'රාජරාජ පෙරුම් පල්ලි' නම් ලද වෙල්ගම් විහාරය

 ඡායාරූපය:

'රාජරාජ පෙරුම් පල්ලි' නම් ලද වෙල්ගම් විහාරය

 

පසුගිය ඇසළ පොහෝ දිනයේදී ත්‍රිකුණාමලයේ කන්නියා උණුවතුර ළිං ආශ්‍රිත පුරාවිද්‍යා භූමියේ පිහිටා ඇති දාගැබේ සංරක්ෂණ කටයුතුවලට විරෝධතාව දක්වමින් දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් එම පුරාවිද්‍යා රක්ෂිත භූමියට ඇතුළු වීමට උත්සහ කළහ. ඔවුන්ගේ යෝජනාව වූයේ එම පුරාවිද්‍යා රක්ෂිතය තුළ නිදන්ගතව ඇත්තේ හින්දු ආගමික ගොඩැනැඟිලිවල අවශේෂය යන්නය. මීට දෙවසරකට පෙරදීද මෙම පුරාවිද්‍යා තදාශ්‍රිතයේ සහ, මොරවැව, පුල්මුඩේ මෙන්ම ගෝමරංකඩවල ආදි ප්‍රද්ශවල පැවති බුදුපිළිමවලට හානි කරන ලද බව මාධ්‍ය මඟින් ආනාවරණය කෙරිණි.

මෙම කන්නියා උණවතුර ළිං ආශ්‍රිතව පිහිටා ඇත්තේ වෙල්ගම් වෙහෙර නම් පුරාණ විහාරයයි. මෙම විහාරය දේවානම් පියතිස්ස රජ දවස කළ බවද ඔහු විසින් මෙහි දෙතිස්ඵල බෝධි අංකුරයක් සිටවූ බවද වංශකතා අනුව පහැදිලි වෙයි. එහෙත් මෙම විහාරයේ කර්තෘත්වය පිළිබඳ තත්‍ය ඓතිහාසික පුරාවිද්‍යාත්මක සාධක තවමත් නිශ්චිතවම සොයාගෙන නැති වුවද මෙම විහාරයට නුදුරින් ඇති කුඩා කඳුගැටයක පිහිටුවා ඇති භාතික තිස්ස (ක්‍රි.ව. 143-167) රජුට අයත් සෙල්ලිපියකින් මෙම විහාරය හඳුන්වා ඇත්තේ -වෙලගම අබහර විහර යනුවෙන්ය. එපමණක් නොව හතරවන මහින්ද (ක්‍රි.ව. 975–991) රාජ්‍ය කාලයට අයත් වේවැල් කැටිය සෙල්ලිපියේ පිටපතක්ද මෙම විහාරය තුළ තිබී හමු වීමෙන් පැහැදිලි වන්නේ මෙම විහාරය ආසන්න වශයෙන් ක්‍රිස්තු වර්ෂයෙන් පළමු සහශ්‍රක වර්ෂයේ සිටම බෞද්ධ ආරාමයක් වශයෙන් වඩාත් ප්‍රචලිතව පැවති බවයි. තවද සිංහල බෝධි වංශය තුළ එන සඳහනකද මෙම විහාරය විල්ගම් වෙහෙර වශයෙන් හඳුන්වා ඇත. මෙම පුරාවිද්‍යා භූමිය අවට විසිර පවතින බෞද්ධ ආගමික ගොඩනැඟිලි සහ බුදුපිළිම මෙන්ම අනෙකුත් ආගමික වාස්තු විද්‍යාත්මක අංග සහ පුරාවිද්‍යා කැණීම් මඟින් මතු කරමින් පවතින දාගැබ සහ එහි තාදාශ්‍රිත අනෙකුත් වාස්තු විද්‍යාත්මක අංග මඟින්ද ඉතා දීර්ඝ කාලයක් තිස්සේ මෙහි ප්‍රභවය වී වර්ධනය වූ ආරාමික සම්ප්‍රදායක් පිළිබඳ තතු පැහැදිලි කරයි.

එපමණක් නොව ඊසාන දිග ලංකාවේ ක්‍රිස්තු පූර්ව යුගයේ සිටම ව්‍යාප්තව පැවති බෞද්ධ ආරාමික සම්ප්‍රදායක් පිළිබඳ පුරාවිද්‍යාත්මක සහ ඓතිහාසික මුලාශ්‍රගත සාධක බොහෝමයක් පවතින අතර මධ්‍යකාලීන ලංකා ඉතිහාසයේ සහ ඉන්පසුව ඇති වූ දේශපාලන වියවුල් සහ පාරිසරික සාධක හේතුකොටගෙන ඒ පුදේශවල ජීවත් වූ බොහෝ පිරිසක් එම ප්‍රදේශවල පැතිර පැවති ජනාවාස ප්‍රදේශ අතහරින ලද අතර, පසුකාලීනව මෙම ප්‍රදේශ කැලෑ ප්‍රදේශ බවට පත් විය. පුල්මුඩය රක්ෂිතය තුළ ඇවිද යන්නෙකුට එහි ව්‍යාප්තව පවතින පුරාවිද්‍යාත්මක සාධක සහ අතහැර දමන ලද කුඩා වැව් විශාල ප්‍රමාණයක් දැකගත හැකිවීමෙන් මෙය වඩාත් ප්‍රත්‍යක්ෂ වෙයි. සැබවින්ම මෙම ප්‍රදේශවල සිටි බහුතරයක් පිරිස සිංහල ප්‍රජාවක් නොවූ අතරම මෙම බෞද්ධගාමික ආරාමික පරිශ්‍රය සහ එහි ගොදුරු බිම් වල දෙමළ බෞද්ධ ප්‍රජාවක් සිටින්නට ඇත. මෙවන් පසුබිමක් තුළ දෙමළ ජාතික සන්ධාන‍යේ මන්ත්‍රීවරු මෙය හින්දු ආගමික ස්ථානයක් ලෙස පවසමින් පවත්වන විරෝධතාවට අර්ථයක් තිබේද යන්න ගැටලුවකි.

මෙම විහාරය පිළිබඳ මුල්වරට අවධානය යොමුකරනු ලැබුවේ සෙනරත් පරණවිතාන මහතා විසිනි. ඔහු විසින් මේ පිළිබඳ සොයා බලන විට මෙය ඒ ආශ්‍රිතව ජීවත් වූ දෙමළ ප්‍රජාව විසින් ඊශ්වර දේවාලයක නටඹුන් යැයි සිතා වන්දානාමානයට ලක්කරමින් පැවතිණි. ඔවුන් විසින් මෙය හැඳින්වූයේ නාතනාර් කෝවිල යනුවෙනි. එහෙත් ඒ අවට විසිර පැවති සෙල්ලිපි ආශ්‍රය කොටගෙන මෙම ආරාමික පරිශ්‍රය පුරාණ වෙල්ගම විහාරය බව ඔහු විසින් තහවුරු කරන්නට යෙදිණි. ද්‍රවිඩ ජනයා විසින් මෙම විහාරය හින්දු කෝවිලක් යැයි වරදවා වටහා ගත්තේ එහි අඩංගු ද්‍රවිඩ ගෘහනිර්මාණ ලක්ෂණ නිසා විය හැකිය. එයටද යම් ඓතිහාසික පසුබිමක් නැත්තේ නොවේ. එනම් පස්වන මහින්ද රාජ්‍ය කාලයේදී මෙරටට සිදු වූ චෝල ආක්‍රමණය යටතේ මෙම ප්‍රදේශයද චෝල අණසකට යටත් වූ අතර ඔවුන් විසින් පොලොන්නරුව ප්‍රදේශය තුළ තිබූ බෞද්ධාගාමික ආරාම විනාශ කොට ශිව දේවාල ඉදිකරමින් ශෛව වන්දනය ප්‍රචලිත කළ බවද ඓතිහාසික වංශකතා මඟින් පැහැදිලි වෙයි. එහෙත් ඔවුන් විසින් වෙල්ගම විහාරය විනාශ නොකට එය ද්‍රවිඩ වාස්තු විද්‍යාත්මක අංග ලක්ෂණ සහිතව පිළිසකර කරවා රාජරාජ පෙරුම්පල්ලි නමින් හඳුන්වා එය ඔවුන්ගේ අන්‍රග්‍රහය ලද ජූජනීය ස්ථානයක් වහයෙන් පවත්වාගෙන ගියේය. පසුව නාථනාර් කෝවිල් නමින් හැඳින්වූයේ එම විහාරයයි. මෙම විහාරය ආශ්‍රිතව හමු වූ පළමුවන රාජේන්ද්‍ර චෝල හා දෙවන රාජේන්ද්‍ර දේව යන චෝල රජවරුන්ට අයත් යැයි සිතිය හැකි ද්‍රවිඩ ශිලා ලේඛන මඟින්ද වෙල්ගම් විහාරයට සිදු වූ චෝල දේශපාලනික සහ සංස්කෘතික බලපෑම පැහැදිලි කරයි.

මෙවන් පැහැදිලි ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක පසුබමක ද්‍රවිඩ සංවිධානය විසින් මෙම විහාරය හින්දු කෝවිලක් ලෙස සඳහන් කරමින් කරනු ලබන විරෝධතාවලට අර්ථයක් නොමැත. තවද නිවැරදි ඓතිහාසික කරුණු පදනම් කරගනිමින් මෙම අරාමික ප්‍රශ්නය ඉන්දියාවේ බද්රි මස්ජීද් සිද්ධස්ථානය ආශ්‍රය කොටගෙන වර්ධනය වූ ආකාරයේ දේශපාලනික ආගමික ගැටලුවක් දක්වා වර්ධනය කර නොගනිමින් විසඳා ගැනීමට මේ පිළිබඳ තතු දත් අය වහාම මැදිහත් විය යුතුව ඇත.

මාතෘකා