තම්බ දිය ඇරලා කොස් දළු පිහාපියෝ

 ඡායාරූපය:

තම්බ දිය ඇරලා කොස් දළු පිහාපියෝ

මයෙ අම්මට බුදු බව අත්වෙන්ඩ ඕන ඇස්දෙක පාදලා මොනව හරි ලියන්ඩ පාර පෙන්නුවට. ඒ විතරක් නෙවෙයි බඩසයින් ඉන්ඩ වෙන්නෙ නැති තරමට උයා පිහා ගන්ඩ කියලා දුන්නට. හෙනං එතකොට තාත්තා අමතක වෙන්නෙ නැහැ. උන්දැ තමයි වේලක් ගාණෙ බත නැත්තං වෙන මොනව නමුත් තම්බගෙන කන්ඩ හරි ගැස්සුවෙ.

මං මෙහෙම කිවුවම කයෙ නමුත් ඇස් තෙත් වෙන්ඩ ඉඩයි මනුස්සකම් දන්නවනම්. මේ ලිවුම් පංගු අයිති කවුරු නමුත් ඒ මනුස්ස වේදනාව මා එක්කලා බෙදාහදා ගන්නවා නම් මං මනාපයි. මොකදෑ ඉතිං අපේ කෑම සංස්කෘතිය අස්සෙ හැංගිලා වැළලෙන්ඩ නොදී මෙව්ව ලියා තියන්නෙ ඔය ඇත්තන්ඩත් පිං සිද්ධ වෙන්ඩ නෙව. කී දෙනෙක්ගෙ දැනුමද මේ. ඉතිං ආයෙ වංගියක් කියන්නෙ මෙව්වා කියෝනවා නම් අල පරිප්පු විතරක් තම්බා කන්නෙ නැතුං ඩිංගිත්තක් වෙනස් විදිහට හිතලා ඉවිල්ලක් පිවිල්ලක් කර ගන්ඩ තැනුවොත් හොඳයි. හා එතකොට අර තග්ගෙඩි ගැන ලිවුවම එව්වා කාලා දන්න මතක උන්දැලා කිව්වා ආයෙත් උයාගෙන කන්ඩ හිතෙනවා කියලා. ඉතිං ඒකනෙ වෙන්ඩ ඕන.

මේ දෙතුන් දොහකට ඉස්සර අපේ බලංගොඩ ගෙදර ඉස්සරහ ගෙදර නැන්දම්මා කියනවා මහත්තයට අපේ විමලා නංගි මුලිච්චි කරන්ඩ හිතාන ඉන්නෙ මං කියලා. ඇයි ඇහුවම උන්දෑ දන්න පරණ ඉවුම් කරුමාන්තෙ ගැන විස්තර අහගන්ඩ ඉඩ පහසුවක් තනා දෙන්ඩයි කියැව්වෙ. එවුන්දෑ මුණට මුලිච්චි වෙලා අහගත්ත හැටියෙ එව්වා ගැන කියන්නම්. මොකද මේ බවලතියො කොහොල්ලෑත් රහට උයලා දෙන්ඩ තරම් දන්නවා. මයෙ ඇඹේනිට කියලා තිබ්බා පොළොස් වෑංජන හදනවා නම් හාල් පිටි එක්ක උඳු පිටිත් අඹරලා එක්කාසු කරන්ඩ කියලා.

ඉතිං ඔය ඉස්සරහ ගෙයි නැන්දම්මා හීන් කයියකට අල්ලාගත්තම මට අහගන්ඩ ලැබුණා රතුවට කහවට ඉදිච්ච ගොරොක් ගෙඩිත් වෑංජනයක් උයාගන්ඩ පුළුවන් කියලා. ඒක ඇහුවම මයෙ ඔළුවෙ මැවුණෙ බිලිං ඇඹුලක්. කැකුළු බත් පළංගානක් මරා ගන්ඩ බැරුවයැ තිබ්බ නම්. ඒ අස්සෙ උන්දෑ කොස් දළු වෑංජනයක් ගැනත් කිව්වා. අපි මීට ඉස්සර කොස් දළු මැල්ලුම ගැන කතා කරලා තිබ්බට මේ ආකාර වෑංජනයක් ගැන ඇහුවෙ නැහැ නෙව. ඒ හින්දා ගොරකා ඇඹුල ඉවිල්ල ගැන පස්සෙ කතා කරන්ඩ තියාගෙන මේ කොස් දළු වෑංජනය ගැන අහලා ඉම්මු.

මේකට ගන්නෙ අර සුරුට්ටු වගේ උරුන්ඩි වෙලා තියෙන හීන්ම කොස් දළු. ඒවා අර සිල්වර් ටිප්ස් කියන තේ වර්ගෙ වාගෙ හරියට. දිගෑදෙන්නෙ නැතිව තියෙන දළු කැකුළු. දෙතුන් දෙනෙකුට සෑහෙන පංගුවක වෑංජනයක් උයන්ඩ තරම් එකතු කරගන්ඩ නම් ඉස්පාසු ඇතිව කොස් අත්තක් දෙකක් පීරන්ඩ වෙයිම තමා. කොහොමත් ඉතිං රහට කන්ඩ හම්බු වෙන්නෙ ඉවසන්ඩ පුළුවන් ඇත්තන්ට විතරයි. අනෙක් උදවියට වෙන්නෙ කිඹුලා කිරිමැටි ගිලින්නැහේ තියෙන මොනා හරි ගිලලා බුදියාගන්ඩ.

දැන් ඔන්න ඔය අප්පලයක්වත් ඇන්න ඇවිල්ලා සුරුට්ටු වාගේ රෝල්වෙලා තියෙන කොස් දළු තමන්නෙ කෑම වේල ගිලින්ඩ බලන් ඉන්න බඩවල් ගාණෙ හැටියට එක්කාසු කරගන්න එක තමයි මුලිම්ම කරන්ඩ ඕන. ඊටපස්සෙ එව්වා මැටි ඇතිළියකට දාලා ගොරකා කෑල්ලක් දෙකකුත් එක්කහු කරලා තම්බ ගන්නවා. අපි මේ හදන්නෙ කොස් දළු ටික තම්බ දිය අරින්ඩ. කැබැල්ල දළු මාළුව උයද්දි කරන්නෙත් ඕකමයිනෙ. මතකනෙ නේද තම්බ දිය ඇරලා මිරිස් ගලේ දාලා තලපයක් වෙන්නැහේ මිටුවන් කැටෙන් අඹරාගෙන පදම දැන දුරු මිරිස් දාලා උයාගත්තා. කැබැල්ල දළු වෑංජනේ උකු වෙන්ඩ කොස් ඇට හත අටක් තලාලා මුහු කරගත්තට වරදක් නැහැ.

හරි ඕං ආයෙ කොස් දළු ගැන කතා කරමු. එව්ව තම්බ ගත්තම මිරිස් ගලේ දාලා අඹරා ගන්නෙ නෑ. දිය බේරලා මිරිස් පහේ ජාති, කරපිංච, රම්පෙ, කුරුඳු, ලූනු, අමුමිරිස් හෙම දාලා කැමතිනම් උම්බලකඩ කුඩු ටිකකුත් එක්කාසු කර ගන්නවා. දැන් වෙන ඇතිලියක් ළිප තියලා තෙල් ටිකක් රත්වෙන්ඩ ඇරලා සුදු ලූනු බික් දෙක තුනක් තළලා තෙම්පරාදු කරගෙන ඒකට අර කොස් දළුයි අඩුම කුඩුමයි දාලා තෙලෙන් තම්බ ගන්නවා. කිරට වුවමනා නම් පොල් මිටිකිරි කෝප්ප බාගයක් විතර දාලා හින්දා ගන්නවා. මේක ඒතරම් අමාරුවෙන් උයාගන්ඩ ඕන කෑමක් නෙවෙයි. කොස් දළු හොයාගන්ඩත් අමාරුවක් තියෙන එකක්යෑ. සුදු බතට ජාති කෑමක් වාගෙ මට මැවිලා පේන්නෙ. අර අපේ අම්මලා කොස් හිබිඩි වේළලා පස්සෙන් පහු බතට මාළුවක් හිඟ වුණාම කෑවනෙ. තිබ්බ වෙලාවක නම් කට්ට කරෝල ඩිංගකුත් දාලා. ආං ඒ කොස් හිඹිඩි මේ සාවියෙ මිනිස්සු එවලෙම කාලා තිබ්බා තම්බලා මිරිස් පහේ දාලා උයලා. එවුන්දැලා බාගෙට පැහිච්ච කොස් තම්බද්දිත් සිබිඩ්ඩ අහක් කෙරුවෙ නෑ. කොස් දළු වෑංජනය උයද්දි සුදු ලූනු තෙලට දාන්නෙ තළල කියව්වෙ ඇයි දන්නවද? මයෙ ඇහැ ගැටිලා තියෙනවා සමහරු සුදු ලූනු මාළුවට පින්නට දාන්නෙ කපලා. ඒක එච්චර හොඳ දෙයක් නෙවෙයි. මොකද සුදු ලූනුවල නියම සුවඳයි රසයි මතු වෙන්ඩ නම් එව්වා තළලාම තමයි දාන්ඩ ඕන.

[ලසන්ත ද සිල්වා]

මාතෘකා