ඔව්, තව පාරක් උත්සාහ කරමු

 ඡායාරූපය:

ඔව්, තව පාරක් උත්සාහ කරමු

කරන කියන සියල්ල අසාර්ථක වූ විට අපට දැනෙන්නේ පරාජිත හැඟීමක්. සියල්ල අතහැර පලායෑමේ මානසිකත්වයක්. අප බොහෝ විට දුෂ්කරම කාලය ගතකරලා ප්‍රතිඵල පෙනෙන මානයේ ආපහු හැරෙනවා. එහෙම නොහැරී ඉදිරියට අඩියක් තියන්න හැකි නම් නොසිතූ විරූ ප්‍රතිඵල ලැබෙන්න පුළුවන්. මේක නිකම් කියමනක් විතරක් නෙවෙයි. විස්මිත සාර්ථකත්වයක් ලැබූ බොහෝ දෙනාගේ කතාවල අනිවාර්යයෙන් ලියැවෙන පරිච්ඡේදයක්.

අසාර්ථක වීම්, ප්‍රතික්ෂේප වීම් හා නොසලකා හැරීම් කියන්නේ කෙනෙකු පහළට ඇද දමන සාධකයි. එහෙත් එවැන්නකින් ජීවිතය ඉහළට ගෙනයන්න අවශ්‍ය එඩිය ඉබේ ඇති වන්නක් නොව වර්ධනය කරගත යුතු දක්ෂතාවක්. ලොවට යමක් ඔප්පු කරන්නට සමත් වූ චරිත දිහා බැලුවොත් ඔවුන්ගේ කතාවල මේ හැකියාවට සුවිශේෂ වැදගත්කමක් හිමි වන බව වැටහේවි.

බ්‍රිතාන්‍ය ජාතික මවක් හිටියා. ඇය සිහින දැක්කේ ලේඛිකාවක් වෙන්න. ඉතින් ඇය නිතරම තමන්ගේ සිහිනය වෙනුවෙන් වෙහෙසෙනවා. ඇයට තිබුණේ සුවපහසු ජීවිතයක් නොවෙයි. දරුවකු සමඟ තනිවූ ඇය ජීවිතයේ බොහෝ දුක් දොම්නස් විඳ තියෙනවා. විෂාදය නිසා ඇය සියදිවි තොරකරගන්නා අදහසකින්ද සිටියා. එහෙත් ඇය නොනැවතීම ලියන්න උත්සාහ කළා.

ඇය ලියූ නවකතා පිටපත ප්‍රකාශකයන් කිහිපදෙනෙක් වෙතම යැවූවත් එය එතරම් තැකීමකට ලක්වූයේ නැහැ. ළමයින්ට සුදුසු ළමා කතාන්දරයක් ඇය ස්තුව තිබුණ මුත් කිසිම ප්‍රකාශකයෙක් එය පළ කිරීමට එකඟතාවක් දැක්වූයේ නැහැ.

බ්ලූස්බරි නම් නව ප්‍රකාශන ආයතනයක් වෙතද ඇයගේ මේ පිටපත ඉදිරිපත් කෙරුණා. එතරම් සැලකිල්ලක් නොදැක්වූ මුත් එහි ප්‍රධානියා පිටපතෙහි කොටසක් ඔහුගේ අට හැවිරිදි දියණියට කියවන්නට දුන්නා. එය ඉතා ඉක්මනින් කියවූ දියණිය ඉතිරි කොටස කියවන්නට ඉල්ලා සිටියා. මෙය පළකරන්නට තරම් සුදුසු යැයි ප්‍රකාශන ආයතනය තීරණයකට එන්නේ ඉන් අනතුරුවයි. එහෙත් පළමු ඝන කවර මුද්‍රණයේ තිබුණේ පිටපත් 500ක්.

පොත පළකරන්නට නම් ප්‍රකාශන ආයතනයේ කොන්දේසියක් පැනවුණා. කාන්තා නමකින් ලියවුණ පොතක් තරුණයන් වැලඳ නොගන්නා බව ඇදහූ ඔවුන් ඇයට තම කාන්තා නාමය සැඟවෙන ආකාරයේ නමක් යොදන්නට කියා සිටියා.

වසර කිහිපයකට පසුව ඇයට එම ප්‍රකාශන ආයතනය සමඟ වාද කරන්න සිදුවුණා. ඒ වෙන කිසිවක් නිසා නොවෙයි. වසරකට වරක් පොතක් ලියාදෙන්න නොහැකි බව පවසමින්.

ඔව්, ඇය නමින් ජේ.කේ. රෝලින්. ළමා සහ තරුණ පරපුර අතර උන්මාදයක් ඇතිකළ හැරී පොටර් චරිතය මැවුණේ ඇයගේ මනසේ. හැරී පොටර් නම් අනාථ දරුවාගේ විස්මිත මායා ලෝකයේ කතාන්දරයට ඇයගේ පීඩා විඳි ජීවිතයේ මතකයන් යහමින් එකතු කළ බව ඇය විටෙක කියා සිටියා.

කාලයක් රජයේ සුබසාධන ආධාර යටතේ ජීවත්වූ ඇය එම කාලයේ තම දියණිය රැගෙන විවිධ රැකියාවන් සොයා ගියා. එවන් මොහොතක ඇය අවන්හලක සිටිමින් පවා ඇය ලියමින් සිටියා

හැරී පොටර් කතාමාලාවක් බවට පත්වන්නේ එහි පළමු පොත වූ "හැරී පොටර් ඇන්ඩ් පිලෝසොපර්ස් ස්ටෝන්" පොතට ඉල්ලුම ඉහළ යෑමෙන්. 1997 පළ වූ පළමු පොත 1999 වනවිට පිටපත් ලක්ෂ 3ක අලෙවියක් වාර්තා කළා.

ලේඛිකාවක ලෙස ඉමහත් සාර්ථකත්වයට පත් ඇය ලේඛන කලාවට පිවිසි මුල් සමය පිළිබඳව මෙලෙස කියා සිටිනවා:

"ඇත්තටම මගේ සංස්කාරක බැරී කනින්හැම් වරක් මට කිව්වා ළමා පොත් ලිවීමෙන්ම ජීවිතය ගෙවාගන්න දුෂ්කර නිසා රැකියාවක් සොයාගන්නා ලෙස"

එහෙත් සිය සිහිනය පසුපස හඹාගිය ඇය තමයි පළමුවරට ලේඛිකාවක ලෙස ෆොර්බ්ස් බිලියනපතියන්ගේ ලැයිස්තුවට එකතු වුණේ.

"පරාජයන් කියන්නේ ඉතාම වැදගත් දෙයක්, අපි ජයග්‍රහණ ගැන නිතරම කතා කරනවා. එය තනිකරම පරාජයට කෙසේද ප්‍රතිරෝධය දක්වන්නේ කියන එක මත සහ පරාජයන් ශ්‍රේෂ්ඨ ජයග්‍රහණයන් කරා මෙහෙයවන්නේ කෙලෙසද යන්න මත රැඳෙනවා. මට බොහොමයක් දෙනා මුණගැහිලා තියෙනවා. ඔවුන් අසාර්ථකත්වයට බය නිසා උත්සාහයක්වත් දරන්නේ නැහැ" ඇගේ අත්දැකීම් මඟින් ඇය සමාජයට කියා දෙනවා.

අසාර්ථකත්වයේ හෝ පරාජයේ අමිහිරි රසය විඳිමින් ජයග්‍රහණය නමැති මිහිරියාව හඹායන්න කුමන හෝ උත්සාහයක් දරන්න කියලයි ඇය කියාදෙන්නේ.

පරාජයන් තාවකාලිකයි. එය විශේෂයෙන් නොපසුබස්නා උත්සාහය පිරුණු මිනිසුන් උදෙසාම තැනූ කියමනකි. ජීවිතයට ඉදිරියට යන්න අවැසි ජවය ගෙනෙන අසිරිමත් ජීවිතයක කතාවකින් ආලෝකය ලබාගන්න. වැටි වැටී නැඟිටින්න. ලොවට නැඟිටින හැටි කියාදෙන්න.

තවත් වාරයක් වැඩිපුර උත්සාහයක් දරන්නේ නම් අත ළඟ තියෙන ජයග්‍රහණයේ ධජය ඔබේ සුරතේ රඳවාගන්න පුළුවන්. ඔව්, එය නිසැක අරමුණක් කරගන්න.

[මේනක මදුජිත්]

මාතෘකා