මා සසල කළේ ඉසබෙල් අයියන්දේගේ ‘ඊවා ලූනා’ නවකතාවයි

 ඡායාරූපය:

මා සසල කළේ ඉසබෙල් අයියන්දේගේ ‘ඊවා ලූනා’ නවකතාවයි

පුං චි කාලෙ ඉඳලාම මගේ පාළුව, තනිකම නැති කෙෙළ් පොතපතයි. එහෙම කියවූ පොත් අතර මගේ සිත සසලම කළ කෘතිය ඉසබෙලා අයියන්දේගේ ‘ඊවා ලූනා’ නවකතාවයි. මම මේ කෘතිය කියවන්නේ වයස අවුරුදු පහළොවේදී විතර. කෘතියේ සිංහල පරිවර්තනයයි මම කියෙව්වේ. එය සිංහලට නඟා තිබුණේ ගාමිණි වියන්ගොඩ විසින්. කුඩා කාලේ ඉඳලම මම පොත් කියවන්න ගියේ කටියාව යාය හය පුස්තකාලයට. එහි තිබූ සිංහල නවකතා සියල්ල කියෙව්වාට පස්සේ තමයි මම පරිවර්තන කියවන්න යොමු වුණේ. එතකොටයි මට ‘ඊවා ලූනා’ කියවන්න ලැබුණේ. මේ වෙද්දි ඇත්තටම මම මාර්ටින් වික්‍රමසිංහ, කේ. ජයතිලක, ගුණදාස අමරසේකර, සයිමන් නවගත්තේගම, සුනේත්‍රා රාජකරුණානායක වගේ ලේඛක ලේඛිකාවන් විශාල පිරිසකගේ පොත් කියවා තිබුණා. ඒත් ‘ඊවා ලූනා’ මට පුදුමාකාර විධියට දැනෙන්න ගත්තා.

ඉසබෙලා අයියන්දේ චිලී ජාතික ඇමරිකානු ලේඛිකාවක්. ඇය ‘ඊවා ලූනා’ නවකතාව ඉදිරිපත් කර තිබෙන ආකාරය හරිම පුදුමයි. කතාවේ කතානායිකාව ඊවා ලූනා නම් දැරියක්. ඇය බිහි වන්නේ ඊවාගේ මව නිවසේ සිටි මෙහෙකරුවෙකු හා ලිංගික එක්වීමකින්. අපූර්වත්වය තමයි මෙහෙකරුවා මරණාසන්නයේ සිටියදී මේ දේ සිදු වීම. මෙවැනි දේ සැබෑ ලෝකයේ සිදු විය හැකිද යන ගැටලුව මගේ සිතට පැනනැඟුණා. ඒවගේම තමයි මේ කෘතිය කියවන විට ඇගේ කතාවයි මගේ කතාවයි අතර යම් සමානකමක් මම දුටුවා. ඊවා වගේම මමත් තනියම හැදී වැඩුණු කෙනෙක්. මම සියලු දේ සොයා ගියේ ස්වෝත්සාහයෙන්. මේ නිසාත් මේ කෘතියට මගේ සිත ඇදී ගියාදෝ කියලා හිතෙනවා. ‘ඊවා ලූනා’ කියවන තුරු මම ගොඩක් කියවලා තිබුණේ රුසියානු සාහිත්‍ය නිර්මාණ. ඒවායේ එන ස්ටෙප්ස් තණබිම්, ගොවීන්, කම්කරුවන් සියලු දෙනා මම හඳුනාගෙනයි තිබුණේ. ඒත් මේ කෘතියෙන් ඊට වඩා වෙනස් අත්දැකීමක් මං ලැබුවේ. එයත් මගේ සිත සසල කරන්න බලපෑවා. කතාවේ එන ශෛලියත් මගේ සිත් ඇදගත්තා. ඇත්තටම මිනිසුන්ට මෙහෙම ලියන්න පුළුවන්ද කියල කතාව කියෙව්වාම මට හිතුණා.

මගේ උපන් ගම අනුරාධපුරය සේනපුර ගොවි ජනපදය. මගේ අම්මාගේ අම්මලා ඒ කියන්නේ කිරිඅත්තයි, කිරිඅම්මයි කුරුණෑගලින් සහ රත්නපුරයෙන් මෙහි පැමිණ පදිංචි වූ අය. ඔවුන් මෙහි පදිංචි වෙලා තියෙන්නෙ 1940 දශකයේ අගභාගයේ. ඒ, ඩී.එස්. සේනානායක අගමැතිතුමා පිහිටුවූ ගොවි ජනපදවල ජනපදලාභීන් හැටියට. මගේ තාත්තා අනුරාධපුරයේම සාම්ප්‍රදායික ගමක කෙනෙක්. ඒ කියන්නේ ගොවි ජනපදයක් නොවන ගමක උපන් කෙනෙක්. ඔහුගේ ගම කිරලෝගම.

මම හැදී වැඩෙන්නේ සේනපුර ගොවි ජනපදයේ කිරිඅම්මා, කිරිඅත්තගේ රැකවරණය මැදයි. මට නංගි කෙනෙක් සහ මල්ලිලා දෙන්නෙක් ඉන්නවා. පවුලේ වැඩිමල් දරුවා වුණ නිසාම මට අම්මත් එක්ක ගත කරන්න තිබුණ කාලය නැති වුණා. අම්මා ගෘහණියක් විදිහට එදිනෙදා කටයුතු කරන්න වෙහෙසුණා. තාත්තා සහල් ව්‍යාපාරිකයෙක්. ඒවගේම හොඳ සිල්ලර බඩු කඩයකුත් ඔහුට තිබුණා. තාත්තා හැමදාම කඩේට පත්තරේ ගත්තා. මම එයින් නොදැනීම පත්තර කියවන්න පුරුදු වුණා. ඒවගේම තාත්තා දේශපාලනය ප්‍රිය කරපු කෙනෙක්. මේ නිසා දේශපාලන පොත්පත්, චරිත කතා, විවිධ නවකතා ඔහු සතු වූණා. මම ඒ පොත් කියවන්නත් පසු කාලේ පෙළඹුණා. මගේ කිරිඅම්මලා මං පොත් කියවනවාට අකමැතියි. ඒවා මට දරාගන්න බැරි දේවල් විදිහටයි ඔවුන් දැක්කේ. මේ නිසා මම ඔවුන්ට හොරෙන් පොත් රැගෙන ගස් උඩට නැඟලා කියවලත් තියෙනවා.

මුලින්ම මම පාසල් ගියේ කටියාව යාය හය දුටුගැමුණු විදුහලයට. පසුව ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් වෙලා කැකිරාව මධ්‍ය මහා විදුහලට ඇතුල් වුණා. එහිදී මට නේවාසික අධ්‍යාපනයක් ලැබුණා. පාසල් අධ්‍යාපනයෙන් පස්සෙ මම වැඩිදුර අධ්‍යාපනයකට යොමු වෙන්නේ නැහැ. කොහොම වුණත් මෙච්චර කාලයකට කියවූ පොත් අතරින් ගාමිණී වියන්ගොඩ පරිවර්තනය කළ ඉසබෙලා අයියන්දේගේ ‘ඊවා ලූනා’ නවකතාව මා සිත සසලම කළ කෘතිය වෙනවා.

ශාන්ති දිසානායක

සටහන [එරංගා පල්ලියගුරුගේ]

මාතෘකා