ආගමික වීම

 ඡායාරූපය:

ආගමික වීම

බෞද්ධ සාහිත්‍ය උලෙළ තවමත් මෙරට පවතීදැයි මා දන්නේ නැත. එවැනි උලෙළක් පැවතීමේ ගැටලුවක්ද නැත. කවරෙකුට වුව තමන් ලියන කියන දෑ ඇගයීමට, අගයා ගැනීමට අවසරය ඇත. එහෙත් ආගමික සාහිත්‍යය සැබෑ සාහිත්‍ය ගණයට වැටෙන්නේ නැත.

සාහිත්‍යය යනු අකුරුම නොවේ. ලියන හැම දෙයක්ම සාහිත්‍යය වන්නේ නම් නීති ලියවිලි සඳහාත් නීති සාහිත්‍ය උලෙළක් පැවැත්විය හැකිය. සාහිත්‍යය රසිකයන්ගේ දේපොළකි. රසඥතාව නැති අයට සාහිත්‍යය ඇවැසි නැති අතර රසිකයනට පමණක් ඒ ඇවැසි වීමට හේතුවක් තිබේ. ඒ, බැවහැර ලෝකය ඔවුනට දරා ගැනීමට බැරි තරම් රළු වීමය. ඔවුනගේ ජීවිතයේ රළු බව මකන්නේ, ආගමෙන්ද පිටිවහලක් නොලැබෙන ජීවිතයට අරුතක් සපයන්නේ සාහිත්‍යයය. ආගමික සාහිත්‍යය ඉල්ලන පිරිසට ආගම ඇදහූවේ නම් කිසිදු අපේක්ෂාභංගත්වයක් නැත. ඔවුන් බෞද්ධ සාහිත්‍ය උලෙළක් ඉල්ලන්නේ, ක්‍රිස්තියානි සාහිත්‍ය උලෙළක් ඉල්ලන්නේ තමන් වෙනුවෙන් නොවේ, පොදු සමාජය වෙනුවෙනි. බුදුන් වහන්සේට හෝ ජේසූස් වහන්සේට කරන පුද සත්කාරයක් වෙනුවෙනි. රසිකයන් සාහිත්‍ය උලෙළක් ඉල්ලන්නේ අනුන් වෙනුවෙන් නොව තමන් වෙනුවෙනි. තමන්ගේ රසාස්වාදනයට උසස් කෘති ලබාගැනීම වෙනුවෙනි.

එහෙත් සාහිත්‍යය ආගමික සාහිත්‍යයෙන් වෙනස් වන්නේ මේ නිසා නොවේ. ඒ ඉන් වෙනස් වන මූලික ලක්ෂණය සාහිත්‍යය පාඨකයාගේ හැඟීම් ස්පර්ෂය තුළින් ජීවිතාවබෝධයක් ඇති කිරීමය. ආගමික සාහිත්‍යය හැඟීම් නොව බුද්ධියය, ස්පර්ෂ කරන්නේ. තවද සාහිත්‍යයේ ඇත්තේ ලැබෙන අවබෝධයකි. පසක් වන ඥානයකි. ආගමික සාහිත්‍යයේ ඇත්තේ ලබාගන්නා අවබෝධයකි. අවබෝධ කරගන්නා නැණසකි. අවබෝධ කරගන්නේ මනසිනි. ආගමික සාහිත්‍යය එනිසා මනස කේන්ද්‍රය. සාහිත්‍යය මනස නොව හදවත කේන්ද්‍රය. එනිසාය, එය පසක් වන අවබෝධයක් වන්නේ. තවද මනස කේන්ද්‍ර හැම දෙයකම කතුවරයෙක් සිටී. දේශකයෙක් සිටී. සාහිත්‍යයේ කතුවරයා පාඨකයාය. එහි කතුවරයා මියගොසිනි. දේශකයෙක්, කතුවරයෙක් නැති එහි අරුත් සෙවීමේ නිරත වන්නේ පාඨකයාය. සාහිත්‍යකරුවා ලිවීමේදී දේශකයකු වේද එතැනින්ම ඔහුගේ සාහිත්‍යය අහෝසි වේ - පියදාස සිරිසේනගේ ප්‍රබන්ධය මීට නිදසුනකි. අනෙක් අතට ආගමික සාහිත්‍යයේදී දේශකයෙක් නොවුණහොත් ඔහු කියන දේ ආගමික පාඨකයාට විශ්වසනීය නැත. ආගමික පාඨකයාට හැම විටම ඉගෙනීමට දෙයක් ඕනෑය. කවර හෝ ආගමික කතාවක් අවසන කතානායකයා තම ආගමික ශාස්තෘවරයා සරණ යෑමෙන් කතාව අවසන් වන්නේ මෙනිසාය. ජාතක පොතේත් එසේය. බයිබලයේත් එසේය.

එහෙත් ඒ එසේ වුව ආගමික සාහිත්‍යය සැබෑ සාහිත්‍යකරුවනට බැහැර කිරීමට බැරි තැනක් ඇත. ඒ, සාහිත්‍යකරුවාගේ සාහිත්යික බස හැඩගැසීමට ආගමික සාහිත්‍යයේ බස ඉවහල් වීමය. වර්තමාන සිංහල සාහිත්‍ය බස සැකසීමට ජාතක කතාව, සද්ධර්ම රත්නාවලිය, පූජාවලිය, බුත්සරණ ආදී ග්‍රන්ථයන්හි එන බස කෙතරම් උපස්ථම්භක වී ඇතිදැයි විමසිය මනාය. ඕනෑම ආගමික සාහිත්යික බසක් විදග්ධය. එසේ වන්නේ ආගමකින් ශික්ෂණයක් ඇති කෙරෙන නිසාය. ශික්ෂිත දෙයක් ප්‍රකාශ කිරීමට ශික්ෂිත බසක්ද වුවමනාය. කවර රටක වුව බයිබල් බස ඉතා සම්භාව්‍ය හා කාව්‍යාත්මක වන්නේ මෙනිසාය. බසක් ආගමික ශික්ෂණයට යටත් වූ විට තවත් දෙයක් සිදු විය හැකිය. ඒ, එය ශ්‍රවණ මාධූර්යය පිණිස ධ්වනි ලක්ෂණ වීමය. සැබැවින්ම අපේ අමාවතුර, බුත්සරණ, පූජාවලිය, සද්ධර්ම රත්නාවලිය, ජාතක කතා පොත ආදී අතිබහුතර ආගමික සාහිත්‍යය ලියවී ඇත්තේ ශ්‍රවණය සඳහාය. ශ්‍රවණ මාධූර්යයට බසක් භාවිත වීමේ තවද ප්‍රතිඵලයක් තිබේ. ඒ, ආගමික කාව්‍යකරණයට බස උපයෝගී වීමයි. අපේ සංදේශ කාව්‍ය ලියවී ඇත්තේ මෙහි ප්‍රතිඵල වශයෙනි. ඇත්ත වශයෙන් අපට වර්තමානයේ උසස් ප්‍රබන්ධ සාහිත්‍යයක්, පද්‍ය සාහිත්‍යයක් නොමැති වුවත් උසස් සාහිත්‍යයක් බිහි වීම පිණිස වූ උසස් සාහිත්‍ය බසක් තිබේ. ඒ, බිහි වී ඇත්තේ එය ආගමික සාහිත්‍යය තුළින් විකාශය වීම කරණ කොටය.

කෙසේ වුව බස සාහිත්‍යයට බලපෑවාට සාහිත්‍යය - කෙටිකතාව හෝ නවකතාව - බිහි වූයේ ආගමික සාහිත්‍යයෙන් යැයි කිව නොහැකිය. මාර්ටින් වික්‍රමසිංහ මහතා කියනුයේ සිංහල කෙටිකතාව බිහි වූයේ ජාතක කතා නිසා බවය. ජාතක කතාවලින් කෙටිකතාව බිහි වූයේ නම් ඒ කෙටිකතාව ආදර්ශ දෙන ධර්ම කතාවෙන් වෙනස් වන්නේ නැත. එහෙත් කෙටිකතාව දහම් දෙසන යමක් නොවේ. එය කරන්නේ පාඨකයා තුළ නිසග අවබෝධයන් ඇති කිරීමය - ‘පුලිඟු දැල්වීම’ ය. අනෙක කතාකරුවකු සාහිත්‍යකරණයේ නියුතු වන්නේ ආගම ඔහුගේ තැවීමට විසඳුම් නොදන නිසාය. එවිට ආගමික සාහිත්‍යයෙන් සාහිත්‍යය බිහි වී යැයි කිව නොහැකිය. මේ තීරුව ආරම්භයේ කී පරිදි අකුරු සහිත, වචන සහිත හැම දේම සාහිත්‍යය නොවේ. නීතිය ගැන ලියවුණු පොත් තිබේ. වෙදකම ගැන ලියවුණු පොත් තිබේ. එහෙත් වෙදකම ගැන පොතුත් නීතිය ගැන ලියවුණු පොතුත් සාහිත්‍ය පොත්වලින් සපුරා වෙනස්ය. ඒවා ලියන්නේ අධ්‍යහාරයෙන්ම වෙනස් අරමුණුවලින් බැවිනි. ආගමික සාහිත්‍යයත් එබඳුය. එහෙත් පූජක පක්ෂය බොහෝ විට ආගමික සාහිත්‍ය ග්‍රන්ථ ලෙස ඉදිරිපත් කරනුයේ සාහිත්යික වශයෙන් සාර්ථක කෘතිය. නිදසුනකට කෝ. ආනන්ද හිමියන්ගේ ‘හේ සිද්ධාර්ථ නම් විය’ නවකතාව උසස් බෞද්ධ සාහිත්‍ය ග්‍රන්ථයක් වශයෙන් ඉදිරිපත් කරනු දැකිය හැකිය. එහෙත් මට එය ප්‍රශස්ථ සාහිත්‍ය කෘතියකි. එය බෞද්ධ සාහිත්‍ය කෘතියක් වශයෙන්ද ගත නොහැකි යැයි කිව නොහැකිය. එහෙත් උසස් බෞද්ධ සාහිත්‍ය කෘති උසස් සාහිත්‍ය කෘති වන්නේ කලාතුරකිනි. තවද හර්මන් හෙසගේ ‘සිද්ධාර්ථ’ නවකතාව උසස් සාහිත්‍ය කෘතියකි. එහෙත් එය උසස් බෞද්ධ සාහිත්‍ය කෘතියක් යැයි කිසිවකු කියනු මා අසා නැත. ඒ, එය බුදු දහමේ එන නිර්වාණය පසුකර යන කෘතියක් නිසා විය යුතුය.

මට හැඟෙන ලෙස සාහිත්‍යය හා ආගමික සාහිත්‍යය අතර වූ වෙනස්කම් හට ගන්නේ මූලික වශයෙන් එහි නියුතු වන්නන්ගේ වෙනස්කම් නිසාය. සාහිත්‍යකරුවා කෙලෙස්හි ගිලෙන්නෙකි - එහි ගිලී ජීවිතයෙන් පරාජය වන්නෙකි. පරාජය වීම සාහිත්‍යකරණයට ඇවැසිමය. ආගමික සාහිත්‍යකරුවා කෙලෙස් තවන්නෙකි.මෙහිදී ලේඛකයා බෞද්ධයකු නම් ඔහු ලියනුයේ පාඨකයා තුළ බුද්ධාලම්භන ප්‍රීතිය හෝ පහන් සංවේගය ඇති කරනු පිණිසය. සාහිත්‍යකරුවා කරන්නේද පහන් සංවේගය ඇති කිරීමකියි ඇතැම්හු කියති. සාහිත්‍ය කෘතියකින් පහන් සංවේගයක් ඇති විය හැකිද? පහන් සංවේගය රසයක් නම් එවැන්නක් ඇති විය හැකිය. එහෙත් සාහිත්‍ය කෘතියක් කියවද්දී අවසානය තෙක්ම පාඨකයා සිටින්නේ කතාකරුවාගේ භාව ලෝකය සමඟය. එහිදී කතාකරුවාගේ සේම පාඨකයාගේද මනස හෙවත් සිහිය ක්‍රියාත්මක වන්නේ නැත. එහි ඔහුට අවබෝධ කරගැනීමට කිසිවක් නැති නිසාය. පහන් සංවේගය හට ගන්නේ සිහිය තුළිනි. අවබෝධය තුළිනි. ඒ තුළ සාහිත්‍ය කෘතියකින් පහන් සංවේගයක් හටගැනීමට ඉඩක් නැත.

ජාතක පොත කියවූවකු අවුරුදු දෙසීයක් ජීවත් වූවකු හා සමානව ජීවන අත්දැකීම් ලබතැයි මාර්ටින් වික්‍රමසිංහ මහතා වරෙක සඳහන් කරයි. එය සැබෑ විය හැකිය. එහෙත් සාහිත්‍ය රසිකයකුට වුවමනා වන්නේ ජීවන අත්දැකීම් ලැබීමට නොවේ. ඇත්ත වශයෙන් අත්දැකීම්වලින් පලා යෑමටය. පාඨකයකු ප්‍රබන්ධ කෘතියක් කියවන්නේ අත්දැකීම් ලැබෙන සැබෑ ලෝකයෙන් ගැලවීමටය. කල්පනා ලොවකට සම වැදීමටය. අත්දැකීම්වලට ඔහු බියය. සාහිත්‍යය කියවන්නා කරන්නේ රස වින්දනයය. රස වින්දනයත් අත්දැකීමුත් දෙකකි. පාඨකයාට ජීවිතාවබෝධයෙන් ඵලක් ඇතැයිද කිව නොහැකිය.

ජීවිතාවබෝධයක් නොදෙන කතා ඵලක් නැතැයි ඇතැමුන් කියන ප්‍රකාශයේද සත්‍යයක් ඇතැයි කිව නොහැකිය. සාහිත්‍යකරුවා කරන්නේ පාඨකයා හා හෘදය සංවාදයකි. සාහිත්‍යකරුවකු හෘදය සංවාදයක් පැවැත්වීමට හේතුවක් තිබේ. ඔහුට අත්දැකීම් බෙදාගැනීමට හෝ අවබෝධය ඇති කිරීමට වුවමනා නැත. එහෙත් තමාගේ භාව ලෝකය හා පාඨකයා එක් කර ගැනීමට ඔහුට වුවමනාය. එහිදී කතාකරුවාගේ අවශ්‍යතා පාඨකයා ඉටු කරන අතර පාඨකයාගේ අවශ්‍යතා කතාකරුවා ඉටු කරයි. එහි ජීවිත අවබෝධයේ අරමුණක් ඇත්තේම නැත. එහෙත් කතාකරුවා ලියද්දී තමාගේ අභ්‍යන්තර ලෝකයට හැරෙන තාක් - ඔහු අන්තරාවර්තී වන තාක් - ඔහුගෙන් ඔහුද නොදුටු ජීවිත සත්‍යයක් විවරණය විය හැකිය. ආගමික සාහිත්‍යයේ මෙවැන්නක් නැත. එක් අතකට ආගමික සාහිත්‍යයේ මූලික වෙනස මෙතැනය. සාහිත්‍යකරණයේදී කතාකරුවා කරන්නේ තමා වෙත හැරීමය. ආගමික සාහිත්‍යකරුවා කරන්නේ තමාගෙන් ඉවත් වී, කෙලෙසුන් ඈත් කර, මමත්වය ඈත් කර බාහිර අවබෝධයක් ලැබීමට වෑයම් කිරීමය. සාහිත්‍යය තුළත් ආගමික සාහිත්‍යය තුළත් වෙනස්කම් ඇති වන්නේ මේ තුළය.

 

[රවින්ද්‍ර විජේවර්ධන]

මාතෘකා