සලන සුසුමක සැඩ සුළඟ

 ඡායාරූපය:

සලන සුසුමක සැඩ සුළඟ

දුනුවායකු කෙතරම් දුරකට දුනු දිය මිදීමට උත්සාහ කරන්නේද ඒ සඳහා දුන්න තදින් අල්ලා සිටිය යුතුය. විදීම සඳහා කෙතරම් බලයක් යෙදුවද හීය යොමුවන්නේ කුමන ඉලක්කය කරාද යන්න තීරණය වන්නේ දුන්න මානාගෙන සිටින නිමේෂයේ ගෙන ඇති ඉලක්කය මතය. කෙතරම් වෙලාවක් දුන්න ඉලක්ක ගත කර තිබුණත් දුනු දිය මිදී ඉලක්කය වෙත මුදාහරින මොහොත අතිශය සාවධාන විය යුතුමය. නැතහොත් ඉලක්කය මඟහැරී යෑම වැළැක්විය නොහැකිය.

මිනිසා තම එදිනෙදා ජීවිතයේ අනන්තාප්‍රමාණ ලෙස මෙවන් සිදුවීම්වලට මුහුණ දෙයි. ඇතැම් සිදුවීම්වලින් මිනිසා ආතතියටත් ඇතැම් සිදුවීම්වලින් මිනිසා චකිතයටත් පත් වෙයි. මෙම සිදුවීම් දෙකම මිනිස් මනසට සවිඥානිකය. එහෙත් අද්‍යතන මිනිසා තුළ මෙම සිදුවීම් දරාගැනීම සඳහා අභ්‍යන්තර හෝ බාහිරයෙන් සූදානමක් තිබේදැයි ස්ව අධ්‍යයනයක යෙදිය යුතුය. මිනිස් මොළය සතු සිතීමේ සිට තීන්දු ගැනීමේ අවස්ථාව දක්වා ක්‍රියාකාරීත්වය ඔහු කුමන ආකාරයේ පරිකල්පනයෙන් යුතුදැයි සමාජයට දනවයි.

සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ගේ මනෝවිශ්ලේෂණයන් අනුව සෑම මිනිසකු තුළම ශිෂ්ට චින්තනය වගා කළ හැකිය. එහෙත් ඒ සඳහා තමා තුළ ඇති වනචාරී ආත්ම අරගලය පරාජය කළ යුතුය. මිනිස් වර්ගයා ප්‍රාණවත්ව තබාගත් ආදී කල්පිත ලක්ෂණ මිනිසා තුළ නිතර ඇතිනැති වෙමින් පවතී. අභ්‍යන්තරය තුළ අරගල කරමින් නූතන මිනිසා සෑම මොහොතකම අශිෂ්ට සිතිවිලි පාලනය කරමින් සිටියි. එහෙත් මිනිසා සාවධානයෙන් මිදුණු කල්හි ප්‍රාථමික තත්ත්වයට පත්වෙයි. කෝපයට පත්වන මිනිසා තවකකු මරන්නේ එබැවිනි. එහෙත් ආත්මය නැතහොත් දියුණු මිනිසාගේ හීලෑ කිරීම් මත බොහෝ සිදුවීම් පාලනය කළ හැකිය. සතුරකු මරා දමනවාට වඩා ඔහු අවබෝධ කරගන්න උත්සාහය යොමුකරන්නේ එබැවිනි.

මිනිසා චකිතයට පත් නොවිය යුත්තේ බොහෝ ප්‍රාථමික හැඟීම් හීලෑකර ඉන් බලයක් නිපදවිය හැකි බැවිනි . “බලවත් සිතිවිලි ඇති මිනිසුන්ට පමණක් එම බලය උත්කර්ෂණය කොට ශිෂ්ටාචාරයේ මහඟු නිපැයුම් නිපදවා ගත හැකියැයි” ෆ්‍රොයිඩ් ප්‍රකාශ කරයි. මහා නිපැයුම්කරුවෝ, චිත්‍ර ශිල්පීන්, කලාකරුවෝ, චින්තකයෝ, දාර්ශනිකයෝ බිහිවන්නේ ඒ අනුවය. හැබැවින්ම ශ්‍රේෂ්ටත්වයට පත්වීමම යනු ඇතුළත පැවති අශිෂ්ට ආවේගයන් හික්මවමින් තම අරමුණ වෙනුවෙන් අභ්‍යන්තර බලයක් බවට පත් කරගැනීමය. බැබළීම උපදින්නේ අභ්‍යන්තර පිපිරීමකින් පමණක් බව තාරකාවන්ගෙන් අප ඉගෙන ගෙන තිබේ. එබැවින් මිනිසා තුළ ගොඩනැඟෙන අභ්‍යන්තර සංකල්ප පිපිරීමකට ලක්විය යුතුමය. එය පුපුරා යනතෙක්ම ආතතියක් ලෙස මනස අභ්‍යන්තරයේ දෝලනයක යෙදෙයි.

තීන්දු තීරණ ගත නොහැකිව මිනිසා දැඩි ලෙස ආතතියකට ලක්වන්නේ තමාට පිටින් වූ සමාජයේ මිනිසුන් විසින් උගන්වා ඇති ජීවිත නියමයන් නිසාය. සංස්කෘතිකමය බැඳීම් වැඩි ජන සමාජයන් මඟින් මිනිසා දැඩිව පාලනයකට ලක් කරයි. එවන් ජන සමාජ ඇසුරෙහි නිර්මාණය වන මිනිසා තම ඇතුළත පාලනයන් අභ්‍යන්තර පිපිරීම් බවට පත්කර පිටකර හැරීමේ නොහැකියාවෙන් පෙළෙයි. එවන් ජන සමාජයක නිර්මාණාත්මක චින්තනය වෙනුවට සාම්ප්‍රදායික රටාවන් පවත්වාගෙන යෑමේ යෙදෙයි.

අලුත් චින්තනයකින් යුතු නව්‍ය සංකල්ප බිහිකරමින් නිර්මාණශීලීව කටයුතු කළ හැකි පිරිස් කෙතරම් සිටියද තමාට පිටින් ගොඩනැඟී ඇති සම්ප්‍රදාය ඔවුනට අභියෝග කරමින් තිබේ.“අලුත් අලුත් දෑ නොතනන ජාතිය ලොව නොනගී” යනුවෙන් කුමාරතුංග මුනිදාස ප්‍රකාශ කර ඇත්තේද උක්ත සත්‍යයි. එය හෘද සාක්ෂියයි. එහි ප්‍රබලත්වය හෝ දුර්වලත්වය මිනිසාගේ ආතතිය සහ චකිතයේ අඩුවැඩිය පිළිබිඹු කරයි.

මිනිසා තම අභිලාෂයන් කුමක්දැයි දැන සිටියද එයට ළඟාවන මාර්ගය නිතර නිතර වෙනසට ලක්වේ. අවසානයේ එය ඔහු සිතා සිටි මාර්ගයට වඩා හාත්පසින්ම වෙනස් අකාරයක් බවට පත් වෙයි. මිනිසුන් සිහින හඹා යන විට දැඩි අධිෂ්ඨානයක් සේම කැප කිරීමක මහා හැකියාවක් අවශ්‍යම වන්නේ එබැවිනි.

මිනිසා තර්කානුකූල හික්මීමේ ප්‍රතිඵල විනයයි. එහෙත් මිනිසා තම පාලනයෙන් මිදී මිනිසා විසින් නිර්මිත තාක්ෂණයේ ග්‍රහණයට නතුවී තිබේ. මිනිසා විසින් දියුණු කළ මනුෂ්‍යත්වය තාක්ෂණය මඟින් මිනිසාගෙන් බැහැර කර තිබේ. තාක්ෂණයේ ප්‍රගමනය හේතු කොට මානවයාගේ ප්‍රාථමික අවධීන්ගේ අශිෂ්ටත්වය, ඩිජිටල් තිර මතට පැමිණ තිබේ. සමාජ බලපෑමේ වැඩි ප්‍රතිශතයක් තාක්ෂණය මඟින් හිමිකර ගනිමින් සාමූහික මිනිසා හුදකලා කර මිනිසාගේ ප්‍රාථමික නොදියුණු ලක්ෂණ මත උත්තේජයන් සපයමින් සිටී. ඉන් බිහිවන සමාජය කෙබඳු ලක්ෂණ ගන්නේදැයි මනෝ විශ්ලේෂණයක යෙදිය යුතු කාලය එළඹ තිබේ.

තාක්ෂණය සහ විද්‍යාවේ ප්‍රගමනය අද අන්තර්ජාලයේ සිට ජංගම දුරකථන දක්වාම විහිදී තිබේ. ඒ ඔස්සේ සොයමින් යන්නකු බවට පත්ව ඇති මිනිසා සුපිරි නව නිෂ්පාදන පරිභෝජනය කරමින් සිටී. ඉන් මිනිස් ජීවිතය පහසු සහ සරල තත්ත්වයට පත්ව තිබේ. එහෙත් වැදගත්ම සාධකය විය යුත්තේ තාක්ෂණය දේවත්වයට පත් නොකිරීමයි. තාක්ෂණය ජීවිතය පහසු කරනවා සේම සමාන අදහස් ඇත්තවුන් අතර ඉමහත් සන්නිවේදනයක් වෙනුවෙන් බලය සපයයි .“නයගරා ඇල්ලේ ජලය වේගයෙන් කම්පිතව බියකරු ලෙස ගලා හැලෙයි. නමුත් විදුලිජනක යන්ත්‍ර වුවද කරකැවීමට ඊට හැකියාවක් නැතැයි” ෆ්‍රොයිඩ් ප්‍රකාශ කළේය. මනුෂත්වය ලොව මවා ඇත්තේ එකිනෙකා සොයාගැනීමට සහ එකිනෙකාගේ කැටපත වීමටය. තාක්ෂණ භාවිතය එකිනෙකා සොයාගැනීමට භාවිතයක් විය යුතුය. ඉන් නොමිනිස්කම් අඩු කිරීමද වඩා සානුකම්පිත වීමද සිදුවිය යුතුය. නැතහොත් පාලනයෙන් තොර නයගරාවක් වීම වැළැක්විය නොහැකි වනු ඇත.

මාතෘකා