ලෝකයා, ලෝක අමාරුකාරයා හා ලෝකෝත්තරයා

 ඡායාරූපය:

ලෝකයා, ලෝක අමාරුකාරයා හා ලෝකෝත්තරයා

'ලෝක' හා 'ලෝ' යන පද සිංහල ජන වහරට ද එක් වී ඇත. ඒ පද ජන වහරෙහි යෙදෙන සැටි ‍මේ ලිපියෙහි දැක්වේ.

ලෝකයා

වියත් වහරෙහි 'ලෝකයා' යන පදය යෙදෙන්නේ 'ලෝකවාසීන්' හැඟවීම පිණිස ය. පාඨක පිරිස 'පාඨක ලෝකයා' වන අතර සියලු බෞද්ධයෝ 'බෞද්ධ ලෝකයා' වෙති. එහෙත් ජන වහරෙහි හමු වන 'ලෝකයා' වංචනිකයෙක් හෝ කපටියෙක් ය.

ලෝක අමාරුකාරයා

අමාරුකාරයන් අතර ඉහළින් ම සිටින්නා 'ලෝක අමාරුකාරයා' ය.

ලෝකෝත්තරයා

වියත් වහරෙහි 'ලෝකෝත්තර' යනු ලෞකික ස්වභාවය ඉක්මවා ගිය තත්වයක් හඟවන්නකි. එහෙත් ජන වහරෙහි හමු වන 'ලෝකෝත්තරයා' වූකලී වංචනිකයෙක්, කපටියෙක් හෝ රැවටිලිකාරයෙක් ය.

මෙලොව

අප ජීවත් වන්නේ 'මෙලොව' යි. 'මෙලෝ' යන්න ජන වහරෙහි යෙදෙන්නේ 'කිසිවක්' යන අරුතිනි.

කිසිවක් දන්නේ නැත්තා

"මෙලෝ දෙයක්" නොදනී.

කිසිවක් බැරි පුද්ගලයාට

"මෙලෝ දෙයක්" බැරි ය.

කිසිවක් නොතේරෙන විට

"මට මෙලෝ හසරක්" තේරෙන්නෙ නැතියි කියවේ.

කිසිදු වැඩක් බැරි පුද්ගලයාට

"මෙලෝ වැඩක්" බැරි ය.

සමහරුන් උයන දේවල්

"මෙලෝ රහක් නැති" බව කියනු ඇසේ.

දෙ ලෝ

කට වහරෙහි 'දෙ ලෝ' යන්න යෙදෙන්නේ 'එලෝ' හා 'මෙලෝ' යන දෙ ලොව සිහිපත් කොට ගෙන යි. "මට දෙ ලෝ රත් උණා" යැයි කිසිවෙකු කියන්නේ අතිශයින් බියට පත් වූ බව කීමට ය. විභාගය ළං වන විට දරුවන් සිටින්නේ "දෙ ලෝ රත් වෙලා" ය.

එලොව පොල්

බියට පත් වූ විට "මට එලොව පොල් පෙනුණා" යැයි සිංහල ගැමියෝ කියති.

එලොව පොල් පෙන්නීම

කුඩා දරුවන් රවටනු පිණිස කරන සෙල්ලමක් ද 'එ ලොව පොල් පෙන්නනවා' යනුවෙන් හැඳින්වේ. කුඩා ළමයින් සිටින තැනක දී "කවුද කැමති එ ලොව පොල් බලන්ට?" යැයි වැඩිහිටියෙක් අසයි. අප කිසිවෙකුත් මෙ ලොව පොල් මිස එ ලොව පොල් දැක නැත. එබැවින් එ ලොව පොල් දැකුමට තමා ආසා යැයි එක් දරුවෙක් කියයි. එවිට තමා ඉදිරියෙහි දෑස් වසා ගෙන සිට ගන්නා ලෙස දරුවාට අණ කෙරේ. දරුවා දෑස් වසා ගෙන සිට ගත් පසු ඔහුගේ කන් දෙකෙන් උස්සන්ට වැඩිහිටියා වෑයම් කරයි. එවිට මහත් වේදනාවක් දරුවාට දැනේ. ළමයා කෑ ගසන්ට පටන් ගනී. "දැක්කා නේද එලොව පොල්?" යැයි වැඩිහිටියා අසයි. ළමයා ලැජ්ජාවෙන් මිරිකෙමින් ඉවත බලා ගනී.

පර ලෝ සැපත්

කිසිවෙකු මැරුණු විට සිදු වන්නේ කුමක් ද? 'මෙලොව' සිට වෙනත් ලෝකයකට යෑම හෝ සැපත් වීම යි. ඒ 'පර ලොව' යි. එබැවින් 'පර ලෝ සැපත්' ඒ පුද්ගලයාට නිවන් සුව පැතීම බෞද්ධ අපේ සිරිත යි.

එලොව ගිහිං මෙලොව ආවා

කිසිවෙකු මරණාසන්නව රෝගී වූ විට ඔහු හෝ ඈ "එලොව ගිහිං මෙලොව ආවා" යැයි කියනු සිරිත යි. එයින් ඇඟවෙන්නේ ඒ පුද්ගලයා මැරී නැවත උපන්නා හා සමාන බව යි. 'කළුහාමිට අස්සයා දුන්' ජන කතාව රසවත් වන්නේ ගමමායියා 'එලොව ගිහිං මෙලොව ආවා' යන්න වාච්‍යාර්ථයෙන් ගෙන ක්‍රියා කිරීම නිසා ය. මේ ජන කතාව මහාචාර්ය සරච්චන්ද්‍ර මහතා විසින් 'එලොව ගිහින් මෙලොව ආවා' යනුවෙන් නාට්‍යයකට හරවා වේදිකා ගත කරන ලදි. මේ කතාව මා විසින් සිංහල දරුවන්ගේ රසාස්වාදය සඳහා 'දෝණියන්දෑට තෑගි පිට තෑගි' යනුවෙන් සිංහලයෙන් ද ඉංගිරිසි දරුවන්ගේ ආස්වාදය සඳහා 'Gifts for a Daughter' යනුවෙන් ඉංගිරිසියෙන් ද ලියා පළ කොට ඇත.

මහාචාර්ය [ජේ. බී. දිසානායක]

 

මාතෘකා