාගෙන නියැළෙන්නිය තැන තැන ඵලක් නැති දේ දොඩමින් දවස ගෙවන්නියට වඩා සඵලදායී දේ මනසට ග්‍රහණය කරගන්නියකද වන්නීය. එහි සැබෑව බැලීමට දමාගත් පාට කණ්ණාඩිවලින් තොරව විමසන දිනක වැඩ නැති ගැහැනුන්ට සැබෑවටම වැඩ නැති දැයි වටහාගන්නවා ඇත.

 

[සජිනි උයන්ගොඩ]

මාතෘකා